හිටපු නියෝජ්‍ය ඇමති ‘ප්‍රේමලාල් ‍ජයසේකර’ ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට මරණ දඬුවම

Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක, ‘චොකා මල්ලි’ හෙවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු දේශපාලනඥයින් තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් අද (31) මරණ දඬුවම නියම කරනු ලැබුවා.

කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා සහ සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී නිලන්ත ජයකොඩි මරණ දඬුවම නියම වූ අනෙක් දෙදෙනාය.

2015 ජනාධිපතිවරණය අතරතුර කහවත්ත ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට හානි කර, පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු පවරා තිබිණි. එම අධිචෝදනාවලට ඔවුන් තිදෙනා වරදකරුවන් බව අධිකරණය තීන්දු කළේය.

ඝාතනයට ලක් වූ ශාන්ත දොඩන්ගොඩගේ අවමගුල් උත්සවය
රනිල් වික්‍රමසිංහ ඝාතනයට ලක් වූ සිය ආධාරකරුවාගේ ඥාතීන් සමඟ

2015 ජනාධිපතිවරණ සමයේ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනට ආධාර පිණිස කහවත්ත නගරයේ පැවති ප්‍රචාරක රැළියක සරසිලිවල යෙදී සිටි ආධාරකරුවන්ට වෙඩිතබා එක් පුද්ගලයකු ඝාතනය කිරීම ඔවුන් තිදෙනාට එරෙහිව එල්ල වී තිබුණු චෝදනාවය.

නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, චේතාන්විතව පුද්ගලයකු ඝාතනය කිරීම, තවත් දෙදෙනෙකු ඝාතනයට තැත් කිරීම ඇතුළු අධි චෝදනා නවයක් නිතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කරණු ලැබ තිබිණි.

ලඝු නොවන නඩු විභාගයේ දී සාක්ෂි දුන් පනස් නව දෙනකුගේ සාක්ෂි සහ නඩු භාණ්ඩ 16ක් මෙම විත්තිකරුවන්ට එරෙහිව පැවැත්වෙන මහාධිකරණ නඩුවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.

RSL

Related Posts