රෝහණ විජේවීර සහෝදරයා මාක්ස්-ලෙනින්වාදී දර්ශනය පිළිබඳ න්‍යායධරයෙක් වුණා – ‘වමේ අපි’ සංවිධානය

Spread the love

පසුගිය දා (25 ඔක්.) ‘වමේ අපි’ සංවිධානය විසින් කොළඹ, මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ සංවිධානයකර තිබූ ‘රෝහණ විජේවීරයන්ගේ අප රක්නා උරුමය’ සම්මන්ත‍්‍රණය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික චමීර කොස්වත්ත මහතා ප්‍රකාශ කළේ දුක් විඳින ජනතාව සැබෑ කරගත යුතු සිහිනය සමාජවාදය බවයඉ.

ඔහු විසින් කළ සම්පූර්ණ කතාව මෙසේය.

‘‘මේ තීරණාත්මක මොහොතේදී දුක් විඳින මිනිසුන්ට සැබෑ කර ගන්න සිහිනයක් තිබෙනවා. අපි හිතනවා ඒ සිහිනය වෙන මොකක්වත් නොවෙයි, සමාජවාදය කියලා. ඒ පිළිබඳ කතාකාව ඔබ එක්ක බෙදා ගනිද්දී රෝහණ විජේවීර කියන චරිතය අපට වැදගත් වෙන්නේ. රෝහණ විජේවීර සහෝදරයා කිව්වේ, ඔහු සමග යන මිනිසුන් නොවෙයි, ඔහු පසුකර යන මිනිසුන් සැදිය යුතුයි කියලා. අපේ වමට, ජනතා විමුක්ති පෙරමුණට, ඒක දැන් පැරණි වම වෙලා, ඒ පැරණි වමට රෝහණ සහෝදරයා පසුකර යාමට නොවෙයි, ඔහු අසලට ඒමටවත් නොහැකි වුණා.

වෙන දේවල් කරන අතරේ දේශපාලනය කරනවා වෙනුවට දේශපාලනය මුල් කර ගත් ජීවිතය රෝහණ විජේවීර සහෝදරයා හඳුන්වා දුන්නා. ඒක සුවිශේෂී භාවිතාවක්. අදත් සමාජ ව්‍යාපාරවල යම් ශක්‍යතාවක් තිබෙනවා නම්, ඒකට මුල් වුණේ රෝහණ විජේවීර සහෝදරයා හඳුන්වා දුන් එම සම්ප‍්‍රදායයි.

ඉපැරණි වම, සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය දේශපාලනය කළේ සම්මුතිකාමී ප‍්‍රවේශයකින්. සටන් කරනවා වෙනුවට, අරගල කරනවා වෙනුවට සම්මුතිකාමීත්වයකටයි ගියේ. පන්තිය සංවිධානය කරන්නේ කොහොමද කියා සාකච්ඡා කරනවා වෙනුවට සමාජය වෙනස් කිරීම අතරමග අතහැර දැම්මා. ධනපති පන්තියත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න, ඇමතිකම් ගන්න පෙළඹුමක් තිබුණා.

