රාජ්‍ය අංශයේ කොරෝනා හඳුනාගැනීමේ RT-PCR පරීක්ෂණ ධාරිතාවය අවභාවිතා වන බවට චෝදනා

Spread the love

කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර සිටීම සඳහා විවිධ උපක්‍රම යොදවන බව නිරීක්ෂණය වී අතැයි රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කළ විශේෂ ලිපියක සදහන් වේ.

ජනපති ලේකම්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු ආදාළ නිලධාරීන් වෙත යොමු කළ එම නිවේදනය මාධ්‍ය වෙත ද නිකුත් කර ඇත.

කොවිඩ්-19 වසංගතය හමුවේ මෙරට ජනතාව විසින් දැනගත යුතු විශේෂ හෙළි කිරීම් කිහිපයක් සහිත එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලය කොළඹ 01

රාජ්‍ය අංශයේ කොරෝනා හඳුනාගැනීමේ RT-PCR පරීක්ෂණ ධාරිතාවය අවභාවිතා කිරීම.

කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය සිදු කිරීමේදී ඒ සඳහා  සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව ඇති හැකියාවන් පූර්ණ වශයෙන් භාවිතා නොකර සිටීම සඳහා විවිධ උපක්‍රම යොදවන බව නිරීක්ෂණය වේ. ඒ අනූව,

1.       කොරෝනා වසංගතයෙහි මුල් අදියරෙහිදී ආශ්‍රිතයන්ගේ RT-PCR පරීක්ෂණ සිදු නොකිරීම.

2.       වෛරසවේදී රසායනාගාර දිවයින පුරා ස්ථාපිතව තිබියදී වෛද්‍ය පර්යේෂණ ආයතනය පමණක් ඒ සඳහා භාවිතා කිරීමට උත්සහ දැරීම.

3.       ජාතික බෝවන රෝග විද්‍යාතනයෙහි කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම අධෛර්යමත් කිරීම.

4.       සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව RT-PCR පරීක්ෂණය සිදු කිරීමේ යන්ත්‍ර වල හිඟයක් පවතින බව ඇඟවීමට උත්සහ දැරීම.

5.       වෙනම රසායනාගාරයක් ස්ථාපිතව තිබියදී පවා ශ්‍රී ලංකා ජාතික රෝහලෙහි RT-PCR පරීක්ෂණ සිදු නොකිරීම .

6.       ජාතික රෝහලට අමතරව පහසුකම් සහිතව කොළඹ අවට ඇති අනෙකුත් සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර කොරෝනා හඳුනාගැනීමේ පරීක්ෂණ සිදු කිරීම සඳහා යොමු නොකිරීම වැනි කරුණු කෙරෙහි විමර්ෂණාත්මකව කරුණු සොයා බැලීමේදී ඉහත තත්ත්වය තහවුරු කර ගත හැකිය.

ඊට අමතර වශයෙන් දිගින් දිගටම අප විසින් සිදු කරන ලද ඉල්ලීම් ගණනාවකින් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ කොරෝනා හඳුනා ගැනීමේ RT-PCR පරීක්ෂණය ඉතා කාර්යක්ෂමව සිදු කළ හැකි රසායනාගාර 8ක් දිවයින පුරා ක්‍රියාත්මකව වන අතර, පසුගිය සති දෙකක කාලය තුල එම රසායනාගාරයන්හි සිදු කරන ලද පරීක්ෂණ ප්‍රමාණය පිළිබඳ දත්ත සැළකිල්ලට ගැනීමේදී

1.       එකී රසායනාගාර කිසිවක් මෙතෙක් තම උපරිම ධාරිතාවට අදාලව RT-PCR පරීක්ෂණ සිදු කර නොමැති වීම

2.       ආශ්‍රිතයන්ගේ පරීක්ෂණ සිදුකිරීමට තීරණය කර තිබියදීත් සමහරක් රසායනාගාර වෙත කිසිඳු නිදර්ශකයක් නොලැබුනු දිනයන්ද පැවතීම

3.       දෛනිකව සමස්ථ රසායනාගාර සියල්ලේම සිදු කරන ලද පරීක්ෂණ වල උපරිමය 765ක්, අවමය 217ක් හා සාමාන්‍ය 440ක් ලෙස පැවතීම බරපතල ගැටළුවකි.

