‘සා.පෙළ ගැන’ කඩිනම් තීන්දුවක්

Spread the love

අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාර්ගගත ක්‍රමයට පැවති රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කරන ලද කරුණු

පසුගිය දින කිහිපය තුළම සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින දරුවන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගෙන් විෂය නිර්දේශ ආවරණය පිළිබඳව දත්ත ලබාගෙන ලබාගනිමින් පවතින අතර එම දත්ත සහ සාධක මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඉදිරියේදී සිදුවන බවත් දුරස්ථ ක්‍රමයට එම ඒකක කොපමණ ප්‍රමාණයක් ආවරණය කර තිබේ ද යන්නත් සලකා බැලීමට සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

අද දින (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රජයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මාර්ගගත ක්‍රමයට පවත්වන ලදී. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

මෙම මාධ්‍ය සාකච්ඡාව අමතමින් අමාත්‍යවරුන් හා නිලධාරීන් විසින් පවත්නා වාතාවරණය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රය අඩපණ නොවී සෞඛ්‍යාරක්ෂිතව ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳව කරුණු පැහැදිළි කරන ලදී.

මෙහිදී අදහස් දැක්වූ  ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා,

රටතුළ පවත්නා කොවිඩ් 19 වෛරසය හා සම්බන්ධ වත්මන් වාතාවරණය තුළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතු වී ඇති යම් යම් ප්‍රශ්න විසඳීමටත් මෙම තත්වය තුළ අප රටේ සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩපණ නොවී පවත්වාගෙන යාමට ගතයුතු සාමාන්‍ය ක්‍රියාමාර්ග වලින් ඔබ්බට ගොස් සුවිශේෂී ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමටත් රජයේ අමාත්‍යාංශ හැටියට කටයුතු කරන අතර, එම කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් වලට යටත්ව ප්‍රවාහන අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

මේ අවස්ථාව වන විට රටේ යම් යම් අවිනිශ්චිතතාවන් තිබෙනවා. ඒ වගේම කොවිඩ් 19 වසංගතය පිළිබඳ ඇති වී තිබෙන තත්වයන් දිනපතා වෙනස් වෙමින් තිබෙනවා. එම වෙනස් වන සුළු තත්වයන් නිසා අධ්‍යාපනයට ඇති වන බලපෑම් වලින් ඔබ්බට පැමිණ, එම අභියෝගය භාරගෙන රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය අහිමි වීමට ඉඩ නොතබා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඊට සහාය දෙන සෞඛ්‍ය හා ප්‍රවාහන වැනි ක්ෂේත්‍ර වලටත් ඇති වගකීම ඉටු කිරීමට රජය ඉතා අධිෂ්ඨානශීලීව කටයුතු කරනවා. අපට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ එම පණිවිඩය විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසු දරුවන් ඇතුලු රටේ පුරවැසියන් වෙත ලබාදීමටයි.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා,

පසුගිය සඳුදා (23) පාසල් ආරම්භ කළ අතර, මේ වන විට දින තුනක් ගත වී තිබෙනවා. නොවැම්බර් 23 දින 34%24 දින 44% ,25 දින  51%  වශයෙන් දිවයින පුරා  දරුවන්ගේ පැමිණීමේ වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එයින් පෙනී යන්නේ දෙමාපියන් තුළ ඒ දරුවන් පාසලට එවීමේ විශ්වාසය වර්ධනය වී ඇති බවයි. එසේම දිවයින පුරා ගුරුවරුන්ගේ පැමිණීම සියයට අසූ දෙකක්.

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ අනෙක් ප්‍රදේශවල  පාසැල් විවෘත කරනු ලැබුවා. ඒ අනුව, දිවයින පුරා  පාසල් 10165ක් පවතින අතර එයින් 5100ක් විවෘත කරනු ලැබුවා.

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් විවෘත  කිරීමට තීරණය කළේ යම් කිසි කාලයක් ගෙන පියවර කිහිපයක් ඔස්සේ කටයුතු කරමින්. එසේම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය ක්‍රමවේද වලට යටත්ව පාසල් වලට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඇති කළ අතර, ඒ සඳහා රජය රුපියල් ලක්ෂ 370 ක් වැය කර තිබේ. එසේම, සෑම පාසලකටම ඒ සම්බන්ධයෙන් විදුහල්පති, ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකග්‍රාම සේවක යන අයද ඇතුළත් කමිටු පත්කර තිබෙනවා .ඒ සම්බන්ධව අධීක්ෂණය කිරීමට පළාත් අධ්‍යක්ෂකවරුන්ට බලය පවරා තිබෙනවා.

