විදුලි – ජලනළ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන්ට මාර්ගෝපදේශ

Spread the love

කොරෝනා වසංගත තත්ත්වය යටතේ පනවා ඇති ඇදිරි නීතිය හේතුවෙන් අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු පැවරෙන විදුලිකාර්මිකයින්/ජලනළ කාර්මිකයින් හා ගෘහ විදුලි උපකරණ හා වායුසමීකරණ නඩත්තු ශිල්පීන් සදහා වු මාර්ගෝපදේශ. 11ක් මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (11) මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මෙම අත්‍යවශ්‍ය සේවාවේ අරමුණ නිවැසියන්ට අඛණ්ඩ විදුලි හා ජල සැපයුමක් සහතික කිරීම බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සදහන් කරන්නේ.

මෙම මාර්ගෝපදේශ පහත පළ වෙනවා.

1.         ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය (1939), ලංකා විදුලි බල මණ්ඩලය (1987), ලංකා විදුලි පුද්ගලික සමාගම (1910) හෝ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (0764271030) දුරකතන වලට ඉදිරිපත් කෙරෙන විදුලි හෝ ජල පාරිභෝගිකයෙකුගේ ඉල්ලීමක් මත ඔබ සදහා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් පැවරෙනු ඇත.

2.         අදාල විදුලි හෝ ජල පාරිභෝගිකයාගේ පරිශ්‍රයට ආසන්නතාවය මත තාක්ෂණික ශිල්පියා තෝරාගැනීමට සෑම විටම ඉහත ආයතන පියවර ගනු ඇත

3.         ඔබට අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් පැවරුණ පසු ආසන්නතම පොලිස් ස්ථානයෙන් අවශ්‍ය ඇදිරි නීති බලපත්‍රය ඉල්ලුම් කල හැකි ය.

4.         ඔබට ආසන්න පොලිස් ස්ථානයේ හා ස්ථානාධිපති වරයාගේ දුරකතන අංක www.police.lk වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි ය.

5.         ඔබ විසින් සෑම නඩත්තු කටයුත්තකදීම අදාල ඇදිරි නීති බලපත්‍රයේ කොන්දේසී වලට අනුකූලව කටයුතු කළ යුතු වේ.

6.         සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති කොරෝනා වසංගතයට අදාල සෞඛ්‍යමය නිර්දේශ ද අනිවාර්යෙන් අනුගමනය කල යුතු වේ.

7.         සේවාව ලබාදුන් පසු ඔබ විසින් සාධාරණ ගාස්තුවක් පාරිභෝගිකයාගෙන් අයකල හැකිය. ගාස්තු සම්බන්ධයෙන් කලින් එකග වන ලෙසද දන්වා සිටිනු ලැබේ.

8.         ඔබ විසින් අයකරන ගාස්තුව සදහා ලදුපතක් නිකුත් කල යුතු ය.

9.         අදාල තාක්ෂණික ශිල්පීන්ගේ තොරතුරු ගොනුවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් පවත්වාගෙන යනු ලබන අතර අවශ්‍යතාවය අනුව යාවත්කාලීන කෙරෙන එම තොරතුරු ගොනු අදාල ආයතන වෙත හා මහජනතාව වෙත නිකුත් කෙරේ.

10.       මෙම කොන්දේසි ද අවශ්‍යතාවය අනුව සංශෝධනය කරනු ලැබිය හැකි අතර එවැනි සංශෝධන පිළිබද ඔබ වෙත දන්වා එවනු ලැබේ

11.       වැඩිදුර විස්තර සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුව (facebook/pucsl) වෙත පිවිසෙන්න

වැඩිදුර තොරතුරු සදහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිල ෆේස් බුක් පිටුවට පිවිසෙන්න Facebook/pucsl

RSL

Related Posts