ගෝඨාගේ පුරවැසිභාවයට එරෙහි අභියාචනය ප්‍රතික්ෂේප වුණු අයුරු

Spread the love

හිටපු ආරක්‍ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසියකු ලෙස පිළිගැනීම වළක්‌වන මැන්ඩාමුස්‌ රිට්‌ ආඥවක්‌ නිකුත් කරන ලෙස ඉල්ලා මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණය ඊයේ (04 දා) පස්‌වරුවේ ගාස්‌තු රහිතව ප්‍රතික්‍ෂේප කළේය.

තම අධිකරණය හමුවට ඉදිරිපත් වූ ලේඛන හා සියලු පාර්ශ්ව විසින් දක්‌වන ලද කරුණු සලකා බලමින් තම විනිසුරු මඩුල්ල පෙත්සම ඒකමතිකව ප්‍රතික්‍ෂේප කිරීමට තීරණය කළ බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා සඳහන් කළේය.

එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර හා මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේදී ඊයේ (04) තෙවන දිනටත් සලකා බැලීම සිදු කෙරිණි. පෙත්සම සලකා බැලීම පස්‌වරු 2.00 ට පමණ අවසන් කළ විනිසුරු මඩුල්ල පස්‌වරු 3.15 ට පෙර ඒ සම්බන්ධයෙන් ලිත දේශන ගොනු කරන ලෙස සියලු පාර්ශ්වවලට නියෝග කළේය. පස්‌වරු 6.00 ට ඒ සම්බන්ධයෙන් නියෝගය නිකුත් කරන බව දැනුම් දීම නිසා පස්‌වරු 4 වන විටත් භික්‍ෂූන් වහන්සේ තෙනමක්‌ ඇතුළු විශාල පිරිසක්‌ අධිකරණ ශාලාවට පැමිණ සිටියහ.

යම් හෙයකින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝගය ලබා දුනහොත් ගෝඨාභය රාජපක්‍ෂ මහාතට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අවසරය අහිමි වන බැවින් පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරන ලෙස ඉල්ලා සිටින්නේ යෑයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ද්විත්ව පුරවැසිභාවය කියා සහතිකයක්‌ නොමැති බවත් ඇත්තේ ශ්‍රී ලාංකික පුරවැසියකු බව කියෑවෙන ප්‍රකාශයක්‌ පමණක්‌ වන බවත් එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා 2005 වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අත්සන් කළ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ පුරවැසි සහතිකය අභියෝගයට ලක්‌ කළ හොත් ඒ සමයේම එකී පුරවැසි සහතිකය සමග අත්සන් කළ සෙසු පුරවැසි සහතික 21 කද බලරහිත වන්නේ යෑයි ද ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්‌ථාව නොලැබුණ හොත් ඔහුගේ දේශපාලන දිවිය ඉන් අවසන් විය හැකි බවත් එහිදී පැවසූ ජනාධිපති නීතිඥවරයා ඔහුට සිය ඡන්දය ලබාදීමට අපේක්‍ෂා කරන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ සුබ සිහින ද එමගින් සුනු විසුනු විය හැකි බවද අධිකරණයට පැවසීය. වසර 14 කට පසුව එකී පුරවැසි සහතිකය අභියෝගයට ලක්‌ කරන්නේ නම් ඔහු ආරක්‍ෂක ලේකම්වරයා ලෙස වසර 10 ක්‌ කටයුතු කළ සමයේ ලබාදුන් නියෝග ද අභියෝගයට ලක්‌විය හැකි බවද එහිදී සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 4 (2) ව්‍යවස්‌ථාව අනුව විධායක බලය සම්පූර්ණයෙන්ම සංකේතවත් වී ඇත්තේ ජනාධිපතිවරයා මත බවත් පැවසීය. පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ දිසා අධිකරණය හමුවේදී සලකා බැලිය යුතු කරුණක්‌ වන බවද එහිදී අධිකරණයට පැවසූ ජනාධිපති නීතිඥවරයා ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හා මහින්ද රාජපක්‍ෂ මහතාට කූඨ ලේඛන සකස්‌ කළ බවට පෙත්සම්කරුවන්ගේ නීතිඥවරයා චෝදනා නැගීම ඉතා වැරදි සහගත බවද විනිසුරු මඩුල්ලට පැවසීය. එකී පුරවැසි සහතිකය ලබාගැනීමේ ඉල්ලීම සෘජුවම ඉදිරිපත් වී ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට වන බැවිනි.

එලෙස අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළහොත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටක්‌ රාජ්‍යයක්‌ නොමැති අරාජික පුද්ගලයකු බවට පත්වීමේ අවදානමක්‌ පවතින බවද පැවසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අපේක්‍ෂා කරනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වන බැවින් එම පක්‍ෂ හා සෙසු පාර්ශ්ව එකී පෙත්සමේ පාර්ශ්වකරුවන් ලෙස නම් නොකිරීම බරපතළ අඩුපාඩුවක්‌ බවද අධිකරණයට පැවසීය.

හයවන වගඋත්තරකරු ලෙස නම් කොට තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද එහිදී දීර්ඝ ලෙස කරුණු දක්‌වමින් පෙත්සම්කාර පාර්ශ්වය එම පෙත්සම ගොනුකර ඇත්තේ එය දේශපාලන හේතූන් මත බැවින් ප්‍රතික්‍ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

පළමු හා දෙවන ආගමන හා විගමන පාලකවරයා හා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ජනරාල්වරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥ එස්‌. ඥනරාඡ්, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌, ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

තුන්වන විත්තිකාර රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙනුවෙන් නීතිඥ නෙරන්ජන් අරුල්ප්‍රගාසම්, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජී. ජී. අරුල්ප්‍රගාසම් යන මහත්වරුන් සමග ජනාධිපති නීතිඥ චානක ද සිල්වා මහතා පෙනී සිටියහ. නීතිඥ සනත් විඡේවර්ධන මහතාගේ උපදෙස්‌ මත නීතිඥ රුවන්ත කුරේ ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ සමග ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණි මාරපන, අලිසබ්රි, නවින් මාරපන යන මහත්වරු පෙනී සිටියහ.

RSL

Related Posts