කොවිඩ් අභියෝගය හමුවේ දිගින් දිගටම පාසැල් වසා දැමීම රජයේ ප්‍රතිපත්තිය නො වන අතර දරුවාගේ  සෞඛ්‍ය සුරක්ෂිතතාවය හා දරුවාගේ අනාගතය යන දෙකම මත පිහිටා රජය කටයුතු කරනවා.

5 වසර ශිෂ්‍යත්ව විභාගය  සාර්ථකව පවත්වා එහි ප්‍රතිඵල දින 33 කදී ලබා ලබාදීමට හැකිවුණා. අපොස උසස් පෙළ විභාගයෙදි සිසුන් තුන් ලක්ෂ හැට දෙදාහක්  විභාග මධ්‍යස්ථාන 2900 ක දී විභාගයට පෙනී සිටියා. එය සාර්ථකව කර ගැනීමට හැකි වුණේ සියලු දෙනාම එක්ව කටයුතු කළ නිසයි.

 ඒ නිසා මේ සම්බන්ධයෙන්  විවේචන අත හැර සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු අතර දෙමව්පියන්ට තමාගේ දරුවා ගැන විශේෂ වගකීමක් තිබෙනවා එම නිසා තමාගේ දරුවා රෝගී තත්ත්වයෙන් පසුවේ නම් කිසිසේත්ම පාසලට එවීම නොකළ යුතුයි.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා,

මෙම තත්වය තුළ, පසුගිය දින කිහිපය තුළම සාමාන්‍ය පෙළට මුහුණ දීමට සිටින දරුවන්ගෙන් සහ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ගෙන් විෂය නිර්දේශ ආවරණය පිළිබඳව දත්ත ලබාගෙන ලබාගනිමින් පවතින අතර එම දත්ත සහ සාධක මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීම ඉදිරියේදී සිදුවනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ විෂයයන් පනස් හතරක් (54) පවතිනවා. එම විෂයන් 54 ටම අදාලව ඉටු කිරීමට අවශ්‍ය ඒකක ප්‍රමාණය ගැන සලකා බලා ඉදිරියේදී අවශ්‍ය තීන්දු තීරණ ලබාගන්නවා.

මේ වසරේ දින 184න් මුහුණට මුහුණ අධ්‍යයන කටයුතු සිදු කළ හැකි වූයේ දින අසූ හතක් (87) පමණයි. දුරස්ථ ක්‍රමයට එම ඒකක කොපමණ ප්‍රමාණයක් ආවරණය කර තිබේ ද යන්නත් සලකා බැලීමට අපි පියවර ගන්නවා.

සාමාන්‍ය පෙළ විභාගයට පලමු වරට පෙනී සිටින සිසුන් 350,000 පමණ සිටින අතර එම දරු දැරියන්ට අදාල දත්ත නිවැරදි ආකාරයෙන් සැකසීමෙන් අනතුරුව ගරු ඇමතිතුමාට ඉදිරිපත් කිරීමෙන් පසුව අවශ්‍ය තීන්දු තීරණ අප ලබාගැනීමට පියවර ගන්නවා.

අත් සේදීමට අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් ගත් විට,  සෞඛ්‍ය නිර්ණායක මත පාසලේ සිසුන් 50ට අඩු නම් අත සේදීමට ගන්නා ජල කරාම එකක්ද, ළමුන් පනස් (51) එකේ සිට සියය(100) දක්වා සිටීනම් අත සේදීමට ගන්නා  කරාම 2ක්  ද ආදී වශයෙන් ද ළමුන් දෙදහසට (2000) වැඩිනම් කරාම විස්සත් හතළිහත් අතර ප්‍රමාණයෙන්ද තිබිය යුතුයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය,

මේ අවස්ථාවේදී අධ්‍යාපන හා සෞඛ්‍ය යන අංශ දෙකම එක්ව මැයි මාසයටත් පෙර පටන්ම සාකච්ඡා කර මාර්ගෝපදේශ කිහිපයක්ම  ලබාදුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ සියල්ල සලකා තවත් මාර්ගෝපදේශයක් ලබා දී තිබෙනවා. මෙම වසංගතය ලංකාවට පැමිණි මුල් අවස්ථාවේ පටන්ම මේ ගැන අවධානය යොමු කරනු ලැබුවා.