නමුත් රෝහණ විජේවීර සහෝදරයා ඒ සම්මුතිකාමීත්වය ප‍්‍රතික්ෂේප කළා. මේ කියන්නේ ප‍්‍රායෝගික තත්වය නොසලකා මනෝරාජික භාවිතාවකට යාම නොවෙයි. ඒ වගේම පැරණි වම කලා වගේ ප‍්‍රායෝගික තත්වයන්ට අනුගත වෙලා ප‍්‍රායෝගිකවාදයට යාමත් නොවෙයි. පැරණි වමට සිදු වුණේ, සමාජය වෙනස් කරන්න අමාරුයි කියලා උපයෝගීතා දෘෂ්ඨියකින් බලලා, ඡන්ද ටිකක් කඩා ගන්න උත්සාහ කළා. එදා ඉපැරණි වම ඒක කළා, දැන් පැරණි වම ඒක කරමින් සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය දැන් පැරණි වමක් බවට පත් වන, ඓතිහාසිකව අවසන් වන, යල් පැන යන සීමාවට පැමිණ තිබෙනවා. ඒ නිසා මේ ක‍්‍රියාවලිය තුළම නව දේශපාලන කතිකාවක, නව වමක ඇරඹුම ඉල්ලා සිටිනවා. එය, සම්මුතිය වෙනුවට අසම්මුතිය පිළිගන්නා, ප‍්‍රායෝගිකවාදයට නොයන දේශපාලනයක් විය යුතුයි. රෝහණ සහෝදරයා ප‍්‍රතික්ෂේප කළ සම්මුතිකාමීත්වයට, ප‍්‍රායෝගිකවාදයට ජනතා විමුක්ති පෙරමුණ ගිහින් ඉවරයි. ඒ නිසා සමාසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඉපැරණි වම වෙද්දී, ජනතා විමුක්ති පෙරමුණ පැරණි වම බවට පත් වෙලා තිබෙනවා.

පැරණි වමේ දේශපාලනය ගියේ වාහනවලින් යන්න පුළුවන් දුරට විතරයි. සාකච්ඡා, සම්මන්ත‍්‍රණ ගියේ ශාලා පහසුකම් තිබෙන නගර දක්වා විතරයි. නමුත් රෝහණ විජේවීර සහෝදරයා අලූත් සම්ප‍්‍රදායක් පටන් ගත්තා. ඒ තමයි, කුඹුරේ වැඩ කරලා, හේනේ වැඩ කරලා එන අය එක්ක කුප්පි ලාම්පුව පත්තු කරගෙන දේශපාලනය කතා කරන සම්ප‍්‍රදාය. ගමේ පැල්වල කුප්පි ලාම්පුව පත්තු කරගෙන, ජාත්‍යන්තර දේශපාලනය ගැන කතා කළා. සමාජවාදය ගැන කතා කළා. ඒ සම්ප‍්‍රදාය හඳුන්වා දුන්නේ රෝහණ විජේවීර සහෝදරයා.

රෝහණ විජේවීර සහෝදරයා මාක්ස්-ලෙනින්වාදී දර්ශනය පිළිබඳ න්‍යායධරයෙක් වුණා. ගැඹුරු න්‍යායන් ගමට ගිහින්, ඒ ජනතාවගේ භාෂාවෙන් ඔවුන්ට කියා දුන්නා. නමුත් පසුගිය අවුරුදු 10ක 15ක කාලය තුළ න්‍යායික පත පොත සම්පාදනය කරන්න අප සමත් වුණේ නැහැ. අපේ සම්මුතිකාමීත්වයට ඒවා පහරක් වෙද්දී ඒවා අතහැරියා. අද ඔබ අතට පත් වන ‘අවස්ථාවාදයද?

නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදයද?’ කියන රෝහණ විජේවීර සහෝදරයා ලියූ පොතේ දෙවැනි මුද්‍රණයක් එළිදැක්වෙන්නේ 1978න් පස්සේ. 78න් පස්සේම ඒ පොත මුද්‍රණය කරලා නැහැ. අද රෝහණ විජේවීර සහෝදරයා වගේ න්‍යායධරයන් දහ දොළොස් දෙනෙක් අවශ්‍ය වෙලා තිබෙන කාලයක්.

ඒකයි පසුගිය වසර 10ක 15ක තිබූ අර්බුදය. ඒ විතරක් නොවෙයි, න්‍යායික සංවාදයට අභිමුඛ වෙනවා වෙනුවට ඒවා මුග්ධ ලෙස නොසලකා හරින තත්වයට පත් වුණා. ඒවා අපට තරම් නොවන ඒවා ලෙස සැලකුවා. ඒක දුබලකමක්. වමේ ව්‍යාපාරයකට එහෙම බැහැ.

