හෙරොයින් නඩු 64% කින් ඉහළට

Spread the love

සුගිය වසර වඩා සියයට 64  කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වෙලා තිබෙනවා. මෙම තත්වය ඉතාමත් ඛේදනීයයි. විශාල වශයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි.

අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේ වැලිකඩ බන්ධනාගාරයේ අළුත් වැඩියාව වර්ණ  ආලේප කිරීම සහ වහළ සෙවිලි කිරිම් සදහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලේ දෙවන අදියර සදහා අද පෙරවරුවේ (14) බන්ධනාගාර පරිශ්‍රයේදී එක්වෙමිනි.

එහිදි තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.

වැලිකඩ බන්ධනාගාරයේ ගොඩනැගිලි පද්ධතිය ඉතා අබලන් තත්වයක පැවතුනා.එය ප්‍රතිසංස්කරණය කිරීම සදහා මු මුලික අදියරේ කටයුතු අපි පෞද්ලික අංශයේ දායකත්වය ඇතිව ආරම්භ කළා.දෙවන අදියර යටතේ අළුත් වැඩියා කටයුතු සදහා සදහා අවශ්‍ය ද්‍රව්‍යයන් අද පරිත්‍යශීලි ආයතන මගින් බන්ධනාගාරය වෙත ප්‍රදානය කිරීම සිදු වෙනවා.

වීට අමතරව බන්ධනාගාරයේ වැසිකිළි පද්ධතියේ කටයුතු සදහා අධිකරණ අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 100 ක් ලබාදී තිබෙනවා.අපේ අමාත්‍යාංශයේ වැඩ පිළිවෙලේ ප්‍රමුඛතාවය දී තිබෙන්නේ බන්ධනාගාර පද්ධතිය සදහා බව කිව යුතුයි.පසුගිය කාලය තුළ වැඩි වශයෙන් අධිකරණ පද්ධතියේ සංවර්ධනය සදහා පහසුකම් ලබා දී තිබෙනවා.

ඒ නිසා ඉදිරි අය වැයෙන් වැඩි මුදලක් බන්ධනාගාර පද්ධතියේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ලබාදීම අපේක්ෂාවයි.දැනට බන්ධනාගාර තුළ රදවා තබන්න පුළුවන් වගේ තුන් ගණයක් රැදවියන් රදවා සිටිනවා.නමුත් පහසුකම් නැහැ.පවතිනවා මෙන් තුන් ගුණයක් පහසුකම් වැඩි දියුණු කළ යුතුයි.අලුත් ගොඩනැගිලි ඉදි කළ යුතු බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

බන්ධනාගාරයට රැදවියන් එන්නේ ඔවුන් විසින් සිදු කරනු ලබන දේ නිසාම නොවෙයි.සමාජයත් මේ සදහා වගකිව යුතුයි.සමාජය තුළ පවතින තත්වයන් නිසාත් පුද්ගලයින්ට බන්ධනාගාර ගත වන්න සිදු වෙනවා.ඒ නිසා අපි බන්ධනාගාර ගත රැදවියන් දෙස මනුෂ්‍යත්වයෙන් යුතුව බැලිය යුතුයි.මානුෂිකව සළකන්න ඕන.අපි මේ රටේ තිබෙන බන්ධනාගාර පද්ධතිය දඩුවම් ලබා දෙන ස්ථාන බවට නොව පුනරුත්ථාපන මධ්‍යස්ථාන බවට පත් කළ යුතු වෙනවා.

බන්ධනාගාරයේ සිට සමාජයට යන අයගෙන් ඇතැම් පිරිසක් නැවතත් බන්ධනාගාරයට එනවා.මෙම තත්වය නතර කළ යුතුයි.ඊට හේතුව ඔවුන්ට නිසි පරිදි සමාජයේ ජීවත් විය හැකි පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් නොමැති වීමයි.ඒ සදහා විසදුම් වශයෙන් දැවැන්ත පුනරුත්ථාපන වැඩ පිළිවෙළක් එළඹෙන 18 වැනිදා බන්ධනාගාර පරිශ්‍රය තුළ ආරම්භ කරනවා.එහිදි බන්ධනාගාර ගත රැදවියන්ට වෘත්තිමය පුහුණුවක් හා ජාත්‍යන්තර භාෂා පිළිබදව අධ්‍යාපනයක්ද ලබාදී රැදවියන් විදේශ රැකියා සදහා යොමු කරවනවා.

