ලෝකය පුරා ගස් වලින් 1/3ක් වඳවීමේ තර්ජනයට ලක්වෙලා – නවතම පර්යේෂණයක් හෙළිකරයි

Spread the love

ලන්ඩන්හි කියු හි උද්භිද උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තරය විසින් සිදුකළ නව තක්සේරුවකට අනුව ලෝකයේ ගස් විශේෂ වලින් අවම වශයෙන් 30% ක් වනයේ වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටී.

ඒවා ප්‍රසිද්ධ ඕක් සහ මැග්නෝලියා වල සිට නිවර්තන දැවමය ගස් දක්වා පුළුල් පරාසයක පවතී.

විශේෂඥයන් පවසන්නේ ගස් විශේෂ 17,500 ක් අවදානමට ලක්ව ඇති බවයි. එය තර්ජනයට ලක්ව ඇති ක්ෂීරපායින්, පක්ෂීන්, උභයජීවීන් සහ උරගයින් මෙන් දෙගුණයකි.

වන විනාශය, දැව කැපීම සහ දේශගුණික විපර්යාස වැනි තර්ජන මධ්‍යයේ සංරක්ෂණ කණ්ඩායම් හදිසි ආරක්ෂණ පියවරයන් ඉල්ලා සිටී.

“අප පෘථිවිය මත ගස් විශේෂ 60,000 කට ආසන්න සංඛ්‍යාවක් ඇති අතර, සංරක්‍ෂණ ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වන්නේ කුමන විශේෂයන්ටද, ඒවාට ඇති ලොකුම තර්ජන මොනවාද සහ ඒවා කොතැනදැයි අපි දැන් පළමු වතාවට දනිමු” යනුවෙන් ලන්ඩන්හි කියු හි උද්භිද උද්‍යාන සංරක්ෂණ ජාත්‍යන්තර පුන්‍යායතනයේ Botanic Gardens Conservation International in Kew, London ආචාර්ය මාලින් රිවර්ස් පැවසීය

ඩිප්ටොකාර්ප්ස්
ශාක විශේෂඥයින් 500 ක් සහ ආයතන 61 ක් විසින් සිදුකළ ‘ගෝලීය ශාක තක්සේරුව – The Global Tree Assessment මඟින් සියලුම ගස් වල සංරක්ෂණ තත්ත්වය පිළිබඳ දත්ත ගෙන එයි

සෞඛ්‍ය සම්පන්න ලෝකයක් සඳහා අපට ගස් විශේෂ විවිධත්වය අවශ්‍ය බව සොබාදහම සංරක්‍ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමයේ ගෝලීය ශාක විශේෂඥ කණ්ඩායමේ සම සභාපති සාරා ඕල්ඩ්ෆීල්ඩ් පැවසීය.

“සෑම ගස් විශේෂයකටම සුවිශේෂී පාරිසරික කාර්යභාරයක් පැවරී ඇත,” ඇය පැවසුවාය.

“ලෝකයේ ගස් විශේෂ වලින් 30% ක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති හෙයින්, අපි වහාම සංරක්‍ෂණ පියවරයන් පුළුල් කළ යුතුයි.”

State of the World’s Trees නම් මෙම වාර්තාවෙන් හෙළි වී ඇත්තේ මිනිසුන් විසින් දන්නා ගස් විශේෂ 60,000 න් 30% ක් වත් වඳවීමේ තර්ජනයට මුහුණ පා සිටින බවයි.

විශේෂ 142 ක් පමණ වනාන්තරයෙන් දැනටමත් අතුරුදහන් වී ඇති අතර 442 ක් වඳවීමේ අද්දර සිටී. තනි තනි ගස් 50 කටත් වඩා අඩු ප්‍රමාණයක් ඉතිරිව ඇත.

ගෝලීය වශයෙන් වෘක්ෂලතා සඳහා ඇති ලොකුම තර්ජනය නම් ධාන්‍ය වගාවන් සඳහා වන එළිපෙහෙළි කිරීම (29%) වන අතර පිළිවෙළින් දැව කැපීම (27%), පශු සම්පත් තෘණ වගා කිරීම හෝ ගොවිතැන සඳහා එළි කිරීම (14%), සංවර්ධන කටයුතු සදහා සිදුවන එළි කිරීම් (13%) සහ ස්වභාවික ලැව් ගිනි (13%) ඉදිරියෙන්ම සිටී.

