වන සංරක්ෂණ නිලධාරිනිය ඇමති සනත් නිශාන්තගේ ඉල්ලීමට එරෙහි වූයේ ඇයි?

Spread the love

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් “මීගමුව කඩොලාන පද්ධතියක් පිහිටි භූමි ප්‍රදේශයක ක්‍රීඩා පිටියක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ගම්පහ දිසා වන නිලධාරිනිය, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඉදිරියේ සිය විරෝධය පළ කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

සමාජ මාධ්‍ය පරිශීලකයින් බොහොමයක් අදාළ නිලධාරිනියගේ ක්‍රියාව අගය කරමින් අදහස් පළ කර තිබිණි.

වන සංරක්ෂණ නිලධාරිනිය

Facebook හි Meenu කළ වෙනි පළකිරීමේ අවසානය

වන සංරක්ෂණ නිලධාරිනිය

දේවානි ජයතිලක නමැති එම නිලධාරිනිය ගම්පහ දිසා වන නිලධාරිනිය ලෙස සේවය කරන්නීය. ඇය එම තනතුරට පත්ව ඇත්තේ, මීට වසර 3කට පමණ පෙරය.

සිදුවූයේ කුමක් ද?

මීගමුව ආශ්‍රිතව ක්‍රියාත්මක ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සඳුදා (පෙබරවාරි 10) වන දා රැස්වීමක් කැඳවා තිබිණි.

එම රැස්වීමට ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සරත් කුමාර ගුණරත්න ද සහභාගි වී සිටියහ.

"කොන්ද පණ ඇති රාජ්‍ය නිලධාරිණිය"

මෙහිදී දිසා වන නිලධාරිනිය පැහැදිලි කළේ, “මේ වන විට ලංකාවේ අපේ ටාගට් එකක් තියෙනව ඒෂියන් චැම්පියන් වෙන්න කඩොලානවලින්. කඩොලාන භූමි අපට තව මදි හෙක්ටයාර් 10000ක්. ඊට අමතරව මේ ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ම අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ,” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කළේ, “මම ඉන්න ස්ථාවරය අපි ඉන්නෙ බොහොම පුංචි දූපතක. මේක ලෝකෙ අනික් රටවල් එක්ක ගත්ත ම අපි බොහොම පුංචි රටක්. එක පැත්තකින් වන සංරක්ෂණය, අනික් පැත්තෙන් වනජීවීන්, අනික් පැත්තෙන් වෙරළ සංරක්ෂණය. මේ කියන සේරම නීති පස්සෙ ගියා ම මිනිස්සුන්ට ජීවත් වෙන්න තැනක් නැතුව යනව. ඒ නිසා ඔබතුමියත් නම්‍යශීලී වෙලා මේක බේරගම්මු කියන එකයි මගේ අදහස,” යනුවෙනි.

“ඔක්සිජන්”

“මේක පැහැදිලිව ම රජයේ වනාන්තර භූමියක්. වනාන්තර භූමියක් නිදහස් කරන්න බැහැ. ගම්පහ තමයි අඩු ම වනගහනය 1.6%යි.” යැයි කී ඇය “මේ වෙනකොට අන්න බෙදනව ඉඩම් කච්චේරි තිය තිය. කවුද මේවට වග කියන්නේ? අපිට හුස්ම ගන්න නෑ. ඔක්සිජන් කෝ?” යැයි ප්‍රශ්න කළාය.

එහිදී එම රැස්වීමට සහභාගි වී සිටි අයෙකු ප්‍රකාශ කළේ, “මැඩම් ඔක්සිජන් තිබිල වැඩක් නෑ, ළමයි කුඩු ගංජා ගහනවා,” යනුවෙනි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇය පැවසුවේ, “ඔක්සිජන් ඕන නෑ කියන මිනිස්සු ගැන ඔබ තුමා හිතල බලන්න. සයන්ටිෆික් ඩිසිෂන් එකක් ගන්නව ද? ගමේ ගොඩේ මිනිස්සුන්ට ඕන විදිහට වැඩ කරන්න ඕන නම් මෙච්චර ඉගෙනගෙන අපි මේ තනතුරුවලට එන්න ඕන නෑ. ඒකයි මගේ ස්ථාවරය,” යනුවෙනි.

