පියයුරු පිළිකාව ගැන ඔබ මේ තොරතුරු දැන සිටියා ද ?

Spread the love

පිළිකා රෝග අතරින් ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද බහුලම පිළිකා විශේෂය පියයුරු පිළිකා බව ජාතික පිළිකා මර්දන වැඩසටහන ඉකුත් දා අනාවරණය කළේය. වසරකට මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 5,500කට අධික සංඛ්‍යාවක් වාර්තා වන අතර, ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව මෙරට පියයුරු පිළිකා හේතුවෙන් සිදු වන මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව ද දත්ත වාර්තා මඟින් හෙළි වී ඇත. 2021 වසරේ අවසන් වරට ලබාගෙන ඇති දත්තවලට අනුව ඒ වසරේදී කාන්තාවන් 5,485 දෙනෙකුට සහ පිරිමින් 124 දෙනෙකුට පියයුරු පිළිකා රෝගය වැලඳී ඇත.

කාන්තාවන්ට පියයුරු පිළිකා වැලඳිමේ අවදානම පිරිමි පුද්ගලයන්ට වඩා සිය ගුණයකින් පමණ වැඩි බැවින් පියයුරු පිළිකා කී පමණින්ම එය වැලඳීමේ අවදානම ඇත්තේ කාන්තාවන්ට පමණක් යැයි ඇතමෙකුට සිතිය හැකිය. එහෙත් එය සත්‍යයක් නොවේ. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ කාන්තාවක වීමම ඊට ගොදුරු වීමේ මූලික සාධකයක් වුවත් කලාතුරකින් හෝ පිරිමි පුද්ගලයකු පියයුරු පිළිකා රෝගයට ගොදුරු වුවහොත් එය මරණයෙන් කෙළවර වීමේ අවදානම වැඩි බවය. ඊට හේතුව පිරිමි පුද්ගලයකුට පියයුරු පිළිකාවක් වැලඳුණහොත් එය ඔහුගේ සිරුර පුරා පැතිර යෑමේ වේගය ඉතා ඉහළ මට්ටමක පැවතීමය.

එබැවින් පියයුරු පිළිකාවට ගොදුරු නොවී සිටීම පිළිබඳ දැනුම්වත් වීම සෑම අයකුටම වැදගත් වේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් මාසය පියයුරු පිළිකාව පිළිබඳ දැනුම්වත් කිරීමේ මාසය ලෙස නම් කර ඇත්තේ ද එය ජාතික අවශ්‍යතාවක් ලෙස සලකමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර පියයුරු පිළිකා දින තේමාව ලෙස නම් කර ඇත්තේ “පියයුරු පිළිකාවට කිසිවකු තනිවම මුහුණ දිය යුතු නැත” යන්නය. පියයුරු පිළිකාව යනු ලොව පුරා කාන්තාවන් වැඩිපුර මරණයට පත්වන පිළිකා වර්ගය බැවින් එම මරණ හේතුවෙන් පවුල නම් ඒකකයට සිදුවන අහිතකර බලපෑම ද සුළුකොට තැකිය නොහැකි බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති. රෝගය වැලඳීම වළක්වා ගැනීම, කල්තියා හඳුනා ගැනීම, නිසි ප්‍රතිකාර තුළින් සුවය ලැබීම සඳහා නිසි දැනුමත් භාවය අත්‍යවශ්‍ය වන්නේ එනිසාය.

රෝග ලක්ෂණ දැන ගන්න

පියයුරක ගැටිත්තක්, පියයුරේ හැඩයේ හෝ ප්‍රමාණයේ වෙනසක්, සමේ පැහැයේ වෙනසක් එනම්, රත් පැහැ වීමක්, සම ඝන වීමක්, පියයුරුවල අසාමාන්‍ය වේදනාවක්, පියයුරුවල වළ ගැසීමක්, තන පුඩු ගිලී යෑමක් වැනි වෙනස්කමක්, තන පුඩුවලින් අසාමාන්‍ය ශ්‍රාවයක් නිකුත් වීම ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස සැලකිය හැකි අතර, ඇතැම් විට කිහිල්ලේ ඇති වන ගැටිත්තක් පියයුරු පිළිකාවක මූලික ලක්ෂණයක් වීමට ද ඉඩ ඇත.

වැඩි අවදානම කාටද?

පවුලේ ඉතිහාසය එනම් මවගේ හෝ පියාගේ පාර්ශ්වයේ කිසිවකුට පියයුරු පිළිකාවක් වැලඳී තිබීම, තරබාරුකම, මත්පැන් සහ දුම්පානය මෙන්ම හෝර්මෝන ප්‍රතිකාර දීර්ඝ කාලීනව ලබා ගැනීම නිසා ද පියයුරු පිළිකාව වැලඳීමේ අවදානම වැඩි විය හැකිය. ඊට අමතරව දරුවන් නොමැති කාන්තාවන් මෙන්ම අවුරුදු 30ට පෙර දරුවන් පිළිසිඳ නොගත් කාන්තාවන් ද අවදානම් කණ්ඩයට අයත් වේ.