තවද, කිසියම් හෝ කරුණක් මත වර්තමානයේ ලැබෙන නිදර්ශක ප්‍රමාණය මත,

1.       වෛද්‍ය පර්යේෂණ ආයතනයේ PCR යන්ත්‍ර 7ක් පමණ පවතින නමුත් සාමාන්‍ය වශයෙන් භාවිතයට ගැනීමට අවශ්‍ය වන්නේ වන්නේ එක් යන්ත්‍රයක් හෝ දෙකක් පමණක් වීම

2.       ශ්‍රී ලංකා ජාතික රෝහල තුල මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා ඉල්ලීම් ගණනාවක් සිදු කර ඇති නමුත් ඊට අවස්ථාව ලබා දී නොදීම

3.       කොළඹ ජාතික රුධිර මධ්‍යස්ථානය තුල නවීනතම වර්ගයේ RT-PCR යන්ත්‍ර දෙකක් හා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය තුල පවතින RT-PCR යන්ත්‍රයක් මේ වන තුරුත් කොරෝනා හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා භාවිතා නොකිරීම.

4.       මහරගම අපේක්ෂා රෝහලෙහි මේ වන විට සිදු කර ඇති සම්පූර්ණ කොරෝනා හඳුනා ගැනීමේ ප්‍රමාණය 40ක් වැනි ඉතා අවම ප්‍රමාණයක පැවතීම සැක උපදවන සුළුය.

තවද, කොළඹ දිස්ත්‍රික්කය තුල කොරෝනා හඳුනාගැනීම සඳහා පහසුකම් සැපයිය හැකි සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් රසායනාගාර 5 ක් (වෛද්‍ය පර්යේෂණ ආයතනය, මහරගම අපේක්ෂා රෝහල, ශ්‍රී ලංකා ජාතික රෝහල, ජාතික රුධිර මධ්‍යස්ථානය, ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපාරය) තිබියදී, ඊටත් අමතර වශයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට අදාලව කොළඹ හා ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාල වල පර්යේෂණ රසායනාගාර දෙකක් මෙම පරීක්ෂණ කටයුතු සිදු කරමින් පැවතියදී, උක්ත සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර සියල්ල සඳහා දැනට ලැබෙන නිදර්ශක ප්‍රමාණය ඉතා අවම මට්ටමක පැවතියදී කොරෝනා රේග හඳුනා ගැනීමේ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා පොද්ගලික රසායනාගාර 4ක් වෙත නිදර්ශක යොමු කිරීමට උත්සහ දැරීම බරපතල තත්ත්වයකි.

උක්ත කරුණු සියල්ලම විමර්ෂණය කිරීමේදී කොරෝනා හඳුනා ගැනීමේ වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීම කිසියම් අදිසි හස්තයන්ගේ උවමනාවන්ට නතු වෙමින් තිබෙන බව තහවුරු වන අතරම ප්‍රමාණවත් පරීදි නිදර්ශක නොමැති වීම හේතුවෙන් රජයේ රසායනාගාර වල පරීක්ෂණ සිදු කිරීමේ ධාරිතාව අපතේ හරිමින් තිබියදී හා ශ්‍රී ලංකාව ලෝකයේ අවම පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කරන ලද රටවල් අතරට ශ්‍රේණිගත වීමත් එම තත්ත්වය වලක්වා ගැනීම සඳහා සිදු කරනු ලබන සියළු යෝජනාවන් සහ ඉල්ලීම් සෑම අවස්ථාවකදීම කිසියම් අපගමනයකට ලක් වීමත් අතර බරපතල අක්‍රමිකතාවයක පෙර නිමිති නිරීක්ෂණය වේ.

මේ පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර පෞද්ගලික අංශය වෙත නිදර්ශක යොමු කිරීමට පෙර අවම වශයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ උපරිම ධාරිතාවය සම්පූර්ණ කිරීම සඳහාත් ශ්‍රී ලංකා ජාතික රෝහල ඇතුළු කොළඹ අවට උක්ත ආයතනයන්හි එම පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීම සඳහා කටයුතු කරන ලෙසත්,‍් රසායනාගාර පිරීක්ෂණ සිදු කිරීම වේගවත් කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි

ස්තුතිය

මෙයට, විශ්වාසී     රවී කුමුදේශ් – සභාපති රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ සංගමය                                                                                                                                                                                        

පිටපත්: ජනාධිපති ලේකම්තුමාගරු සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමියලේකම්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයසෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමානියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (විමර්ශන)

RSL

Related Posts