“බිම්බරක් සෙනග ඇවිදින්” තුළ නොකියවුණු අතිශය සංවේදී කතාවක්..

Spread the love

පසුගියදා දැන් නුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ මිතුරෙක් දුරකතනයෙන් කතාකළේය. ඔහු මට වඩා එක් වසරකින් කනිෂ්ඨය. සරසවියේ භෞතික අංශයෙන් විද්‍යා උපාධිය( physical science) ලබාගත්තේය. ඔහු වසර තිස් හයකට පෙර සිද්ධියක් මට මතක් කළේය. ඒ 1988 වර්ෂයයි.

මොණරාගල ප්‍රදේශයේ මොනරාගල සීනි සමාගම නමින් ජාත්‍යන්තර සමාගමත් ඇරඹි මින් පැවතිණි. අක්කර 55000 වගාවකින් සීනි නිෂ්පාදනය කරන ආසියාවේ දැවැන්තම කම්හලක් ඉදිකිරීම ඇරඹී තිබිණි. ඒ මෙරට භීෂණය උපරිමයෙන් පැතිරෙමින් තිබූ කාලයයි. විශේෂයෙන්ම වැල්ලවාය මොනරාගල ප්‍රදේශයන් එම භීෂණයට දරුණු ගොදුරු වීමට ලක්ව තිබිණි. සරසවියෙන් උපාධිය ලබා පිට වූ විගස මගේ මිතුරාට ද එම සමාගමේ තනතුරක් සඳහා සම්මුඛ පරික්ෂණ ගණනාවකින් පසුව තෝරාගෙන තිබිණි.

Manager Production, Manager Industrial, Manager Agriculture යන තනතුරු සඳහා ඔහු සමග තවත් නිලධාරීන් දෙදෙනෙක් තෝරා ගනු ලැබ තිබුණේ විශාල පිරිසක් මුහුණ දුන් සම්මුඛ පරික්ෂණ ගණනාවකින් පසුව ය. එම ව්‍යාපෘතිය වෙල්ලස්සේ බොහෝ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාවට හොඳ ජීවන තත්වයක් ඇති කර ගැනීමේ හැකියාව ලැබී තිබුණු මාවතක් වුවත් බහු ජාතික සමාගම් යනුවෙන් බිල්ලෙකු මවා පෙන්වා ඒ තුළින් සිය දේශපාලන ස්ථාවරය ඇතිකර ගැනීමට තැත්කළ ව්‍යාපාරයක් නිසා මෙම ව්‍යාපෘතියට දැවැන්ත අභියෝගයක් එල්ල වෙමින් පැවතිණි.

එම කම්හලට අවශ්‍ය උක් ලබා ගැනීම ක්‍රම තුනකට සැලසුම් කර තිබිණි. කම්හල විසින් බද්දට ලබා ගනු ලැබූ ඉඩම් අක්කර 5 බැගින් එම ප්‍රදේශයේ ගොවි ජනතාව අතර බෙදා දීමටත් එහි වගා කිරීම සඳහා අවශ්‍ය පැළ සහ පොහොර ආදිය සමාගමෙන් සැපයීමටත් අස්වැන්න සමාගම විසින් මිලදී ගැනීමටත් එහි දී පැළ සහ පොහොර සඳහා අදාල මුදල් අයකර ගැනීමටත් එක ක්‍රමයක් යටතේ සැලසුම්කර තිබිණි.

දෙවන ක්‍රමය යටතේ ජනතාව තමාට හිමි ඉඩම් වල තමා විසින් වගා කරනු ලබන උක් සමාගමට සැපයීමටත් සමාගම ඒවා මිලදී ගැනීමටත් සැලසුම් කර තිබිණි. තෙවැනි ක්‍රමය සමාගම විසින්ම සමාගම බද්දට ලබා ගන්නා ලද ඉඩම්වල වගා කිරීමයි.
එමෙන්ම අක්කර 5 බැගින් බෙදා දෙන ඉඩම්වල ජනතාවට නිවසක් ඉදිකිරීමට සමාගම විසින් ආධාර ලබාදීමට ද සැලසුම් කර තිබිණි.

එම ගොවීන්ගේ දරුවන්ට අධ්‍යාපනය සඳහා නවීන පහසුකම් සහිත පාසැලක් ඉදිකිරීමටත්, කම්කරුවන් ගේ සහ කර්මාන්ත ශාලාවේ සේවය කරන අනෙක් නිලධාරීන් ගේ කුඩා දරුවන් රැක බලා ගැනීම සඳහා දරු සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීමටත් ,
අංගසම්පූර්ණ රෝහලක් වැනි වෛද්‍ය මධ්‍යස්ථානයක්ද, එකල අපේ රටේ ජනතාවට නුහුරු supermarket වැනි වෙළඳ ආයතන පරිශ්‍රය තුළ ඉදිකිරීමටත් සැලසුම් වල අඩංගු වී තිබිණි.

