රොබෝ වල් නාශකවලට පළිබෝධනාශක අවශ්‍යතාවය පිරවිය හැකිද?

Spread the love

ඉහළ  ඡායාරූපය – Aigen වෙතින් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ගොවිපළ රොබෝවක්, ගොවිතැනේදී වල් නාශක භාවිතය අවම කිරීම මෙම රොබෝවේ අරමුණ වේ.

රොබෝ සේවාවන් ගොවීන්ට රසායනික ද්‍රව්‍ය මත අඩුවෙන් විශ්වාසය තැබීමට ඉඩ සලසයි. ‘මේකෙන් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා’ කම්කරුවෝ පවසති

මධ්‍යම කැන්සාස් ප්‍රදේශයේ උණුසුම් ගිම්හාන දිනයක කෙත්වතු උණුසුමෙන් දිදුලයි, ක්ලින්ට් බ්‍රවුර් / Clint Brauer දීප්තිමත් කහ රොබෝවරු කණ්ඩායමක් ධාන්‍ය පේළි අතර ගමන් කරන ආකාරය දෙස බලා සිටී. මෙම රොබෝවරු ඔවුන්ගේ මාර්ගයට බාධා කරන ඕනෑම වල් පැලෑටි වෙහෙසකින් තොරව කපා දමයි. බැටරි බලයෙන් ක්‍රියා කරන මෙම රොබෝ යන්ත්‍ර (දිග අඩි 4 සහ පළල අඩි 2) කිසිදු මිනිස් හස්තයකින් තොරව, නිරවද්‍ය ලෙස කෙත් යාය හරහා ගමන් කරයි.

කැලිෆෝනියාවේ හිටපු තාක්ෂණික විධායකයෙකු වන Brauer, ඔහුගේ පියා පාකින්සන් රෝගය වැළඳීමෙන් පසු මධ්‍යම කැන්සාස්හි තම පවුලේ ගොවිපොළ වෙත ආපසු පැමිණ සිටී. ඔහු ගොවීන්ට රසායනික ද්‍රව්‍ය මත යැපීම අඩු කිරීමට සහ ඔවුන්ගේ සෞඛ්‍යය හා පරිසරය වඩාත් ආරක්ෂා කිරීමට උපකාරී වන තීරණාත්මක මෙවලම් ලෙස රොබෝවරු දකියි.

ඔහුගේ ග්‍රීන්ෆීල්ඩ් කෘෂිකාර්මික තාක්‍ෂණ සමාගම (Greenfield agricultural technology company) ඔහුගේ ආච්චි කලක් ජීවත් වූ පැරණි ගොවිපළ පිටුපස මඩුවක ස්ථාපිත කර ඇත. මෙම කන්නයේ ගොවීන් 20 දෙනෙකු රොබෝ සේවා සඳහා ගිවිසුම් අත්සන් කර ඇති අතර, මෙම වසරේ අක්කර 5,000ක වල් නෙලීමට බ්‍රවුර්ගේ සමාගම බලාපොරොත්තු වේ.

ගොවීන් ශතවර්ෂ ගණනාවක් තිස්සේ ඔවුන්ගේ කෙත්වල වල් පැලෑටි සමඟ සටන් කර ඇති අතර සාම්ප්‍රදායික ක්‍රම මගින් මෙන්ම නවීන තාක්ෂණික ක්‍රම මගින් ද මේ සටන ජය ගැනීමට උත්සහා කර ඇත. නමුත් එය තවමත් ජයග්‍රහණයකින් තොර සටනකි.

