Hot Plate: කරුගේ ප්‍රතිරූපය වනසන ‘ව්‍යාජ වීඩියෝව’ එළියට දැම්වේ කවුද ?

Spread the love

කරු ජයසූරිය මහතාගේ නම එ.ජා.ප නායකත්වයට මුලදී යෝජනා කළේ රවි කරුණානායක හා දයා ගමගේ වුවද දැනට ඒ වෙනුවෙන් දැවැන්ත ලෙස පෙනී සිටිනුයේ ඉන් එක් අයෙක් පමණක් බවද එ.ජා.ප ආරංචි මාර්ග කියයි.

සටහන – ගජබා නාගහවත්ත

මහමැතිවරණයේදී එ.ජා.ප ය ලැබූ පසුබෑමෙන් අනතුරුව ඇතිවූ අභ්‍යන්තර දේශපාලන වියවුල නායකත්වය වෙනස් කිරීම සදහා වූ විවිධ බලපෑම් මෙන්ම ජාතික ලැයිස්තුව පත් කිරීමේ අවසන් තීන්දුව තවම නොගැනීම ආදි පසුබිම තුළ එ.ජා.ප ය වසර 73 කින් පසුව අභිනව පාර්ලිමේන්තුවේ දී නියෝජනයක් කිරීමට නොහැකිවීම කැපී පෙනෙන ලක්ෂණයකි.

එ.ජා.ප ජාතික ලැයිස්තුවට අදාළ නම යැවීම පසුගිය 15 වන සිකුරාදායින් අවසන්වීමට තිබුණ ද එ.ජා.ප ය ඒ සදහා කල් ලබාගෙන තිබේ. එසේ නොවූවා නම් එ.ජා.ප ය විසින් මැතිවරණ කොමිසම වෙත යවනු ලැබූ ලැයිස්තුවේ මුල් නම ලෙස තිබු ජෝන් අමරතුංග මන්ත්‍රීධූරය ලෙස පත් කිරීමට ඉඩ කඩ තිබිණ.

කෙසේ වෙතත් එ.ජා.ප නායකයා හා කෘත්‍යාධිකාරි මණ්ඩලය මන්ත්‍රීධූරයට අදාළ නමක් තීන්දු කිරීමෙන් පසු එය කොමිසමට යැවීමට නියමිතය.

එ.ජා.ප නායකත්ව සටන තවදුරටත් නොනිමි අරගලයක් බවට පත්ව තිබෙන පසුබිමක හා 08 දෙනෙකු ඒ සදහා තරඟ වදින පසුබිමක වත්මන් නායකයා තවදුරතේ රැදී සිටිමට තීන්දු කොට තිබේ.

එසේම එ.ජා.ප ය තුළ මේ වන විට සිටින සියළු දෙනා පරාජිතයන් වන හෙයින් පරාජිතයෙකුට නායකත්වය බාරදීම පක්ෂයේ අනාගතයට කෙසේ බලපාවිද යන්න පිළිබදවත් එ.ජා.ප ය තුළ පුළුල් සංවාදයක් ඇරඹී තිබේ.

එවැනි පසුබිමක බදාදා සිරිකොතට පැමිණි තිනියාවල පාලිත, බෝපිටියේ ධම්මිස්සර ඇතුළු හිමිවරු 15 දෙනෙක් නායකයා හමුවී ලිපියක් බාරදී ඉල්ලා සිටියේ නායකයා අපේක්ෂා නොකළ ඉල්ලීමකි.

“ඔබතුමා වසර 26 ක් නායකත්වයේ හිටියා. පාක්ෂිකයන් පැතු ජයග්‍රහණ ලබාගන්න බැරි වුණා. පමණක් නොවෙයි ලැබු ජයග්‍රහණ රැක ගැනීමටත් නොහැකි වූ නිසා දැන් ඉවත් වී කරු ජයසූරිය මහතාට නායකත්වය බාර දෙන්න. ඊට අදාළව මේ ලිපියට වහාම අත්සන් කොට අපට බාර දෙන්න.” හිමිවරු ඉල්ලූහ.

එම ඉල්ලීමෙන් වික්ෂිප්ත වූ නායක රනිල් ලිපිය පසෙක තබා කරුණු පැහැදිලි කරන්නට විය.

“ඔබවහන්සේලා කරු ජයසූරිය මහතා ගැන කතා කරන්නයි ආවේ. නායකත්වයක් ගැන මෙහෙම දෙයක් මට දැනුම්දීලා තිබුණෙත් නැහැ. කෘත්‍යාධිකාරියට අනෙක් නම් ආවා වගේ කරුගේ නමත් එකතු කරන එක ප්‍රශ්නෙකුත් නෙවෙයි. නායකත්වයේ තීන්දු කරන්නේ මම නොවෙයි. කෘත්‍යාධිකාරියයි. එතනදීත් අවම වශයෙන් මාස දෙකක්වත් කල් යනවා.” එ.ජා.ප නායකයා පැහැදිලි කළේය.

