
2020 ආදායම් වියදම් ඇතුලත් විසර්ජන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අද උදෑසන අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, මහින්ද රාජපක්ෂ මහතා විසින් 2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අයවැය විවාදය පැවැත්විණි.
පසුගිය වසරේ දී මේ වසරට අදාළ අයවැයක් ඉදිරිපත් නොකෙරුනි. ඒ අනුව, අතුරු සම්මත ගිණුම් 4කින් රාජ්‍ය වියදම් සදහා මුදල් වෙන් කෙරිණ. එම අදායම් වියදම් පිළිබඳ විසර්ජන පනත දෙවැනි වර කියැවීමේ විවාදය අද පෙරවරු 10.00ට ආරම්භ වූ අතර ප.ව 5.00 දක්වා පැවැත්විණ.
විපක්ෂයේ විරෝධය සටහන් කරගැනීමෙන් අනතුරුව දෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. අනතුරුව 2020 විසර්ජන කෙටුම්පත තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. 2021 ලබන වසර සඳහා අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ ලබන 17 වැනි දිනයි.