COPE සභාපතිත්වයට යළිත් මහාචාර්ය චරිත හේරත්ට

Spread the love

9 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා තේරී පත්විය. පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (10) රැස්වූ එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරයන්ගේ යෝජනා ස්ථීරත්වයෙන් සභාපතිවරයා පත් කෙරිණ. අමාත්‍ය සරත් වීරසේකර මහතා යෝජනාව ඉදිරිපත් කළ අතර , පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා එය ස්ථීර කළේය.

මහාචාර්ය චරිත හේරත් මහතා 9 වන පාර්ලිමේන්තුවේ පළමු  සභාවාරයේදී ද  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 (1) අනුව පසුගියදා තේරීම් කාරක සභාව විසින් මෙම කාරක සභා සාමාජිකයෝ  පත් කරනු ලැබූහ. ඒඅනුව අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, (ආචාර්ය) සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  රවුෆ් හකීම්,  සුසිල් ප්‍රේමජයන්ත, අනුර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර,  (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මහත්වරු ‍සෙසු සාමාජික මන්ත්‍රීවරු ලෙස කටයුතු කරති.

පසුගිය සභාවාරයේ කොප් කමිටුවේ සාමාජිකත්වය දැරූ හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් කබ්රාල් මහතා වෙනුවට මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සාමාජික මන්ත්‍රීවරයෙක් ලෙස පත්වී තිබේ.

මෙහිදී, 9 වන පාර්ලිමේන්තුවේ පළමු  සභාවාරයේ අවසාන කාර්තුව තුළදී සිදුකරන ලද විමර්ශනයන් හා සම්බන්ධ පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව විසින් සකස් කරන ලද තුන්වන වාර්තාව මෙම සභාවාරයට ඉදිරිපත් කිරීම සඳහා සාමාජිකත්වයේ අනුමැතිය හිමි විය.

ඉදිරි රැස්වීම් පැවැත්වීමේදී, පසුගිය සභාවාරයේදී කෝප් කමිටුව වෙත කැඳවා එහෙත් විවිධ හේතුන් මත කල් දැමීම‍ට සිදුවූ ආයතන නැවත කැඳවීමටද කමිටුවේ එකඟතාවය හිමි විය.

එමෙන්ම ඉදිරි රැස්වීම් සඳහා ආයතන කැඳවීමේදී අවශ්‍යතාවය අනුව ප්‍රමුඛතා ලැයිස්තුවක් සැකසීමටද කමිටුවේදී යෝජනා විය.

රාජ්‍ය සංස්ථා, මුළුමනින්ම හෝ කොටසක් ආණ්ඩුව විසින් අරමුදල් සපයනු ලබන ආයතනවල ගිණුම් සහ යම් ලිඛිත නීතියක් මගින් ආණ්ඩුවට පවරා ගන්නා ලද යම් ව්‍යාපාරයක් හෝ වෙනත් පැවරීමක් සම්බන්ධව පාර්ලිමේන්තුව ඉදිරියේ තබනු ලබන ගිණුම් විගණකාධිපතිවරයාගේ සහය ඇතිව පරීක්ෂා කිරීම පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ කාර්ය වේ.

අද කාරක සභාව රැස්වූ අවස්ථාවට කමිටු සාමාජික මන්ත්‍රීවරයන් වන රෝහිත අබේගුණවර්ධන, (ආචාර්ය) සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජයන්ත සමරවීර, ඩී. වී. චානක, ඉන්දික අනුරුද්ධ, (ආචාර්ය) නාලක ගොඩහේවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  සුසිල් ප්‍රේමජයන්ත, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර,  (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ෂානක්කියන් රාසමාණික්කම්, මධුර විතානගේ සහ සාගර කාරියවසම් යන මන්ත්‍රීවරු එක්ව සිටියහ.

Related Posts