සිංහල පාලකයන් ගැන විස්වාසයක් මේ ජනතාව අතර තිබුණා. නමුත් මේ වන විට මේ සිංහල පාලකයෝ මේ විශ්වාසය බිඳගෙන-දියබෙදුමේ සුමනසාර හිමි

Spread the love

යාපනයේ හින්දු විශ්ව විද්‍යාලයේ සිංහල විෂයභාර ආචාර්ය දියබෙදුමේ සුමනසාර හිමි

ඒ කාලයේ ප‍්‍රභාකරන් කවපු අදහස්වල තමයි උතුරේ බොහෝ අය තවත් ඉන්නේ. ඒ අදහස් වෙනස් කරන්න වැඩපිළිවෙළක් තවම අප ළඟ නැහැ. අපි යුද්ධය ඉවර කළත් ඉන් එහාට මානුෂීය යුද්ධයක් කළේ නැහැ. එහි ප‍්‍රතිඵල වැඩි දුර නොගොස්ම අපට දකින්නට ලැබේවි.  අපි මේ යන දිසාව වෙනස් නොකළොත් නැවත ප‍්‍රභාකරන් කෙනෙක් බිහි වෙනව කියන එක වැළැක් විය නොහැකියි. හමුදා දැල දාගෙන හැමදාම ඉන්න බැහැ. මිනිස්සු නැගිට්ටොත් මොකද කරන්නෙ.

සමස්ත ද්‍රවිඩ ජනතාවම නැගිට්ටොත් ? එදාට ආණ්ඩුව මොකද කරන්නෙ. එක මිනිහෙක් නැගිටල තමයි අපි ඒ මර්ධනය කළේ. මම හිතන්නේ මේ මිනිස්සුන්ට එකම පීඩනය දීල ප‍්‍රශ්නය විසඳන්න බැහැ. යුද්ධය දිනීමට කළ මෙහෙයුම අප කළේ අවියෙන්. නමුත් ආයුධ වලින් කළ ජයග‍්‍රහණය තාවකාලිකයි. ඉන් එහා ගිහින් මානුෂීය යුද්ධයක් ආරම්භ කිරීම අත්‍යවශයි.  ද්‍රවිඩ ජනතාව අතරට ගිහින් ඒ ජනතාවට අදහස් හුවමාරු කරගෙන සිංහල ජාතිය ගැන අවබෝධයක් දීල, සිංහල ජාතිය කියන්නෙ දෙමළුන් මරාගෙන කන්න ආපු ජාතියක් නොවන බව හැඟීමක් ද්‍රවිඩ ජනතාවට දිය යුතුයි.

උදාහරණයක් ලෙස මම යාපනයේ හින්දු විද්‍යාලයේ ගුරුවරයෙක්. යාපනයේ හින්දු විද්‍යාලයේ දෙමළ ජනතාවගේ මර්මස්ථානයයි. මේ පාසලට ළමයින් 3000ක් එනවා. යාපනය අර්ධද්වීපයේ ශිෂ්‍යත්වය පාස් වී එන්නේ මේ පාසලටයි. මම පාසලට උදේට යනකොට ළමයින් හැමෝම ඇවිත් මට ආයුබෝවන් කියනවා,… තෙරුවන් සරණයි කියනවා,.. මට වඳිනවා. කතා කරනවා. ඒවගේම පුංචි දරුවන් මගේ සිවුරෙ එල්ලෙනවා. ඒ දරුවන්ට මම සිංහල කෙනෙක් කියන හැඟීම එන්නෙ නැහැ. හාමුදුරුවො කියන්නේ පොදු වස්තුවක් කියන හැඟීම තියෙනවා. මම දකින්නේ හින්දු විද්‍යාලය තුළ මම ඇති කරල තියෙන පරිසරය තුළ අපේ ළමයින් අපට විරුද්ධව කවදාවත් අවි ගන්නේ නැහැ.

එවැනි ආකල්පයක් අපි සිංහල, දෙමළ ළමයින් තුළ ඇති කළ යුතුයි. මේ වාගේ යාපනය ඇතුළු උතුරේ අනෙකුත් ස්ථානවලට, විශේෂයෙන් පාසල් වලට සහ රාජ්‍ය ආයතන වලට මිනිස්සු අතරට යන විශාල දැවැන්ත වැඩපිළිවෙළක්, දැවැන්ත මානුෂීය යුද්ධයක් ආණ්ඩුව මැදිහත් වී ඇති කළ යුතුයි.