ඒ අතර උන්වහන්සේලා සමග පැමිණි හිමිවරු කිහිප නමක් එම ස්ථානයෙන් ඉවත් ව ගොස් තිබේ. අදාළ හිමිවරුන් ඉහත ලිපිය සමග නායකයා හමුවට එවා ඇත්තේ එ.ජා.ප නායකත්වය සදහා තරග වදින කොළම දිසාවේ ප්‍රබලයෙකු බවට ද තොරතුරු පවතී.

එම අවස්ථාවේ එහි සිටි සාගල, ශමල් සෙනරත්, සමන් රත්නප්‍රිය ඇතුළු අය ස්වාමීන්වහන්සේලා නායකයා වෙතින් ඉවත් වූ පසුව කිසියම් විඩියෝ පඨයක් උන්වහන්සේලාට ප්‍රදර්ශනය කළ බවට ද ආරංචි පවතී. ඉන් පෙන්නුම් කළේ කරු පසුගිය මහා මැතිවරණයට දුරකතනයෙන් කොළඹ දිසාවට තරඟ වැදුණු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අයුරුය.

එ.ජා.ප ය ට එරෙහිව කැඩි ගිය පක්ෂයක අපේක්ෂකයන් වෙනුවෙන් පෙනී සිටි අයෙක් දැන් එ.ජා.ප නායකත්වය ඉල්ලීම ගැටළු සහගත නොවේ දැයි ඔව්හු උන්වහන්සේලාගෙන් ප්‍රශ්න කළෝය.

එතනින් ඉවත්ව ගිය උන්වහන්සේලා මාධ්‍ය හමුවක් කැදවා එ.ජා.ප නායකයාට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ඉන් අනතුරුවය.

“එ.ජා.ප නායකත්වය විසින් ස්වාමීන්වහන්සේලාට සලකනවා මදි. ඒ නිසා අපි වත්මන් ආණ්ඩුවේ නායකත්වය සමග භික්ෂුන් 14,000 ම එකතු කර දෙනවා”. උන්වහන්සේලා පැවසූහ. එය කන වැකුණු එ.ජා.ප ප්‍රබලයකු නායකයාට ඇමතුමක් දී කිවේ අමුතු කතාවකි.

“රාජපක්ෂලා මෙවැනි අරගලකාරි හිමිවරුන් ලංකර ගන්නේ නැහැ. ලංකර ගත්තොත් එතන ඉන්න හිමිවරු ඔවුන්ගෙන් ගැලවෙනවා කියලා ඔවුන් දන්නවා.” ඔහු කීවේ එවැන්නකි.

එ.ජා.ප ප්‍රතිසංස්කරණ සිදුකොට පක්ෂය යළි නගා සිටුවීම ගැන බ්‍රහස්පතින්දා මාධ්‍යකරුවෙකු එ.ජා.ප නායකයාගෙන් විමසීය.

“එ.ජා.ප ය ප්‍රතිසංස්කරණය කරලා නග්ගලා ගත යුත්තේ අලුත් නායකයායි.” එ.ජා.ප නායකයා පිළිතුරු දුන්නේය.

“ඇත්තටම ඔබතුමා නායකත්වයෙන් ඉවත් වෙනවාද?” මාධ්‍යවේදියා යළිත් විමසීය.

“කෘත්‍යාධිකාරි මණ්ඩලයයි එය තීන්දු කළ යුත්තේ.” නායකයා කීවේ එවැන්නකි.

කරු ජයසූරිය මහතාගේ නම එ.ජා.ප නායකත්වයට මුලදී යෝජනා කළේ රවි කරුණානායක හා දයා ගමගේ වුවද දැනට ඒ වෙනුවෙන් දැවැන්ත ලෙස පෙනී සිටිනුයේ ඉන් එක් අයෙක් පමණක් බවද එ.ජා.ප ආරංචි මාර්ග කියයි. තවද නවීන් දිසානායක මෙම අවස්ථාවේ පැහැදිලි ස්ථාවරයක් නොගෙන පසෙකට වී සිටීම ගැටළුකාරි බව ද ඇතැමුන්ගේ පිළිගැනිමේ වේ.

“එ.ජා.ප මහලේකම් අකිල ඇවිත් ඔහුගේ නම ජාතික ලැයිස්තුවට යවන්නේ නැතිනම් අත්සන් කරන්නේ නෑ කියලා පොඩි තර්ජනයක් දැම්මාද?” එ.ජා.ප ප්‍රබලයෙකු නායකයාගෙන් විමසීය.

“කව්රුවත් මට තර්ජනය කළේ නෑ. තර්ජනයක් හා ඉල්ලීමක් අතර විශාල පරතරයක් තියෙනවා.” යැයි කී නායකයා ඉවත බලා ගත්තේය.

සටහන – ගජබා නාගහවත්ත

RSL

Related Posts