විභාග මධ්‍යස්ථානවලට දමිළ බස දන්නා නිරීක්ෂකයින් යොදවන්න – වාසුදේව නානායක්කාර

Spread the love

ද්‍රවිඩ හා මුස්ලිම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විභාගයන්ට පෙනී සිටින විභාග මධ්‍යස්ථාන සඳහා දමිළ භාෂාවෙන් කටයුතු කළ හැකි විභාග නිරීක්ෂකයින් අනිවාර්යයෙන් යෙදවිය යුතු බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා වෙත දැනුම් දෙනු ලැබ ඇති බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය පවසයි.

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථාන කිහිපයක සහ උසස් පෙළ විභාග මධ්‍යස්ථාන කිහිපයක ද දමිළ මාධ්‍ය සිසුන් පෙනී සිටින විභාග ශාලාවන්හි දමිළ භාෂාව පිළිබඳ දැනුමක් ඇති නිරීක්ෂකයින් නොමැති බවට එම විභාග අපේක්ෂකයින්ගේ දෙමාපියන් තමා වෙත දැනුම් දී ඇති බැවින්, මේ තත්ත්වය පරීක්ෂා කර බලා මෙවන් තත්ත්වයක් ඉදිරියේදී ඇති නොවීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා සිය ලිපියෙන් දන්වා යවා ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4වන පරිච්ඡේදයට අනුව ඕනෑ ම විභාග අපේක්ෂකයෙකු වෙත තමා පෙනී සිටින භාෂා මාධ්‍ය අනුව පහසුකම් සැපයීමට විභාග දෙපාර්තමේන්තුව නීත්‍යානුකූල ව බැඳී සිටින බැවින් මෙවන් තත්ත්වයන් නොසලකා හැරීම බරපතළ වරදක් බව ද එම ලිපියෙන් දන්වා ඇති බව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

RSL

Related Posts