ඈත දුෂ්කර ප්‍රදේශයක් වූ මොණරාගල වැල්ලවාය සියඹලාණ්ඩුව ප්‍රදේශ සීඝ්‍ර වෙනසකට භාජනය වීමට ඉඩකඩ තිබූ එම ව්‍යාපෘතියට අත්වූයේ අවාසනාවන්ත ඉරණමකි. පෙරකල පිනකට දෝ මගේ මිතුරාත් ඔහුගේ මිතුරන් දෙදෙනා සමාගම විසින් සීනි කම්හලේ වගාකටයුතු සහ නිෂ්පාදන කටයුතු සහ කාර්මික කටයුතු පිළිබඳවැඩිදුර අධ්‍යාපනය සඳහා පශ්චාත් උපාධි (Master of science) ලබා ගැනීම සඳහා ඉන්දියාවේ පූනේ සරසවිය වෙත ශිෂ්‍යත්ව ලබා වසර දෙකක් සඳහා ඒ වනවිට පිටත් කර තිබුණේය.

නොඑසේ නම් ඔවුන් ද මහා අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙනු ඇත. ඒ අතරේ මා කලින් කියූ දේශපාලන ව්‍යාපාරයේ භීෂණය කම්හල වෙත එල්ල වූයේය. කම්හලේ ප්‍රධාන ඉඩම් නිලධාරියා වශයෙන් කටයුතු කළේ සිංහ සේනානායක මහතායි. මගේ මිතුරා පැවසූ පරිදි ඔහු ඉතාමත් අහිංසක ප්‍රසන්න පුද්ගලයෙකි. වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාවට යාමට පෙර සවස් වරුවේ ඔහු සමග බැඩ්මින්ටන් ක්‍රීඩාවේ යෙදුන බව ද මගේ මිතුරා මා සමග පැවසීය.

එක් අවාසනාවන්ත දිනක දේශප්‍රේමින් කම්හලට කඩා වැදිනි. කම්හලේ තිබූ කැටපිලර් යන්ත්‍ර යොදා ගනිමින් ඉදිකරමින් තිබූ ගොඩනැගිලි කඩා බිඳ දමනු ලැබිණි. ගිනි තබා විනාශ කරනු ලැබිණි. සිංහ සේනානායකගේ බිරිඳත් දරුවනුත් ඒ වන විට කොළඹ ගොස් තිබූ අතර එළියට ඇදගෙන ආ සිංහ සේනානායක කපා කොටා මරා දමනු ලැබිණි.

ඔහු හැරෙන්නට කම්හලේ ප්‍රධානම නිලධාරීන් වශයෙන් සිටියේ ඒ කෘෂි විද්‍යාඥ වශයෙන් කටයුතු කළ ඉන්දියානු ජාතික බන්සාල් සහ ප්‍රධාන කළමනාකරු වශයෙන් සිටි ආර්.පී. කෝටා නැමති ඉන්දියානු නිලධාරියාය. ඔවුන් දෙදෙනා සහ ඔවුන්ගේ බිරියන් එළියට ඇදගෙන විත් පිහි වලින් ඇන මරා දමා තිබූ අතර එම කාන්තාවන් දෙදෙනාගේ පපු ප්‍රදේශය ට මල් වඩමේ හැඩයට පිහියෙන් ඇන මරා දමා තිබුණේ ඉතාමත් කෲර ලෙස ය.

දසදහස් ගණනකට ආදායම් මාර්ග හොඳ ජීවිත ලබාගත හැකි තිබූ ඒ දැවැන්ත ව්‍යාපෘතිය ඒ කෲර ම්ලේච්ඡ ඝාතන සහ විනාශ කිරීම් සමගින් අවසාන විය. අපට ප්‍රජාතන්ත්‍රවාදය උගන්වන්න එන්නේ මේ අම්බරුවන් ය. තමාගේ ආගමට විරුද්ධව යන එකා මරණ එකත් තමාගේ දේශපාලන මතයට එරෙහිව යන එකා මරණය එකත් අතර වැඩි වෙනසක් නැත.

එසේ බලන විට ISIS කණ්ඩායම්, තලෙයිබාන් කණ්ඩායම් සහ මෙවැනි කණ්ඩායම් වල මතවාදවල වැඩි වෙනසක් නැත. “බිම්බරක් සෙනග ඇවිදින්” හදවතට වැදෙන ගීත වුවත් ඒවා තුලින් නොකියවෙන මෙවැනි කතා ද ඇත. මේවා ගැන කවි සින්දු ලියන්නට කියන්නට කවුරුත් නැත. අද මේ ඉතිහාසය නොදන්නා සමහරුන්ගේ වීරයන් වී ඇත්තේ මෙම දේශපාලන ව්‍යාපාරයේ නායකයන්ය. මේ රටේ යම් ඉදිරි ගමනක් හැරවුම් ලක්ෂයක් ඇති වීමට යන සෑම අවස්ථාවකදීම ඔවුන් ඒ සඳහා කුමන හෝ බාධාවක් කළහ.