මැඩගස්කරයේ වියළි වනාන්තරය
ගස් පහෙන් එකක විශේෂයක් මිනිසුන් ආහාර, ඉන්ධන, දැව, බෙහෙත් සහ වෙනත් දෑ සඳහා භාවිතා කරයි

දේශගුණික විපර්යාස, අයහපත් කාලගුණය සහ මුහුදු මට්ටම ඉහළ යාම ද ගස් වර්‍ග කෙරෙහි තර්ජන ඉහළ නංවමින් පවතී. නමුත් පර්යේෂණයේ කතුවරුන් පවසන්නේ සංරක්‍ෂණ පියවරයන් සමඟ අනාගතය පිළිබඳ බලාපොරොත්තු ඇති බවයි.

පර්යේෂණයේ කතුවරයා වන ආචාර්ය රිවර්ස් පැවසුවේ “ගස් සංරක්‍ෂණය, සංරක්‍ෂණ න්‍යාය පත්‍රයේ ඉදිරියෙන්ම සිටින බව සහතික කිරීම සඳහා පුළුල් ආරක්‍ෂක ප්‍රජාව සහ අනෙකුත් ප්‍රධාන කොටස් බලමුළු ගැන්වීම සඳහා මාර්ග සිතියම අපට ලබා දෙන” බවයි.

ප්‍රවීණයන් ක්‍රියාමාර්ග ගණනාවක් ඉල්ලා සිටින අතර ඒවාට ඇතුළත් වන්නේ:

  1. පවත්නා වනාන්තර සංරක්‍ෂණය කිරීම සහ ආරක්‍ෂිත ප්‍රදේශ පුළුල් කිරීම (දැනට සියලුම ගස් විශේෂ වලින් අවම වශයෙන් 64%ක් වත් අවම වශයෙන් එක් ආරක්‍ෂිත ප්‍රදේශයකදී හෝ දක්නට ලැබේ)
  2. තර්ජනයට ලක් වූ විශේෂයන් යම් දිනෙක නැවත කැලයට ගෙන යා හැකි යැයි බලාපොරොත්තුවෙන් උද්භිද උද්‍යානවල හෝ බීජ ඉවුරුවල තබා ගැනීම (දැනට සියලුම ගස් වලින් 30% ක් පමණ මේ ආකාරයට උපස්ථ කර ඇත)
  3. දුර්ලභ හා තර්ජනයට ලක් වූ විශේෂ ද ඇතුළත්ව නිවැරදි ගස නිවැරදි ස්ථානයේ තබා නැවත වන වගාව සහ ගස් සිටුවීමේ යෝජනා ක්‍රම විද්‍යාත්මකව සිදු කිරීම සඳහා අධ්‍යාපනය ලබා දීම
  4. ගස් සංරක්ෂණය සඳහා අරමුදල් වැඩි කිරීම.
ඩිප්ටොකාර්ප් වනාන්තරය
නිවර්තන වනාන්තර දේශගුණික විපර්යාස සහ අධික කාලගුණය හේතුවෙන් තර්ජනයට මුහුණ පා සිටී

විද්‍යාඥයින් ගණන් බලා ඇති ආකාරයට සතුන් හා ශාක විශේෂ මිලියනයක් වඳවීමේ තර්ජනයට ලක්ව ඇත.

පසුගිය වසර 300 තුළ ගෝලීය වනාන්තර ප්‍රදේශය 40% කින් පමණ අඩු වී ඇති අතර රටවල් 29කට සිය වනාන්තර ආවරණයෙන් 90%කට වඩා අහිමි වී ඇත.

පර්යේෂණ වලින් පෙන්නුම් කෙරෙන්නේ ලොව පුරා වනාන්තර විනාශයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රධාන වෙළඳ භාණ්ඩ හතක් විසින් මෙහෙයවන බවයි.

වඳවීමේ අවදානමේ ඇති ගස් වලට ඇතුළත් වන්නේ:

  1. පාම් තෙල් වගාවන් ව්‍යාප්ත කිරීම හේතුවෙන් අහිමි වන ඩිප්ටොකාර්ප්ස් dipterocarps ලෙස හැඳින්වෙන විශාල නිවර්තන ගස්
  2. මෙක්සිකෝවේ, චිලී සහ ආර්ජන්ටිනා වල ගොවිතැනට හා සංවර්‍ධන කටයුතු නිසා ඕක් ගස් අහිමි විය
  3. මැඩගස්කරයේ දැව සඳහා එබෝනි සහ රෝසවුඩ් ගස් කපා දමනු ලැබේ
  4. මැග්නෝලියා Magnolia ගස් පැලෑටි එකතු කිරීමේ තර්ජනයට ලක්ව ඇත
  5. එක්සත් රාජධානියේ සහ උතුරු ඇමරිකාවේ පළිබෝධ සහ රෝග වලින් මිය යන ash  වැනි ගස්

බී.බී.සී වාර්තාවක් ඇසුරිනි

Related Posts