20 ගැන සහ චෝකා මල්ලි ගැන ජනපති කළ හෙළිදරව්ව

Spread the love

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) පිළිතුරු දුන්නේය.

රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී විපක්ෂ චෝදනා ගැන සඳහන් කළ ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාම බව පැවසීය.

“සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම” ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා මුල්කොට ගෙන විපක්ෂය නඟන චෝදනා ගැන අවධානය යොමු කළ ජනාධිවරයා තමා හෝ අග්‍රාමාත්‍යතුමා හෝ අධිකරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකළ බව අවධාරණය කළේය.

“බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට. එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව. එහි සිටියේ කරූ ජයසූරිය, සජිත් ප්‍රේමදාස, තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි. අනෙක නරකයි” ජනාධිපතිවරයා විග්‍රහ කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරයා පත් කළේද එකී ව්‍යවස්ථා සභාවම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විපක්ෂය අසත්‍ය ප්‍රචාරයක නිරතව සිටින බව කීය.

RSL

Related Posts