රෝහණ විජේවීර සහෝදරයා කුඩා න්‍යායික ගැටලූවක්වත් උත්තර නොදී මගහැර ගියේ නැහැ. රතු කමිස ඇඳ ගෙන, පිකට් බෝඞ් අරගෙන ලිප්ටන වටරවුමට ඉඳ හිට ආවාට ධනපති පන්තිය බය වෙන්නේ නැහැ. ධනපති නායකයින් කලබල වෙන්නේ මේ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා පීඩිත පන්තිය වෙත සවිඥානක්තවය ගෙන යනවා නම් විතරයි. ඒ නිසා වම කියලා කියන්නේ ධනපති අගතීන් නමැති ඩි‍්‍රන්ක් එකට ගන්න බයිට් එකක් නොවෙයි. ඒ වෙනුවට වම කියන්නේ ජීවන විලාසය බවට පත් කර ගන්න ඕන. කැළැන්ඩරයේ දිනවලට ඇවිත් උද්ඝෝෂණ කරනවා වෙනුවට පන්තිය සංවිධානය කරන්න ඕන. සමාජය වෙනස් කිරීමේ දේශපාලනයේ අක්මුල් තිබෙන්නේ මිනිස්සු එක්ක, මිනිස්සු අතරේ. ඒක මාධ්‍ය සංදර්ශනවලට ලඝු කරන්න බැහැ.

සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ඇතුළු ඉපැරණි වමට කිව්වේ නිර්ධන පන්ති ව්‍යාපාරය ධනපති පන්තියේ වලිගයක් කරන්න හදනවා කියලා. පන්ති සහයෝගීතාවාදයට ගිහිල්ලා, මඩගොහොරුවේ ලැගලා, තවදුරටත් වැඩ කරන ජනතාව මඩගොහොරුවට දක්කා ගෙන යනවා කියලා. ඒ විවේචනය ජනතා විමුක්ති පෙරමුණටත් එල්ල විය යුතු නැද්ද? ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ රෝහණ විජේවීර සහෝදරයාට පිටුපෑවා. ඊට විරුද්ධව පක්ෂය තුළ අභ්‍යන්තර අරගලයක ස්රූපයෙන් තිබුණු මතවාදී අරගලය තමයි මේ ආකාරයට අද පොලා පැන තිබෙන්නේ.

රෝහණ විජේවීර සහෝදරයා ඉගැන්නුවේ පොතේගුරුවාදයක් නොවෙයි, ගතික විද්‍යාවක්. ඇත්ත දේශපාලනය සමාජගත කරනවා වෙනුවට ඡන්ද කෑලිවලට වැඩ කළා. වමේ ව්‍යාපාරයකට එහෙම කරන්න බැහැ. මේ ප‍්‍රශ්නයේදීත් ජනතා ජනතා විමුක්ති පෙරමුණ, පැරණි වම රෝහණ විජේවීර සහෝදරයාට පිටු පෑවා.

වමේ දේශපාලනය කියන්නේ විද්‍යාවක් මිස ආගමක් නොවෙයි. වරදක් වුණාම ඒ වරද පිළිගන්න ධෛර්යය තිබෙන්න ඕන. ඒ ධෛර්ය තමයි අවංක, සැබෑ අරමුණුවලින් පිරුණු එකක් කියන විශ්වාසය ඇති කරන්නේ. ඒ නිසා වැරදි පිලිගන්න, නිවැරදි කර ගන්න බය වෙන්න ඕන නැහැ. වැරදි පිළිගන්න බය වෙන්නේ ඒවා නිවැරදි කර ගන්න ධෛර්ය නැති මිනිස්සු. ඒ වැරැද්ද තුළම ලැගලා ඉන්න සුදානම් අය.

පැරණි දේ අභාවයට යවමින් අලූත් දේ බිහි වෙනවා. ඒ අලූත් දේ බිහි වෙන්නේ අතහැරිය යතු දේ අතහරිමින්, පැරණි එකෙන් උකහා ගත යුතු ජීවය උකහා ගනිමින්. මේ මොහොත ඉතිහාසය ඉල්ලා සිටින මොහොතක්. නව වමක, සමාජ කතිකාවක වුවමනාව ඇති වී තිබෙන මොහොතක්.

RSL

Related Posts