රෝග ලක්ෂණ ඇත් නම් කළ යුත්තේ කුමක්ද?

ස්වයං පියයුරු පරීක්ෂාවේදී ඉහත සඳහන් කළ රෝග ලක්ෂණ තිබෙන බව හැඟෙන්නේ නම් කඩිනමින් කළ යුත්තේ විධිමත් සායනික පරීක්ෂණයකට ලක්වීමය. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විසින් පවත්වාගෙන යනු ලබන සුවනාරී සායනවලදී වයස අවුරුදු 35 සිට කාන්තාවන් සායනික පියයුරු පරීක්ෂාවට ලක් කරන අතර, එවැනි පරීක්ෂා කිරීමකින් එම රෝග ලක්ෂණ පියයුරු පිළිකාවක් පිළිබඳ අනතුරු ඇඟවීමක් දැයි කල් තියා දැනගත හැකිය.

ඊට අමතරව වයස අවුරුදු 20-40 දක්වා කාන්තාවන්ට වසර 3කට වරක්වත් සායනික පියයුරු පරීක්ෂාවට ලක්විය යුතු බවට දැනුම්වත් කරන අතර, වයස අවුරුදු 40ට වැඩි කාන්තාවන් වාර්ෂිකව එම පරීක්ෂාවට ලක්විය යුතු බවට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මාර්ගයෙන් දැනුම්වත් කරනු ලබයි.

ස්වයං පියයුරු පරීක්ෂාවේ වැදගත්කම

වයස අවුරුදු 20ට වැඩි කාන්තාවන් පමණක් නොව පිරිමි පුද්ගලයන් ද මසකට වරක්වත් ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වන්නේ පියයුරු පිළිකා අවදානමෙන් මිදීමට එය ඉතා වැදගත් වන නිසාය.

ස්වයං පියයුරු පරීක්ෂාවේදී තමන් විසින්ම තම පියයුරු පරීක්ෂාවට ලක් කරන අතර, එහිදී කන්නාඩියක් ඉදිරියේ සිටගෙන පියවි ඇසින් බලා පරීක්ෂා කිරීම මෙන්ම අතින් අල්ලා බලා පරීක්ෂා කිරීම ද කළ හැකිය. ඉතා සුළු කාලයක් මේ සඳහා වැය වන අතර, නිවැරැදිව ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කර ගන්නා ආකාරය ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නිල වෙබ් අඩවියෙන් දැන ගත හැකිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන යටතේ ක්‍රියාත්මක පිළිකා කල් ඇතිව හඳුනා ගැනීමේ ප්‍රධාන මධ්‍යස්ථානය නාරාහේන්පිට ඇතුළුව රත්නපුර, මාතර, ගාල්ල, යාපනය සහ මඩකලපුව යන මධ්‍යස්ථාන පහක ක්‍රියාත්මක වේ. කිසියම් අයකුට පියයුරු පිළිකාවක් පිළිබඳ සැකයක් හෝ රෝග ලක්ෂණ තිබේ නම් රජයේ නිවාඩු දින හැර සතියේ දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 3.00 දක්වා විවෘතව පවතින එම මධ්‍යස්ථාන වෙත යොමුවී නොමිලේ පරීක්ෂා කර ගත හැකිය. ඊට අමතරව සුව දිවි සායන නමින් රජයේ රෝහල්වල පවත්වනු ලබන සායනවලට ගොස් පියයුරු පරීක්ෂා කරගැනීම ද කළ හැකිය.

පියයුරු පිළිකා සුව කළ නොහැකිද?

ඇතැම් පුද්ගලයන් රෝග ලක්ෂණ නොතකා හරිමින් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගෙන වෙනත් ප්‍රතිකාර කරමින් කාලය අපතේ යවන අවස්ථා ඇත. පියයුරු පිළිකාව යනු මරණය කැඳවන රෝගයක් නොවේ.

එය මාරාන්තික වන්නේ කලින් හඳුනා නොගැනීම සහ නිසි ප්‍රතිකාර නොලැබීම නිසාය. කලින් හඳුනා ගැනීමෙන් සුව කළ හැකි බැවින් රෝගයට බියෙන් සැඟවී ප්‍රතිකාර නොලබා සිටීම අනුවණකමකි.

විශේෂයෙන් කාන්තාවන්ට කිව යුත්තේ නිවෙසේ සහ පවුලේ අවශ්‍යතා ඉටු කරන අතරම තමන්ගේ ශරීර සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් වීමට දිනපතා සුළු කාලයක්වත් කැප කිරීම ඉතා වැදගත් බවය.

බිරියක, මවක, ගෘහිණියක ලෙස පවුල වෙනුවෙන් අසීමිත වගකීම් දරන ඔබේ ජීවිතය පරාජය කරන්නට පියයුරු පිළිකාවට ඉඩ නොදීමට පරෙස්සම් විය යුතු බව ද මතක් කරමු.

ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලබා දුන් තොරතුරු ඇසුරිනි

lසුරේකා නිල්මිණි ඉලංකෝන්

දිනමිණ

Related Posts