යම් යම් වකවානු වල අනුව ලෝක තත්ත්වයන් අනුව ආර්ථිකයේ වෙනස්කම් කළ යුතුව ඇත්නම් ඒවාට අනුගත විය යුතුමය. ඒවාට අනුගත වී රට ඉදිරියට ගියොත් මේ දේශපාලන ව්‍යාපාරයේ කුහකයන්ට සිය සාමාජිකයන් බඳවා ගැනීම නොහැකි වනු ඇත. මන්ද ඔවුන්ට අවශ්‍ය වන්නේ ප්‍රශ්න කරදර දුක් ගැහැටවලින් බහුල සමාජයක් මිස මිනිසුන් සතුටින් සමාදානයෙන් ජීවත් වන සමාජයක් නොවන බැවිනි. අධිවේගී මාර්ගයක් හැදුවත්, ගුවන්තොටුපලක් හැදුවත්, වරායක් හැදුවත්, සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ ලා යම් ව්‍යාපෘතියක් කලත්, කුමන හෝ ආකාරයේ විදේශ ආයෝජනයක් රැගෙන ඒමට හැදුවත්, කිසිම දවසක ඒ කිසිම දෙයක හොඳක් දැකීමට ඔවුන්ට නුපුළුන.

ඇත්තෑ පස් වසරක මෙරට ඉතිහාසයට ශාප කරන හෙන් ඉල්ලන පරම්පරාව මේ සිදුවීම් සිදු වී ඇත්තේත් ඒ හැත්තෑ පස් වසරක ඉතිහාසය තුළ බව කිසිවිටෙකත් පවසන්නේ නැත. සමහර විට මේ සිදුවීම් සිදුවුණාද කියා නොදන්නවා විය හැකිය දන්නා අයත් ඒ ගැන කතා කරන්නේ නැත.

මේ විස්තර පැවසූ මගේ මිතුරා ඇතුළු අනිත් දෙදෙනාට සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම නිසා බරපතල ප්‍රශ්නයකට මුහුණ දුන්නෝය. ඒ පිළිබඳ එවකට වැවිලි කර්මාන්ත අමාත්‍ය දේ දැරූ රංජන් විජේරත්නට ඔවුන් ඉන්දියාවේ සිටි ලිපියකින් දැනුම් දීමෙන් පසු ඔවුන්ගේ පශ්චාත් උපාධි ඉතිරි කොටස සම්පූර්ණ කිරීමට අමාත්‍යංශය මගින් ප්‍රතිපාදන සපයා දෙනු ලැබිණි.

ඉහත විස්තරය මා සමග පැවසූ මගේ මිතුරා මෙරට ප්‍රධානතම රාජ්‍ය දෙපාර්තමේන්තුවක ඉහල තනතුරක් දරන අතර ඔහු සමඟ ගිය තවත් මිතුරෙක් ශ්‍රී ලංකාවට පැමිණි පසු ආරක්ෂක අංශයට එක් වී එහි ඉංජිනේරු අංශයේ ඉහළම තනතුරට (මේජර් ජනරාල්) පසුගියදා විශ්‍රාම ගත්තේය. අනෙක් මිතුරා නවසීලන්තයේ පෞද්ගලික සමාගමක ඉතා ඉහළ තනතුරක් දරමින් සිටී.
ඔවුන්ගේ හැකියාවන් ලැබූ විශිෂ්ටතම පුහුණුවන් වෙල්ලස්සේ සංවර්ධනය සඳහා කිසිසේත්ම දායක වීමට දායක කිරීමට අවස්ථාවක් ලැබුණේ නැත. විමුක්තිකාමීන්ගේ බලාපොරොත්තු ඉටු විය.

දැන් ම ව්‍යාපාරයේ ඉන්දියානු විරෝධයත් ඇමරිකානේ විරෝධයක් බොහෝ දුරට අඩුවී ඇතිවීම පිළිබඳව සතුටු වෙමි. නමුත් මේ රට සංවර්ධිත මාර්ගයකට යාමට තිබූ අවස්ථා ඔවුන් විසින් විනාශ කර දැමීම පිළිබඳව ඔවුන් දැන් වචනයක්වත් කතා කරන්නේ නැත. ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් 75 වසරක ඉතිහාසයට ශාප කරන්නේ ඒ ඉතිහාසය තුළ ඔවුන් විසින් සිදුකරනු ලැබූ වැරදි පිළිබඳ වචනයක්වත් කතා කරන්නේ නැතුවය.

-ලාල් ඩි අල්විස් ගේ ෆේස්බුක් පිටුවෙනි-

RSL

Related Posts