භාෂා ගැටලූව

උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල දෙමළ ජනතාවට තවමත් රාජ්‍ය ආයතන වලින් එන ලිපි ලැබෙන්නේ සිංහල භාෂාවෙන්.ඊට හේතුව ඒ රාජ්‍ය ආයතනවල දෙමළ භාෂාව දන්නා නිලධාරීන් නැහැ. සේවය සඳහා යොදවලත් නැහැ. අපේ ලිපියක් දෙමළ භාෂාවෙන් ලැබුණාම අප පත් වන දැඩි අපහසුතාවය වගේම දෙමළ ජනතාවටත් සිංහල භාෂාවෙන් ලිපි ලැබුණාම අපහසුතාවයට පත් වෙනවා. යාපනයේ රාජ්‍ය ආයතන වලින් මෙහි ජීවත් වන සිංහල මිනිස්සුන්ට ලැබෙන දෙමළ භාෂා ලිපි කියවා තේරුම් ගැනීම හෝ ඒවා පරිවර්තනය කර ගැනීමට අපේ පියදාස මාස්ටර් ළඟට සතියකට 10, 12 විතර එනවා. එයත් දැඩි ගැටලූවක්. මේ දෙපැත්තටම භාෂා දැනුම ඇති නිලධාරීන් යෙදවිය යුතුයි. එය එකවර කළ නොහැකි බව මා පිළිගන්නවා. හැබැයි තවම ආරම්භයක් වත් දකින්න ලැබෙන්නේ නැහැ.

මේ ගැටලූවට විසඳුමක් ලෙස දේශපාලන විසඳුමක් ගෙන ඒම කියන කතාව මෙහි ඉන්න අපට සුරංගනා කතාවක්. මගේ අදහස එය නිකන් වචනයක් විතරයි. විසඳුම කිව්වාම ඒ විසඳුම මොකක් ද ? කවුද දෙන්නෙ කියන කාරණාව ප්‍රෙහේලිකාවක්. විසඳුම තවම එළියට පැන්නෙ නැහැ. සිංහල පාලකයන් ගැන විස්වාසයක් මේ ජනතාව අතර තිබුණා. නමුත් මේ වන විට මේ සිංහල පාලකයෝ මේ විශ්වාසය බිඳගෙන. ඔය කියන දේශපාලන විසඳුම දෙමළ ජනතාවට දෙනවා නම් කල් මරන්නෙ නැතුව දිව යුතු හොඳම කාලය දැන් ඇවිත් තියෙනවා. මේ වන කොට දේශපාලන විසඳුම වචනයක් විතරක් බවට පත් වී තිබෙනවා.

වතුකරයේ ඉන්න දෙමළ ජනතාවට සිංහල භාෂා ප‍්‍රශ්නය නැහැ. නැගෙනහිරත් අම්පාර, මඩකළපුව, පොළොන්නරුව දෙමළ ජනතාවටත් භාෂා ප‍්‍රශ්නය නැහැ. උතුරුකරයේ වවුනියා ජනතාවටත් භාෂාව ගැටලූවක් නැහැ. ඒ ගොල්ලො සිංහල, දෙමළ මුස්ලිම් ඔක්කොම එකට ජීවත් වෙනවා. වවුනියාවේ සිට යාපනයට එන හැම දෙමළ කෙනෙකුටම සිංහල පුලූවන්. මුලතිව්, කිළිනොච්චිය, මන්නාරම සහ යාපනය යන මේ දිස්ත‍්‍රික්ක වලට සිංහල භාෂා ගැටලූව තිබෙනවා. අපි කියන්නේ එහෙම විසඳුමක් දෙන්න බැරිනම් ක‍්‍රමක් ක‍්‍රමයෙන් හරි එය ලබාදිය යුතුයි. ජාතිවාදය කියන සංකල්පය ද්‍රවිඩ ජනතාව අතර නැහැ.දෙමළ ජාතිවාදය හෝ සිංහල ජාතිවාදය වපුරන්නේ සිංහල දේශපාලඥයින්මයි. ජාති වාදය ඇවිස්සෙයි කියල හැමදාම මෙහෙම ඉන්න එකේ තේරුමක් නැහැ.මෙහි හිටපු සිංහල අයට මෙහි ඒමට අවස්ථාව දෙන්න ඕනෙ.
ආපු සිංහල අය මෙහි ඉක්මනින් පදිංචි කරන්න ඕනෙ. මුස්ලිම් අයටත් මෙහි එන්න අවස්ථාව දී ඔවුන්ව පදිංචි කරන්න ඕනෙ. නාවක්කුලියේ ගම්මානයේ සිංහල පවුල් 184ක් ඉන්නවා. ඊට ඉස්සරහා තියෙන ගම්මානයේ දෙමළ පවුල් 300ක් පදිංචි වී සිටිනවා. මේ දෙගොල්ලම සමගියෙන් ඉන්නවා. දෙමළ ජනතාව සිංහල ජනතාවටත් සිංහල ජනතාව දෙමළ අයටත් විරුද්ධව හඬක් නගන්නේ නැහැ.