වල් පැලෑටි පාංශු තෙතමනය සහ පෝෂ්‍ය පදාර්ථ වෙනුවෙන් බෝග සමඟ තරඟ කරන අතර බෝග වර්ධනයට අවශ්‍ය හිරු එළිය අවහිර කරමින් අස්වනු හානි කළ හැකිය. පසුගිය වසර 50කට වැඩි කාලය තුළ වල් පැළෑටි තුරන් කිරීම වඩාත් ජනප්‍රිය ක්‍රමය බවට වල්නාශක පත්ව ඇත. ගොවීන් එක් කන්නයක දී වල් නාශක රසායනික ද්‍රව්‍ය කිහිපයක් තම කෙත්වලට ඉසීම හෝ වෙනත් ආකාරයකින් යෙදීම සාමාන්‍ය දෙයකි. නමුත් රසායනික භාවිතය ව්‍යාප්ත වීමත් සමඟම වල් නාශකවල ඇති විෂ ද්‍රව්‍යවලට නිරාවරණය වීමෙන් රෝග ඇති විය හැකි බවට විද්‍යාත්මක සාක්ෂි තිබේ. ග්ලයිෆොසේට් / glyphosate පිළිකාවට ඇති සම්බන්ධයට අමතරව, වල් නාශක රසායනික පැරක්වාට් / paraquat පාකින්සන් රෝගයට සම්බන්ධ කර ඇත. තවත් පොදු ගොවිපළ වල් නාශකයක් වන atrazine, ප්‍රජනක සෞඛ්‍යයට හානිකර විය හැකි අතර තවත් සෞඛ්‍ය ගැටලු කිහිපයකට සම්බන්ධ වේ.

පාංශු සෞඛ්‍යයට සහ පරාග වාහකයන්ට සහ අනෙකුත් වැදගත් ජීවී විශේෂයන්ට අහිතකර බලපෑම් කරන හෙයින් වල් නාශක රසායනික ද්‍රව්‍ය පරිසරයට හානිකර බව ද සොයාගෙන ඇත. ගොවිතැනේදී බහුලව භාවිතා වන වල් නාශක භාවිතය වල් පැලෑටි ප්‍රතිරෝධයට හේතු වී ඇති අතර, බොහෝ ගොවීන් නැවත නැවතත් වල් නාශක යෙදීමෙන් පවා තම කෙත්වල වල් පැලෑටි පාලනය කිරීමට අරගල කරයි.

ඡායාරූපය – ග්‍රීන්ෆීල්ඩ් නිර්මාතෘ ක්ලින්ට් බ්‍රෝවර් කැන්සාස් බඩ ඉරිඟු වගා බිමකදී වල් පැලෑටි විනාශ කරන රොබෝවරයෙක් පරීක්ෂා කරන අයුරු. ඡායාරූපය: ග්‍රීන්ෆීල්ඩ්

පුද්ගලික මෙහෙවර

වඩාත් තිරසාර ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ මාධ්‍යයක් ලෙස ව්‍යාපාර ප්‍රාග්ධන අරමුදල්, පුද්ගලික ආයෝජකයින් සහ විශාල ආහාර සහ කෘෂිකාර්මික සමාගම් වලින් වල් නාශක රොබෝ / weedkilling robots නිපදවන සමාගම් වෙත මූල්‍ය අනුග්‍රහය ගලා එයි.

ගෝලීය අවන්හල් ජාලය වන Chipotle Mexican Grill හි ආයෝජන අංශය Greenfield හි ආයෝජකයින් අතර වේ. Chipotle ව්‍යාපාර අරමුදලට නායකත්වය දෙන ක්‍රිස්ටියන් ගැමිල් පැවසුවේ ග්‍රීන්ෆීල්ඩ්ගේ කාර්යය “වැදගත් සහ බලගතු” බවයි. ග්‍රීන්ෆීල්ඩ් ප්‍රාග්ධනය ලෙස ඩොලර් මිලියන 12ක් පමණ රැස් කර ඇති අතර, බ්‍රවුර්ට අනුව තවත් වැඩි මුදලක් සොයමින් සිටී.

උතුරු ඩැකෝටා පදනම් කරගත් Aigen Robotics මේ දක්වා ඩොලර් මිලියන 19ක් රැස් කර ඇත. එහි සංයුක්ත රොබෝවරු එක් එක් යන්ත්‍රයේ මුදුනේ සවි කර ඇති සූර්ය පැනල මගින් බල ගැන්වෙන අතර ගොවි බිම්වල නිදා ගැනීමට, අවදි වීමට සහ ස්වයංක්‍රීයව ක්‍රියා කිරීමට සැලසුම් කර ඇත.

