‘සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ වගකීම ජනතාව සතු බව’ ජනපති යළි අවධාරණය කරයි

Spread the love

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවකි. ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමයි. ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තමා දැඩි ලෙස විශ්වාස කරන්නේ යයි ජනාධිපතිවරයා කියා සිටී.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය අද (09) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

“වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගත හැකි විකල්ප 03ක් තියෙනවා. එක ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, දෙවැන්න කිසිවක් නොකර සිටීම, තුන්වැන්න රෝගය පාලනය කරන අතර, රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම. අප තෝරාගත්තේ තුන්වැනි විකල්පය” ජනාධිපතිවරයා පැවසීය.

“කොවිඩ් රෝගීන් හඳුනාගෙන නිසි ප්‍රතිකාර දෙමින් පළමු අදියරේදීම සුවපත් කිරීමට වෛද්‍යවරුන්ට සහ කාර්ය මණ්ඩලයට හැකි වී තිබේ. එබැවින් දැඩි සත්කාර සේවා අවශ්‍ය නොවීය. රෝග ව්‍යාප්තිය මර්දනයට සහ අසාදනය වීමෙන් වැළකී සිටීමට ජනතාව ද නොමඳව සහය විය යුතුය” ඒ සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් වෛද්‍යවරුන් මගින් ජනතාව ගෙන යාම මාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල වගකීමක් සහ යුතුකමක් බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.

“කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු විය. වසංගතය ලොවෙන් තුරන් කරන තෙක් රට වසාගෙන සිටිය නොහැක. යථා තත්ත්වය අවබෝධ කරගෙන ක්‍රියා කළයුතුය. දින 40කට ආසන්න කාලයක් වසා දැමුණු ප්‍රදේශවලින් ද දෛනිකව ආසාදිතයන් වාර්තා වේ. ඉන් පෙනී යන්නේ වසා දැමීමෙන් පමණක් වසංගතය මර්දනය කළ නොහැකි බවයි”

“පහසුම දේ රට වසා දැමීමයි. නමුත් මිනිසුන් ජීවත් කළයුතුය. රැකියා කෘෂි, ධීවර ඇතුළු සියලු කටයුතුවල නිරත වෙමින් ආර්ථිකය ආරක්ෂා කිරීම මගේ වගකීමක්. PCR පරීක්ෂණ සඳහා රජය දිනකට වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. නිරෝධායනය ඇතුළු සමස්ත ක්‍රියාවලිය සඳහා දෛනිකව අතිවිශාල මුදලක් වැය කෙරේ. ජනතාව මේ තත්ත්වය අවබෝධ කරගෙන රෝගයට ගොදුරු වීමෙන් වැළකී සිටීමට “පුද්ගලිකව වගකීම ගැනීම යුතුකමක්”  ජනාධිපතිවරයා පැවසීය.

ඇමතිණි පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

RSL

Related Posts