දෙගොල්ලම අතර සංහිඳියාව තිබෙනවා. සිංහල අය පදිංචියට ආපු මුල් දවස් වල දෙමළ අයගේ වැසිකිළි වලට යනවා. සමහර සිංහල අයගේ නෑදෑයෝ ඉස්සරහා දෙමළ ගම්මාන වල ඉන්නවා. මේ නිසා ආණ්ඩුවට වැඩි මහන්සියක් අවශ්‍ය නැහැ. ගොලූබෙල්ලෙක් ඉබ්බෙක් වගේ බඩගාගෙන යන මේ විසඳුම් ගමන ඉක්මනින් කළ යුතුයි. විසඳුම සඳහා ආණ්ඩුව මැදිහත් නොවන්නේ ඇයි ? මේ දෙමළ ජනතාවට හමුදා දැලක් දමලායි තියෙන්නේ. නමුත් ලෝකයේ අනෙකුත් රටවලට දෙමළ ඩයස්පෝරාව තියෙනවා. ඊට කඳිම නිදසුන යාපනයේ නගරයේ දවල් 11 වන විට මොබිටෙල් හෝ ඩයලොග් බිල් ගෙවන්න ඉන්න දිග පෝලිම් බලන්න. ඉන් අදහස් කරන්නේ ඩයස්පෝරාවේ අදහස් මෙහි එනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ. ඒ තුළ කවදා හෝ දවසක ප‍්‍රභාකරන් කෙනෙක් බිහිවෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

සිංහල ජනතාව

යාපනයේ සිංහල මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කිරීමට ආණ්ඩුවට තාමත් බැරි වුණා. දැනට තියෙන තත්ත්වයට අනුව නාවට්කුලි සිංහල ගම්මානයේ පවුල් 184ක් ඉන්නවා. ඒ පවුල්වල ඉන්න ළමයින්ට අකුරු කරන්න පාසලක් නැහැ. ඊටත් අමතරව යාපනයේ රාජ්‍ය සේවකයන් ලෙසට පත්වීම් ලබා පැමිණි අයගේ ළමයින් ද මේ වන විට ඇවිත් ඉන්නවා. ඒ දරුවන්ගේ අධ්‍යාපනයක් අහිමි වෙලා. අඩුම ගානේ සිංහල මධ්‍ය මහා විද්‍යාලයේවත් පටන් ගන්න කියල මේ වන විට සිංහල විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයත් හරහා ඉල්ලීම් කර තිබෙනවා. මාස 6, 7ක් තිස්සෙ ඉන්දලා මෙවැනි ඉල්ලීම් එක දිගට කරනවා. පළාත් භාර ආණ්ඩුකාරතුමාට, අධ්‍යාපන ඇමතිතුමාට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාට වගේම අවසන් වශයෙන් ජනාධිපතිතුමාටද මේ ඉල්ලීම කළා. නමුත් මේ වන තෙක්ම එය ආරම්භ කිරීමට සූදානමක් නැහැ. අප කළ ඉල්ලීම, සිංහල අපේ ඉල්ලීම සමච්චලයට ලක්වීමක් හැටියට මාර්ග ඉදිකරන කොන්ත‍්‍රාත් ආයතනයක් වන ‘‘මාගා’’ආයතනය ඉදිකිරීම් ද්‍රව්‍ය දැමීමේ වැඩබිමට පාසල් භූමිය දී තිබෙනවා. සිංහල ජාතියට කරන්න පුලූවන් ලොකුම කෙනෙහිලිකම වත්මන් ආණ්ඩුව අපට කළා කියල තමයි මට කියන්න තියෙන්නේ.