මෙහිදී ඇය දැඩිව කියා සිටියේ, “නීතියට පිටින් වැඩ කළ නොහැකි,” බවය.

දෙපාර්ශවයේ ප්‍රතිචාර

දේවානි ජයතිලක

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමග අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පැවසුවේ, “මෙය රුපියල් ලක්ෂ 10000ක මහා පරිමාණ ව්‍යාපෘතියක්. කලපුවේ ගැඹුර වැඩි කිරීම, මාර්ග සංවර්ධනය වගේ වැඩ ගොඩක් තියෙනවා මේ ව්‍යාපෘතිය යටතේ,” යනුවෙනි.

“මේ ව්‍යාපෘතියෙන් අවුරුදු 7ක් තිස්සේ තව ම රුපියල් ලක්ෂ 3000ක් විතරයි පාවිච්චි කරල තියෙන්නේ. තවත් රුපියල් ලක්ෂ 7000ක මහා පරිමාණ ව්‍යාපෘතියක් මේක. එක නිලධාරිනියකගේ ලියුමක් නැති නිසා මේක නතර වෙලා තියෙනවා. සමහර හිතුවක්කාර නිලධාරීන්ගේ කකුලෙන් ඇදීම් නිසා තමයි මෙහෙම දේවල් වෙන්නේ.”

“යම් පරිසර හානියක් වෙන්න පුළුවන් මේ හරහා. ඒත් එක සිද්ධියක් මුල් කරගෙන මහා පරිමාණ ව්‍යාපෘතියක් නතර කරන්න බැහැ. අපි කරන්න පුළුවන් දේවල් ඉදිරියට කරගෙන යනවා,” රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත්, ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක බීබීසී සිංහල සේවයට පැවසුවේ, “අදාළ භූමිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ද ගොනු කර ඇති,” බවය.

“ගම්පහ දිස්ත්‍රික්කයේ වනගහනය අවම මට්ටමක තියෙන්නේ. ඒ නිසා කඩොලාන ඇතුළු වනාන්තර පද්ධති ආරක්ෂා කර ගත යුතුයි.”

පරිසරවේදීන්ගේ ප්‍රතිචාරය

“මම දකින විදිහට මෙතන වැරදි දෙකක් සිද්ධ වෙනවා. එකක් වටිනා පරිසර පද්ධතියකට හානි කිරීමට උත්සහ කිරීම. දෙවෙනි එක එක් නිලධාරිනියක් වට කරගෙන ඇයව යටපත් කරන්න දරන උත්සහය,” පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය.

පරිසරවේදී නයනක රන්වැල්ල
පරිසරවේදී නයනක රන්වැල්ල

“ලෝකයේ පරිසර පද්ධතිවලින් හොද ම පරිසර පද්ධතිය විදිහට මේ වෙනකොට පිළිඅරගෙන තියෙන්නේ තෙත්බිම් පරිසර පද්ධති. කඩොලාන පරිසර පද්ධතිය අයත් වෙන්නේ තෙත්බිම් පරිසර පද්ධති යටතට. ඒ වගේ වටිනා පරිසර පද්ධතියකට හානි කරන්න අමාත්‍යවරයෙකු අනුබල දීම කණගාටුවට කරුණක්.”

“දශක 7ක් තිස්සේ ලංකාවේ මිනිස්සු මේ විදිහට වැඩ කරපු නිසා තමයි මේ රටට මේ තත්ත්වය උදා වුණේ. ඇමතිවරයාට කරන්න තිබුණේ පරිසරය වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනියට එරෙහි වීම වෙනුවට ඇය වෙනුවෙන් පෙනී සිටින එකයි. ඒත් ඔහු ඔක්සිජන් ඕන නෑ කියන මිනිසුන්ගේ මතය නියෝජනය කිරීම ගැන හරි ම කනගාටුයි,” පරිසරවේදී නයනක රන්වැල්ල පැවසීය.

Full text copied by bbc sinhala

RSL

Related Posts