‘වැඩ බැරි ඇමතිලාට වෙන දේ බන්දුල හෙළි කරයි

Spread the love

ඇමතිධූර ලබාගන්නා අය වසර දෙක හමාරක් තුළ අමාත්‍යධූරයේ වගකීම් නිසි ලෙස ඉටු නොකළහොත් ඔවුන් මාරු කළ යුතු යැයි සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (13) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ කලාකරුවන් මාධ්‍ය ආයතනවල ප්‍රධානීන් හා මහකොමසාරිස්වරුන් ලෙස පත්කිරීම සාර්ථකද දැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දක්‍ෂතා නොදක්වන ඇමතිවරුන් වෙනුවෙන් එළඹෙන මහ මැතිවරණයෙන් පසු එවන් ක්‍රියාමාර්ගයක් ගන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් ද කර තිබෙන බවයි.

මෙහිදී සංස්ථා ඇතුළු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් ගැන ද සදහන් කළ අමාත්‍යවරයා, සංස්ථා, මණ්ඩල ඇතුළු ආයතනවල ප්‍රධානීන් ලෙස පත්කරන අයට ද එම ආයතතන වසරක් තුළ ලාභ ලබන මට්ටමට ගෙන ඒමට හෝ ආයතනය පවත්වාගෙන යා හැකි මට්ටමට ගෙනඒමට නොහැකි වුවහොත් තනතුරු වෙනස් කරන බවට උපදෙස් දී ඇති නිසා අමාත්‍යවරුන් සම්බන්ධවත් එවන් ක්‍රමවේදයත් අනුගමනය කිරීම සුදුසු බව ද කීවේය.

දක්‍ෂතා නොදක්වන්නන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් යටතේ ඉදිරියට යා හැක්කේ දක්‍ෂයන්ට පමණක් බව සදහන් කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආයතනවල සභාපතිවරුන් පත්කරන කමිටුව පත්වීම් ලබාදෙන්නේ සාධක ගණනාවක් සළකා බැලීමෙන් පසුව බව ද කීවේය.

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ අනුව සියලු දෙනාම එක් නීතියක් යටතේ වැඩ කරන රටක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බව කී ඇමතිවරයා එය ඇමතිවරුන්ටද අදාළ විය යුතු බව කියා සිටියේය.

RSL

Related Posts