සිංහල මධ්‍ය මහා විද්‍යාලය කොළඹ ආනන්ද, නාලන්ද තත්වයට එකවරම ගන්න කියලා මම කියන්නෙ නැහැ. එක ශාලාවක් හරි පළමුවෙන් හදන්න. ගුරුවරුන් දෙන්නෙක්ව විතරක් දාන්න. එය පළමු වෙනි පියවර හැටියට ප‍්‍රමාණවත්. උතුරු වසන්තයෙන් මේ ඉන්න සිංහල අපට මොනවද තියෙන්නෙ? උතුරු වසන්තය වැඩසටහන යටතේ යාපනය සිංහල මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කරන්න කියල මම ආණ්ඩුවට කියනවා.

මම පෞද්ගලිකවම දන්නවා මේ සිංහල දරුවන්ට යන්න පාසලක් නැතිව ගෙදරට වෙලා ඉන්නේ. මේ දරුවන්ගේ අනාගතයට වගකියන්නේ කවුද? මේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය නැති වෙලා. දකුණේ ඉන්දලා අපි කෑ ගහන්නේ හැමෝටම අධ්‍යාපන අයිතිය දෙන්න ඕනෙ කියල සහ ඉගෙන ගන්න පහසුකම් ඕනෙ කියල. නමුත් උතුරේ ඉන්න සිංහල ජනතාවට කිසිම පහසුකමක් සලසා නැහැ. යාපනය අර්ධවීපය තුළ විතරක් සිංහල පාසල් 5ක් තිබිල තියෙනවා. ප‍්‍රධාන පාසල් දෙකයි, හරිජන පාසල් 3යි. හරිජන පාසල් යනුවෙන් අදහස් කරන්නේ අඩු
කුළේ දරුවන්ගේ පාසල්. හරිජන පාසල් වල 9 වසර දක්වා අධ්‍යාපනය තිබුණා. යුද්ධයට පෙර යාපනයේ කුළ බේද ඉතාදරුණු ලෙස තිබුණා. දහස් ගණනින් පවුල් සිටියා. යාපනයේ ප‍්‍රධාන පාසල්වලට අඩු කුලේ දරුවන් නොගත් නිසා ඔවුන් බුද්ධාගමට හැරිල හරිජන පාසල් පිහිටුවා ගත්තා. එවැනි හරිජන පාසල් 3ක් යාපනයේ තිබුණා ඒවා හාමුදුරුවන්ගේ නම් වලින් පැවතුණා. කන්කසන්තුරේ තිබුණ සිංහල මහා විද්‍යාලයේ ළමුන් 800ක් හිටියා. යාපනයේ සිංහල මධ්‍ය මහා විද්‍යාලයේ ළමුන් 1800ක් හිටියා.

යාපනයේ සිංහල ජනගහණය හැටියට නාවක්කුලිය ප‍්‍රදේශයේ සිංහල පවුල් 185ක් ද, වෙනම රාජ්‍ය සේවකයෝ 150ක ආසන්න පිරිසක් ද ඉන්නවා. මේ රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් මේ වෙනකොට යාපනය අතහැරල යන තත්වයක් උදා වෙලා තිබෙණවා. රාජ්‍ය සේවය සඳහා කොළඹින් එනව විතරයි එන නිලධාරීන්ට මෙහි කිසිම පහසුකමක් නැහැ. ඉන්න හිටින්න තැනක් නැහැ. කන්න දෙයක් නැහැ. ගැටලූ ගොඩකට මුහුණදීල ඒ මිනිස්සු මෙහි ජීවත් වනවා. රාජ්‍ය සේවක සේවිකාවන් කිහිප දෙනෙක් මට පසුගිය දවස් වල මුණ ගැසුණා. ඔවුන් අතරමන් වෙලා කරකියා ගත නොහැකිව ඉන්නවා.

