රජයේ සේවකයින්ට 10%ක් පඩි වැඩිවෙයි – අයවැයේ සහන

Spread the love

රජයේ සේවකයින්ට 10%ක පඩි වැඩිවීමක් ඇතුළු ව සහන රැසක් 2012 අය-වැය යෝජනා මඟින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අද (21) විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවරට කියැවීමේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

අපේ රජයේ 7 වැනි අය-වැය ලේඛනය ඉදිරිපත් කිරීමට ලැබීම සතුටක් බවත් මේ අවස්ථාවේ දී ඔබතුමා මූලාසනයේ සිටීමත් මට ප්‍රබෝධයක් බවත් ජනාධිපතිතුමා අය-වැය කතාව ආරම්භ කරමින් කතානායක චමල් රාජපක්ෂ මහතාගේ අමතා ප්‍රකාශ කළේ ය.

පැමිණි ගමන් මඟ 1977 දී ආපස්සට යොමු වූ බවත් ඉන්පසු ව රට ම ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත් වූ ආකාරයත් විග්‍රහ කළ ජනාධිපතිතුමා ඒ නිසා රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වූ බවත් එය නිමාකිරීමේ අධිෂ්ඨානයෙන් 2005 දී තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර ඒ සඳහා සහය දුන් පක්ෂ හා බලවේගවලට; අද කොයි පැත්තේ සිටියත් තමාගේ ස්තූතිය පුද කරන බව ද පැවසීය.

අලුත් ශ්‍රී ලංකාවක් සඳහා මහින්ද චින්තනය නමින් 2005 දී ප්‍රකාශනයක් සකස්වුණා. මේ සියලු අත්දැකීම් සලකා බලමින් 2010 දී මහින්ද චින්තන ඉදිරි දැක්ම මඟින් සීග්‍ර ආර්ථික සංවර්ධන වැඩසටහන ඉදිරිපත් කළා.

පසුගිය වසර 6 තුළ මේ රටේ ජනජීවිත සෑම අයුරකින් ම වෙනස් කිරීමට අපට හැකිව තිබෙනවා.

එල්ටීටීඊය සහ එහි ගෝලීය ජාලයේ ප්‍රකාශ නිසා පූර්ව නිගමනවලට පැමිණ ඇති ලෝකයේ ඇතැම් රටවල එම වැරදි මත ඉවත් කිරීමටත් කිසියම් කාලයක් ගතවෙනවා.

අසීරුවෙන් දිනාගත් නිදහස ආරක්ෂා කර ගැනීමට විපක්ෂයත් අප සමඟ එක් ව සිටිය යුතුයි.

2009 මැයි මාසයේ රට එල්ටීටීඊයෙන් නිදහස් කරගත් පසු ව වර්ග කිමී. 1412ක බිම්බෝම්බ ඉවත් කර තිබෙනවා. 295000ක් නැවත ජනතාව පදිංචි කර තිබෙනවා. ඉන් 15000ක් පමණ වන පැරණි එල්ටීටීඊ සාමාජිකයින් පුනරුත්ථාපනය කර නැවත එම පවුල්වලට භාරදීමට හැකිවීම ගැන මා වඩාත් සතුටුවෙනවා.

රටේ ආහාර සුරක්ෂිතභාවය ඇති කිරීමට දිවිනැඟුම වැනි වැඩසටහන් අප ක්‍රියාත්මක කළා. උද්ධමනය 5%ක අඩු මට්ටමකට ගෙනැවිත් තිබෙනවා. නිල්ල පිරුණු රටක් යන තේමාව යටතේ සහළින් රට ස්වයංපෝෂිත වී තිබෙනවා. රැකීරක්ෂා හිඟය අඩුවීමත් දිළිඳුබව අඩුවීම තුළින් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමත් සිදු ව තිබෙනවා. මෑතක් වනතුරු අමෙරිකානු ඩොලර් 1000ක තිබුණු ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 2500ක් වී තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතය 6% සිට 7% මට්ටමකට රැගෙනවිත් තිබෙනවා.

රජයේ ඉඩම් විකිණීම සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා. ඉඩම් බදු දීම සිදුකරන්නේ රජයේ තක්සේරු වටිනාකමට. එම ඉඩම් ලබා දීමෙන් පසු ව වසරක් තුළ දෙනු ලබන කාරණය ඉටුනොකරන්නේ නම් ඒවා යළි රජයට පවරා ගැනීමට පියවර ගන්නවා.

1992 දී පුද්ගලික කළමනාකරණයට පත් කර ඇති එවැනි ඉඩම් අක්කර 37000ක් අප හඳුනාගෙන තිබෙනවා. එම ඉඩම් කුඩා වතු සංවර්ධනය කිරීම සඳහා පවුලකට අක්කර 2 බැගින් බෙදාදීමට අප පියවර ගන්නවා.

RSL

Related Posts