අපට කිසිසේත්ම අවශ්‍ය නැහැ පාසලක් තුළින් කොවිඩ් 19 සම්බන්ධ පොකුරක් නිර්මාණය වනවා දකින්න. එහෙම වීමට ඇති අවස්ථාවත් ඉතාම අඩුයි. මොකද, මේ වෙලාවේ අපට පැහැදිළිව පෙනෙනවා උක්ත මාර්ගෝපදේශ පිළිපදින බව. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒ සඳහා වන සූදානම පිළිබඳව අපට සෑහීමට පත්විය හැකියි. පාසල්වල සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු තිබෙනවා. එම කමිටු පාසල් මට්මින් අධීක්ෂණය සිදු වෙනවා. මෙය එක් එක් මට්ටම්වලින් පසුවිපරමට ලක් වෙනවා.

මෙහිදී  වාර්තා වූ යම් සිද්ධීන් සමග අවධාරණය කළ යුතුයි සෑම කෙනෙකුටම අදාළ වගකීම්  බෙදී තිබෙනවා. නිරෝධානය වන නිවෙසකින් දරුවකු පාසලට එවනවා නම් එය ඉතාම අවාසනාවන්ත තත්වයක්. දෙමාපියන්ට විශාල වගකීමක් තිබෙනවා රෝග තත්වයක් ඇති පසුබිමකින් දරුවකු පාසලට නොයැවීමට. මේ තත්වය ජය ගැනීමට මුළු ප්‍රජාවම සූදානමින් සෞඛ්‍යාරක්ෂක ක්‍රම අනුගමනය කරමින් පැවතිය යුතුයි.

සිසුන් අතර සාමාන්‍ය සිහිසුන් වීම ඉතා සුලබ තත්වයක්. සිසුවෙකු සිහිසුන් වූ පමණින් කියැවෙන්නේ නැහැ එය කොවිඩ් නිසා වූවක් බව. එවැනි දරුවකු කොවිඩ් කියා නාමකරණය කිරීම වැරදියි. එවැනි දේ ප්‍රචාරය කිරීමෙන්ද වැළකිය යුතුයි.

ලංකාවේම පොදු අවශ්‍යතාවක් තිබෙනවා අධ්‍යාපන කටයුතු ඉදිරියට ගෙන යා යුතු බවට. ඒ අනුව නව තත්වයට අනුගත වෙමින් සෞඛ්‍යාරක්ෂිතව අධ්‍යාපනය ඉදිරියට ගෙන යා යුතුයි. මෙහිදී සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ දෙක අතර ඉතා ශක්තිමත් සම්බන්ධතාවක් ඒ වෙනුවෙන් පවත්වාගෙන යනවා. අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මෙහිදී ඉතා හොඳින් ක්‍රියාවට නංවනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා,

පසුගිය අ.පො.ස උසස් පෙළ විභාගය පැවති කාලයේ අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබාදීමට අප කටයුතු කළා. එහිදී ඇතැම් විට එක් සිසුවකු වෙනුවෙන් පවා බස් රථ ධාවනය වූවා. මේ අවස්ථාවේදීත් බස්නාහිර පළාත හැර සෙසු පළාත් සඳහා සිසු සැරිය බස් රථ 375 ක් යොදවා තිබෙනවා.

ඇතැම් ප්‍රදේශ වලින් ඉල්ලීම් ලැබෙනවා. සිසුන්ගේ ප්‍රවාහනයට යොදවා ඇති බස්රථ ප්‍රමාණවත් නොවන බවට. ඒ අනුව, අද දින අප තීරණයක් ගෙන ඩිපෝ කළමනාකරුවන්ට දැනුම් දුන්නා අවශ්‍යතාව මත එක් මාර්ගයකට බස් රථ කිහිපයක් හෝ යොදවන ලෙස. සුදුසු පරිදි එම තීරණ ගැනීමේ බලය අප ඩිපෝ කළමනාකරුවන්ට ලබා දුන්නා. ඒ අනුව, ඉදිරියේදී ධාවනය කෙරෙන බස්රථ ප්‍රමාණය තවදුරටත් වැඩි වනු ඇති.

RSL

Related Posts