සමහර නිලධාරීන් යාපනයට ආවයින් පසු එකිනෙකාගේ අතකොලූ බවට පත්වෙනවා. එක් එක් අමාත්‍යාංශ යටතේ රාජ්‍ය නිලධාරීන් යාපනයට එනකොට අමාත්‍යාංශ වගකිව යුක්තන් ඒ ගැන සොයාබැලීම අත්‍යවශ්‍යයයි. අද යාපනයේ එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. යුද්ධය ඉවර වෙන කොට දෙමළ මිනිස්සු සිංහල ජනතාව වැලඳගන්න ආශාවෙන් බලාගෙන සිටියා. සිංහල රාජ්‍ය සේවකයින් එනකල් බලාගෙන සිටියා. ඔවුන්ව පිළිගත්තා. නමුත් වර්තමානයට තියෙන තත්ත්වයට අනුව සිංහල මිනිස්සු ප‍්‍රතික්‍ෂ්පයට ලක්වෙලා. එයට හේතුව ආණ්ඩුවේ වැඩපිළිවෙළයි. මම ආණ්ඩුවට කියන්නේ මීට වඩා මැදිහත් වෙන්න ඕනේ, යාපනයට එන සිංහල ජනතාව වෙනුවෙන්, සිංහල රාජ්‍ය සේවකයින් වෙනුවෙන් දෙමළ සිංහල මිනිස්සු අතර අන්‍යොන්‍ය වශයෙන් අදහස් හුවමාරු වෙන වැඩපිළිවෙළක් මේ ආණ්ඩුව ගෙනයන්නේ නැහැ.උතුරේ ඉන්න සිංහල ජනතාවට මීට වඩා ආණ්ඩුව සලකන්න ඕනේ.

දකුණේ සිට උතුරට ගොඩක් ආශාවෙන් එන රාජ්‍ය සේවකයින් එනවට වඩා වේගයෙන් මාරුවීම් හදාගෙන නැවත යනවා. මේ වන විට තියෙන වැඩපිළිවෙළ අනුව යාපනයේ රාජ්‍ය ආයතනවල සිටින දෙමළ ප‍්‍රධානීන් සිංහල අයව මාරු කර යවන්න කැමතියි. ස්ථාන මාරුවීම් හදා ගැනීමට උත්සාහා දරණ රාජ්‍ය සේවකයින් විශාල ප‍්‍රමාණයක් තවත් ඉන්නවා. ස්ථාන මාරුවීම් අවශ්‍ය රාජ්‍ය සේවකයින් අදාළ ප‍්‍රධාන තැනින් මාරුව දෙන්න කලින් යාපනයේ රාජ්‍ය ආයතනයෙන් ඔවුන්ව යවනවා. සිංහල නිලධාරීන් යාපනයේ තියාගන්නවාට වඩා දෙමළ නිලධාරීන් හොඳයි කියන තැනට ඔවුන් ඉන්නවා. මේ වන විට මා පෞද්ගලිකව දන්නා තරමින් රාජ්‍ය සේවකයින් 12 දෙනෙක් ස්ථාන මාරුවීම් හදාගෙන දකුණට ගියා. තවත් රාජ්‍ය සේවකයින්ට මා දන්නා තරමින් මෙහි රාජ්‍ය ආයතන දෙමළ ප‍්‍රධානීන්ගෙන් කෙනෙහෙලිකම් සිදුවී තිබෙනවා.

රාජ්‍ය භාෂාව හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා ලෙස මීට කලින් ක‍්‍රියා කළේ එස්.පී.නාවින්න මැතිතුමා. මා ළඟ ලියකියවිලි තිබෙනවා. එතුමාගෙන් මම මීට කලින් ඉල්ලීමක් කළා, යාපනයට අංගසම්පූර්ණ සිංහල භාෂා මධ්‍යස්ථානයක්, සිංහල විතරක් අධ්‍යයනය කරන්න ආයතනයක් ආරම්භ කරන්න කියන ඉල්ලීම එතුමාගේ කාලයෙත් කළා. එත් ඒ දේ සිද්ධ වුණේ නැහැ. දැන් වත්මන් අමාත්‍යවරයා වන වාසුදේව නානායක්කාර ඇමතිතුමාට මම දැනුම් දුන්නා. ඒ සම්බන්ධයෙන් පහසුකම් සලස්වන්න අපහසු බව දන්වා එතුමාගේ අමාත්‍යාංශයෙන් මට ලිපියක් එවලා තිබෙනවා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව හැම පළාතටම ත‍්‍රිභාෂා උගන්වන්න මධ්‍යස්ථානයක් ඇති කිරීමට සැලසුමක් තිබෙනවා. නමුත් අනිත් පළාත්වල තිබෙන ගැටලූව නෙමේ මේ තියෙන්නේ. එය තේරුම් නොගන්නේ ඇයි ? දකුණේ අයට වඩා මෙහි ජීවත්වන දෙමළ ජනතාවගෙන් වැඩි කොටසකට ඉංග‍්‍රීසි කතා කළ හැකියි. ඒ නිසා යාපනයේ ජනතාවට නම් ඉංග‍්‍රීසි අලූතෙන් ඉගැන්වීමට අවශ්‍ය නැහැ. මම කියන්නෙ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ආණ්ඩුව සහ වගකිව යුතු සියලූ දෙනා එකතු වී සිංහල භාෂාව ඉගැන්වීමට අවශ්‍ය අංග සම්පූර්ණ භාෂා ආයතනයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යයි. මාස 6 කට හෝ වසරකට වරක් පාඨමාලා ඇති කොට එයින් සිංහල භාෂාව ගැන හොඳ අවබෝධයක් ඇති කොට නිදහස් කිරීම ඉතා වැදගත්.

