Covid-19: දෙවැනි නැඟීම අප්‍රේල් 20 දක්වා – නීති දැඩි කර ජනයා නිවෙස්වලම රඳවන්න

Spread the love

අප්‍රේල් 20 දක්වා ඉදිරි සති දෙකක කාලය කොරෝනා වසංගත තත්ත්වයේ දෙවැනි නැඟීමක් අපේක්ෂා කරන බැවින් දින 14 බැඟින් කාලසීමාවන් දෙකක් තුළ දී රටේ නීතී රීති තවත් දැඩි කර ජනතාව නිවසේම රැඳවීමට පියවර ගත යුතු බව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන් රජයට නිර්දේශ කරති.

කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සහ වෛරසය පාලනය හා මැඬපැවැත්වීම සඳහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවැති විශේෂ හමුවකදී මේ බව අවධාරණය විය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පැවසුවේ වසංගත තත්ත්වය පාලනය සඳහා වර්තමානයේ මෙන් දැඩි පාලනයක් ඉදිරි කාලසීමාව තුළ දී ද අවශ්‍ය කරන බවයි

අහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ මෙම දින 14 බැඟින් වූ සති දෙකක කාලයෙන් පසුව ද ඉහත ආකාරයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැන්වීමට කටයුතු කරන බවයි. මෙම වසංගත තත්ත්වයට මුහුණදීමට අදාළව වැදගත් වූ තීන්දු තීරණ රැසක් පිළිබඳව විශේෂඥ වෛද්‍ය විද්‍යාල සභාපතිවරු සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුම්වත් කිරීම ද මෙහිදී සිදු විය .

මෙහිදී ප්‍රජා වෛද්‍ය සංගමය විසින් කරුණු දක්වමින් හැකිතාක් දුරට පෞද්ගලික වාහන ගමනාගමනය අවම කර ගැනීම, තම නිවසට ආසන්න කුඩා වෙළෙඳසැළකින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට යොමු වීම, පොදු වාහන භාවිතයේ දී දුරස්ථභාවය පවත්වාගෙන යාම, නිරන්තරයෙන් දෑත් සේදීම වැනි අත්‍යවශ්‍ය කරුණු ඉදිරි මාස 06 සඳහා පවත්වාගෙන යාම සුදුසු බව දන්වන ලදි. ඒ පිළිබදව ජනාධිපතිවරයා විසින් ප්‍රජාව දැනුවත් කිරීම වඩාත් සුදුසු බව ද පෙන්වා දී තිබේ.

එමෙන්ම විශේෂඥ වෛද්‍ය මහේෂ් හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේ ඇඳිරිනීති කාලසීමාව ක්‍රමානුකූලව ඉවත් කිරීමෙන් පසු පොදු ජනයා අපහසුතාවට පත් නොවන අයුරින් අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම සහ ආසාදිතයන් හඳුනාගැනීමේ වැඩපිළිවෙළක් සමාජයේ ක්‍රියාත්මක කළ යුතු බවයි. එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ බුද්ධි අංශ හරහා අවශ්‍ය තොරතුරු ලබාගෙන වසංගත රෝග විද්‍යා ඒකකය සහ සම්බන්ධ වී ඒ සඳහා අවශ්‍ය පියවර ගත යුතු බවයි.

නීති විරෝධී ලෙස පුද්ගලයන් රට තුළට ඇතුළුවීමේ අවදානම, මාර්තු 15 සිට 20 දක්වා විදේශයන් හි සිට මෙරටට පැමිණි සියලු පුද්ගලයන් ස්වයං නිරෝධානයට යොමු කිරීමට කටයුතු කිරීම, වයස අවුරුදු 60ට වැඩි ශ්වසන රෝග ඇති පුද්ගලයන් සඳහා සංකූලතා ඇති වීමේ වැඩි අවදානමක් ඇති බැවින් (ක්ෂුද්‍ර වෛද්‍ය සංගමය) ඔවුන් නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවට වූ පණිවුඩය සමාජගත කිරීම යන කරුණු ද පෙන්වා දෙන ලදි. බෙහෙත් වට්ටෝරු නිවාස වෙත යැවීමේ කාර්යයේ දී ඇතැම් පුද්ගලයන්ට ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති බැවින් වැඩිහිටි ලේකම් කාර්යාලය හරහා ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බව ඇමැතිවරිය මෙහිදී ප්‍රකාශ කළේය.

මේ වන විටත් COVID-19 ප්‍රතිකාර කටයුතු සඳහා යටිතල පහසුකම් සැලැස්මක් සකස් කොට ඇති බවත් මුල්ලේරියා රෝහලේ මාතෘ හා නව ජන්ම ඒකක වැඩිදියුණු කිරීමටත් කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී දන්වා සිටියේය. IDH රෝහල සඳහා Mobile CT Scanner යන්ත්‍රයක් ස්ථාපිත කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය ඇමැතිවරිය එහිදී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා වෙත උපදෙස් ලබා දුන්නාය.

RSL

Related Posts