මීට පෙර සයිබර් ආරක්ෂණයේ සේවය කළ Aigen සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Kenny Lee පැවසුවේ තමන් සහ විදුලි වාහන කර්මාන්තයේ සේවය කළ හවුල්කරු Richard Wurden ගොවිතැනේ වල් නාශක භාවිතය අවම කිරීම සඳහා “පුද්ගලික මෙහෙයුමක” යෙදී සිටින බවයි. Lee යනු Hodgkin නොවන ලිම්ෆෝමා රෝගයෙන් දිවි ගලවා ගත් අයෙක් වන අතර එය ජනප්‍රිය Roundup සන්නාමය වැනි ග්ලයිෆොසේට් මත පදනම් වූ වල්නාශක මගින් ඇති විය හැකි බව පිළිකා පිළිබඳ පර්යේෂණ සඳහා වූ ජාත්‍යන්තර ඒජන්සිය විසින් සොයා ගෙන ඇත.

සමාගම සහ මෙම ගිම්හානයේදී රොබෝවරුන් 50ක් එක්සත් ජනපදයේ සීනි බීට් වගා බිම්වල යොදවා ඇති අතර, පුළුල් වූ බෝග සමූහයක් සමඟ භාවිතා කිරීම සඳහා එම බලඇණිය 500 දක්වා වර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත. වෙනත් සමාගම් සංවර්ධකයින්ට අනුව, සාම්ප්‍රදායික ක්‍රමවලට වඩා නිරවද්‍ය ලෙස වල් නාශක ඉසීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති ගොවිපළ රොබෝවරුන්ට හැකියාව ඇත.

වල් නෙළීම සහ අනෙකුත් ක්ෂේත්‍ර කටයුතු සඳහා එක්සත් ජනපද ගොවිපළවල ස්වයංක්‍රීය, කෘතිම බුද්ධි රොබෝවරු වැඩි වැඩියෙන් යොදවනු ලැබේ. ඡායාරූපය: Aigen

සංශයවාදීන් කියන දේ

තවමත්, බොහෝ ගොවීන් සහ ශාස්ත්‍රීය විශේෂඥයින් ගොවිපළ රොබෝවරුන්ට සැලකිය යුතු වෙනසක් කළ හැකි බවට සැක පහළ කරති. ඔවුන් පවසන්නේ නිෂ්පාදනය කිරීමට සහ භාවිතා කිරීමට මිල අධික වන රොබෝවරුන් විසින් විවිධාකාරයෙන් විසඳිය යුතු ගැටලු ඕනෑවට වඩා ඇති බවත්ය. බොහෝ දෙනා පවසන හොඳම මාර්ගය වන්නේ ගොවීන් ස්වභාවධර්මයට එරෙහිව වැඩ කරනවාට වඩා එය සමඟ වැඩ කිරීමයි.

පුනර්ජනනීය කෘෂිකර්මයේ ආකෘතිය / The model of regenerative agriculture – පළිබෝධනාශක සීමා කිරීම, කන්න මාරුව, වල් පැලෑටි මර්දනය කිරීම සඳහා බිම් ආවරණයක් සපයන බෝග වගා කිරීම සහ පසට බාධා කිරීම වැළැක්වීම ඇතුළුව පාංශු සෞඛ්‍යය වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කළ විවිධ උපාය මාර්ග භාවිතා කිරීම වඩා හොඳ මාර්ගය බව සංශයවාදීහූ පවසති.

“මම හිතන්නේ රොබෝවරු ඒකාබද්ධ වල් පැලෑටි පාලන ප්‍රවේශයක කොටසක් ලෙස ප්‍රයෝජනවත් මෙවලමක් විය හැකි නමුත් තනි මෙවලමක් ලෙස භාවිතා කිරීම එතරම් ඵලදායී නොවිය හැකි බව” යැයි ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ බෝග විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී සහ මහාචාර්ය ඇඩම් ඩේවිස් පැවසීය.