මේ තුළින් මේ සිංහල දෙමළ ගැටලූවද විසදීමට බොහෝ ඉඩකඩ තිබේවි. ඒ සඳහා යාපනය නගරයේ දැනටමත් විශාල ඉල්ලූමක් තිබෙනවා. යාපනයේ ජනතාවට සිංහල භාෂාව නැතිව වවුනියාවෙන් එහාට යන්න පුලූවන් කමක් නැහැ. යුද්ධයෙන් පස්සේ දකුණේ මිනිස්සු දස දහස් ගාණින් උතුරුට ආවා. ඒ ගැන ජනතාව මෙන්ම ජනමාධ්‍යද කතා කළා. උතුරේ මිනිස්සු දකුණට ගියේ නැහැ. ඒ ඇයි කියන හිඩස ගැන කවුරුත් කතා කළේ නැහැ. උතුරේ දෙමළ මිනිස්සු දකුණට නොයෙන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි භාෂා ප‍්‍රශ්නය. මේ තියෙන භාෂා ප‍්‍රශ්නයට විසඳුම් හොයන්න අතීතයේ සිටම, ඒ කියන්නෙ අපට නිදහස ලැබෙන්න කලින් සිට දඟලනවා. දැඟලූවට විසඳුමක් ලැබුණේ නැහැ. දෙමළ මිනිස්සු අතරේ ජීවත් වන සිංහල අපට දැනෙනවා මේ විසඳුම මෙහෙට දුන්නොත් භාෂා ප‍්‍රශ්නය විසදෙනවා. ඕනෑම වෙලාවක රාජ්‍ය සේවකයින්ට පාසල් ළමුන්ට භාෂා පරිවර්තකයින්ට සහ සාමාන්‍ය ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයන්ටත් හැමෝටම සිංහල ඉගෙනගත හැකි ආයතනයක් ඇති කිරීම අවශ්‍යයි. දැනට යාපනය තුළ පොඞ්ඩ පොඞ්ඩ සිංහල දන්නා මාස්ටර්ල වැඩට බැහැල ඉන්නවා. ඒ අයගේ එක් පන්තියකට එක් පැයක කාලයකට රු.500 අය කරනවා. නමුත් තවමත් සිංහල ඉගෙන ගත්ත කෙනෙක් නැහැ. මොකද උගන්වන ගුරුවරුන්ට සිංහල බැහැ. සිංහල උගන්වන සමහර දෙමළ මාස්ටර්ල ‘‘දිවයිනට ’’ ‘‘තිවයින’’ කියල ලියන්න උගන්වනවා. සිංහල භාෂාව යාපනය තුළ වවාගෙන කන බෝගයක් බවට පත්වී තිබෙනවා. සිංහල උගැන්වීම බිස්නස් එකක්. මේ වන තෙක්ම යාපනයේ කිසිම පුස්තකාලයක සිංහල පොත් පත් නැහැ. යාපනයේ ප‍්‍රධාන පුස්තකාලයේ සිංහල පොත් වලට වෙනම අංශයක් තිබිල තියෙනවා. නමුත් අද නැහැ. එහි තියෙන්නෙ පුංචි ජාතක කතා පොත් දෙකක් හා පිරිත් පොත් කිහිපයක් පමණයි. ඒවත් හාමුදුරුවො වන්දනාවෙ ඇවිත් පරිත්‍යාග කළ පොත්. ඒවා තියෙන්නේ සතියක් හෝ දෙකක් පමණයි ඊට පස්සෙ මොනවා වෙනවද දන්නෙ නැහැ. මේ යන රටාව ඉතා ඉක්මනින්ම වෙනස් විය යුතුයි.

උපුටා ගැනීම ජූරිය පුවත්පතින්.

RSL

Related Posts