සමගි ජන බලවේගයට අලියා දෙන්න – රාජපක්ෂවරු ගෙදර යවන්න සූදානම් – මනූෂ කියයි

Spread the love

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය (එස්.ජේ.බී) යටතේ ඉදිරි මැතිවරණයට තරග කරන බවත්, මෙම සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස අලියා ලකුණ ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

සියලුම පක්ෂවල එකගතාවයෙන් රාජපක්ෂවරු පරාජය කිරීම සදහා සමගි ජන බලවේගය නායකත්වය ලබාදෙන බවත්, ආණ්ඩුව සමග ඩීල් නොමැති සියලු දෙනාටම මේ සමග එක්විය හැකි බවත් මන්ත්‍රීවරයා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ආශිර්වාදයෙන් අලුත් දේශපාලන සන්ධානයක් නිර්මාණය කිරීමටත්, එම සන්ධානයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමටත් තීරණය කර තිබෙනවා. ඒ වගේම මෙම සන්ධානයේ මහ ලේකම්වරයා විදියට රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ නමත් කෘත්‍යාධීකාරී මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව අපි සමගි ජන බලවේගය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කරනවා.

මේ සමගි ජන බලවේගය සම්බන්ධයෙන් නොයෙක් මතවාද පළ කර තිබෙනවා. මෙහි ලාංඡනය සම්බන්ධයෙන් විවිධ අදහස් විවිධ අය දක්වා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මෙතෙක් කල් තරග කළ අලියා ලකුණින් තරග කිරීමට අපි කැමැතියි. සමගි ජන බලවේගය සදහා අලියා ලකුණ ලබාදෙන්න කියලා අපි ඉල්ලීම් කර තිබෙනවා.

සමගි ජන බලවේගය පක්ෂය මීට පෙර අපේ ජාතික පෙරමුණ නමින් තිබුණේ. අපේ ජාතික පෙරමුණේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහත්තයාත්, රාජිත සේනාරත්න මහත්තයා මහ ලේකම්වරයා විදියටත් නම් කරලා පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචියට අවශ්‍ය කටයුතු කරලා තිබුණා.  මේ පක්ෂය තමයි අලුත් සන්ධානය හදන්න ගත්තේ. මේ පක්ෂයේ ඉංග්‍රීසි අක්ෂරවලින් කියවෙන දේ එක්සත් ජාතික පක්ෂයට සමාන බව කියලා නීතීඥයෙක් මැතිවරණ කොමසාරිස්වරයා ලිපියක් යවා තිබෙනවා.  නමුත් ඒ නීතීඥයා යවපු කාරණයේ කිසිදු සත්‍යතාවයක් නැහැ. . එස්.ජේ.බී. යන නමින් තමයි අපි කටයුතු කරන්නේ.

සියලු දෙනාගේම සහයෝගයෙන්, සියලු පක්ෂවල එකගතාවයෙන්, රාජපක්ෂවරු ගෙදර යවන්න, පීඩාවට පත් වෙලා සිටින ජනතාව ආරක්ෂා කරගැනීමට, පාක්ෂිකයින් ආරක්ෂා කරගැනීමට, ආණ්ඩුව සමග ඩීල් නැතිව කටයුතු කිරීමට අපි සමගි ජන බලවේගය ශක්තිමත්ව ඉදිරියට රැගෙන යනවා. 

RSL

Related Posts