විස්කොන්සින් හි පදිංචි ගොවියෙකු වන රයන් එරිස්මන් ඩේවිස්ගේ අදහසට එකඟ විය. “රොබෝ වල් මර්ධකයන් ස්වභාවධර්මයට එරෙහි අවි තරඟයේ තවත් වටයක් නියෝජනය කරනවා. අපගේ කෘෂිකාර්මික මෙවලම් බොහෝමයක් ඇත්ත වශයෙන්ම ආයුධ වශයෙන් සැලකිය හැකියි. අපි පෙනෙන තර්ජනවලට එරෙහිව ඒවා භාවිතා කරනවා. අපි වසරින් වසර හෝ වාරයෙන් වාරය එකම ගැටලුවට මුහුණ දෙන විට, නැවත සකස් කිරීම අවශ්‍ය වන්නේ අපගේ මෙවලම්, අපගේ ශිල්පීය ක්‍රම හෝ අපගේ තාක්‍ෂණය නොවෙයි. අප වැඩ කරන ක්‍රමය සහ ඒ සමඟ ඇති අපගේ සම්බන්ධතාවය තේරුම් ගැනීමට නොහැකි වීම අපගේ අසාර්ථකත්වයට හේතුවයි’’

ඡායාරූපය – රොබෝ යන්ත්‍රයක් බඩ ඉරිු වගාබිමක අවකාශය හරහා ගමන් කරයි. ඡායාරූපය: EarthSense

ප්‍රතික්ෂේප කරන්නන් නොතකා, කැන්සාස් ගොවියෙකු වන ටොරී බෝල් ග්‍රීන්ෆීල්ඩ්ගේ රොබෝ බලඇණිය සඳහා ඔහුගේ වාරය බලාපොරොත්තුවෙන් සිටී. පසුගිය වසරේ සමාගමේ රොබෝවරු ඔහුගේ සූරියකාන්ත වගාවන් හි වල් නෙළූහ. මේ මාසයේ ඔවුන් ඔහුගේ සෝයා බෝංචි වගාවේ කොටස වල් නෙළනු ඇත.

බෝල් යනු ප්‍රමුඛ පෙළේ වල් නාශක වල් නාශක බොහෝ කාලයක් භාවිතා කරන්නෙකි.  වල් පැලෑටි බහුලව භාවිතා වන රසායනික ද්‍රව්‍යවලට, විශේෂයෙන් ග්ලයිෆොසේට් වලට ප්‍රතිරෝධය වර්ධනය කර ඇති බැවින් සමහර නිෂ්පාදන කෙතරම් මිල අධික සහ අකාර්යක්ෂම වී ඇත්ද යන්න ඔහු මනාව දනී. මිනිස් සෞඛ්‍යයට ඇති අවදානම් පෙන්නුම් කරන පර්යේෂණ ගැන ද ඔහු දන්නා අතර රසායනික ද්‍රව්‍ය ජලයේ ගුණාත්මක භාවයට කරන්නේ කුමක් දැයි ඔහු කනස්සල්ලට පත්ව සිටී.

ඔහු දැනට රොබෝවරුන්ගේ සේවය ලබා ගන්නේ ඔහුගේ අක්කර 2,000ක ගොවිපළේ කුඩා කොටසකට පමණි. නමුත් යම් දිනක රොබෝවරුන් ඔහුගේ සියලු ඉඩම මත රසායනික යැපීමෙන් මිදීමට උදව් කරනු ඇතැයි බෝල් බලාපොරොත්තු වෙයි.

“අපිට අඩුවෙන් රසායනික ද්‍රව්‍ය භාවිතා කළ හැකි නම් මම ඒකට කැමතියි. අපි එය භාර ගන්නා විට තිබූ තත්ත්වයට වඩා හොඳ හැඩයකින් බිම තැබීමට උත්සාහ කරමු, එය සෑම කෙනෙකුගේම ඉලක්කයයි” බෝල් පවසයි.

මෙම කතාව පාරිසරික ක්‍රියාකාරී කණ්ඩායමේ පුවත්පත් ව්‍යාපෘතියක් වන New Lede සමඟ සම-ප්‍රකාශනය කර ඇත.

ද ගාර්ඩියන් ඇසුරිණි.

සකස් කළේ – මධූ වික්‍රමසිංහ

 

Related Posts