විශේෂයෙන්ම අපි බන්ධනාගාර රැදවියන්ගේ පවුල්වල සුභ සාධනය පිළිබදව අපි අවධානය යොමු කළ යුතුයි බන්ධනාගාර තුළ සුභ සාධන කමිටු වීක්ෂණ කමිටු තිබු පමණින් වැඩක් නැහැ.ඒවායින් අපේක්ෂා කළ පරිදි ප්‍රතිඵල ලැබි නැති බව කිව යුතුයි.බන්ධනාගාර තදබදය ඉවත් කිරීම පිළිබදව අපි සාකච්ඡා කිහිපයක් සිදු කළා.එහිදි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව පොලිසීය අධිකරණ සේවා කොමිෂන් සභාව වැනි ආයතන සමග සාකච්ඡා කළා.බන්ධනාගාර තදබදය අවම කිරීමට ගත හැකි පියවර සම්බන්ධව එහිදි අවධානය යොමු කලා.විශේෂයෙන් දඩ ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින රැදවියන් පිළිබදව මෙන්ම අනෙකුත් ගැටළු පිළිබදව ලබා දිය හැකි විසදුම් පිළිබදව අවධානය යොමු කළ බව ද අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

පසුගිය වසර වඩා සියයට 64  කින් හෙරොයින් පිළිබදව වු නඩු වැඩි වෙලා තිබෙනවා. මෙම තත්වය ඉතාමත් ඛේදනීයයි. විශාල වශයෙන් මහා පරිමාණයෙන් හෙරොයින් ගෙන්වා බෙදා හරින පුද්ගලයින්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි. බන්ධනාගාර ගතව සිටින රැදවියන් වැඩි වශයෙන් ප්‍රජා විශෝදන ක්‍රියාවලියට යොමු කරවීමට ඉදිරියේදී කටයුතු කරනවා.ඒ සදහා අවශ්‍ය නීති රීති වෙනස් කර හෝ කටයුතු කළ යුතුයි. තරුණ වරදකරුවන් සදහා විශේෂිත වු කෙටි කාලීන පුහුණු වීම් ලබාදීම වැදගත් වෙනවා. තල්දෙන තරුණ වරදකරුවන්ගේ පුහුණු ආයතනය මගින් සුවිශේෂි වු පුහුණු වීම් සිදු කරනවා. බන්ධනාගාර ගත වන රැදවියන්ගේ දක්ෂතාවයන් නිපුණතාවයන් පිළිබදව හදුනා ගෙන පුහුණු වීමි ලබා දිය යුතු බවත් එය සමාජයට මෙන්ම ජාතික ආර්ථිකයට ද ඉතා වැදගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

විශේෂයෙන් අපි සමාජයක් ලෙස බන්ධනාගාරගත වන රැදවියන් දෙස බලනු ලබන සංකල්පය වෙනස් කර අලුත් විදිහට ඔවුන් දෙස බැලිය යුතුයි.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය දිනක බන්ධනාගාරයේ නිරීක්ෂණය සදහා පැමිණියා.එතුමා බන්ධනාගාරය පිළිබදව වැඩි අවධානයක් යොමු කර කටයුතු කරනවා.බන්ධනාගාර තදබදය අඩු කිරීම සදහා ගත හැකි උපරිම ක්‍රියාමාර්ගයන් ගන්නා ලෙස එතුමාත් සදහන් කළා.

අපි සියලු දෙනාගේ අපේක්ෂාව බන්ධනාගාර ගත වන සියලු රැදවියන්ගේ සුභ සාධනය හා අනාගතය සුරක්ෂිත කර යහපත් මිනිසුන් බවට පත් කිරීමයි.හෙරොයින් භාවිතය විශාල ප්‍රශ්නයක් මෙන්ම අභියෝගයක් බවට පත් වෙලා .මේ නිසා සිදු වන සමාජ ව්‍යසනය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩ පිළිවෙළක් සමාජ කතාකාවතක් අවශ්‍යයි.තරුණ පිරිස් විශාල වශයෙන් හෙරොයින් භාවිතය සදහා යොමු වෙනවා.එය ඔවුන්ගේ පවුල් සංස්ථාවට දෙමාපියන්ට මෙන්ම සමස්ත සමාජයටම හානි කර බවත් දඩුවමටත් වඩා පුනරුත්ථාපනය පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේය.

RSL

Related Posts