රජයේ ඉඩම්වල කළුගල් කැණීම් කර්මාන්තය පිළිබඳ වාර්තාව අගමැතිට භාර දෙයි

Spread the love

රජයේ ඉඩම් තුළ සිදුකරන කළු ගල්  කැණීම් කර්මාන්තය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුව විසින් අදාළ වාර්තාව අද (18)  දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට භාර දෙන ලදී.

ඉඩම් කොමසාරිස් ජනරාල්  ආර්. එම්. සී. එම් හේරත් මහත්මියගේ සහභාගීත්වයෙන් යුතු එම කමිටුව, කමිටු සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත ය.

කමිටු වාර්තාව භාරදීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යතුමා එම කමිටුවේ නිර්දේශ සහ යෝජනාව පිළිබඳ විමසා බැලුවේය.

කළු ගල් කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට ප්‍රායෝගිකව මුහුණපාන ගැටලු අවම කිරීම සඳහා පරිහරණ හා කැණීම් ගාස්තු එකම ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දුන්නේය .

ඒ අනුව කළු ගල් කැණීම් කර්මාන්තයේ නියැළෙන ව්‍යාපාරිකයන්ගේ හිඟ බදු මුදල් සහනදායී ක්‍රමවේදයක් යටතේ ගෙවීමට හැකි වන පරිදි සංශෝධන ක්‍රියාත්මක කරන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

මෙම සංශෝධනයන් ක්‍රියාත්මකවීමේදී නිවසක් තැනීමට කළු ගල් මිලට ගන්නා පාරිභෝගික ජනතාවට බලපෑමක් නොවන පරිදි මිල ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.   

රජයේ ඉඩම්වල කළුගල් කැණීම් සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී ආයතන කිහිපයකට ගොස් නිර්දේශ ලිපි ලබා ගැනීමට සිදුව තිබෙන බව මෙම හමුවට එක් වූ ජාතික කළුගල් නිෂ්පාදන සංගමයේ සාමාජිකයෝ පෙන්වා දුන්හ.

ඊට විසඳුමක් ලෙස අදාළ කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේදී පොදු එක් ක්‍රමවේදයකට යොමුවීමත්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පමණක් පාරිසරික හා පුරාවිද්‍යා නිර්දේශය ලබා ගැනීම හා පුරාවිද්‍යා නිර්දේශය එක් පාෂාණ නිස්සාරණ ව්‍යාපෘතියකට එක් වරක් පමණක් ලබා දීමටත් මෙහිදී තීරණය විය.

සූරියවැව ප්‍රදේශයේ ලෙන් හා පොකුණු සහිත භූමියකට පසුගිය කාලයේ කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් වී ඇති බවත්, එහි විශාල ගල් පර්වත දෙකකින් එක් ගල් පර්වතයක් මේ වන විටත් කළු ගල් කැණීම් කොට විනාශ කර දමා ඇතැයි  අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

මේ පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ඒ මොහොතේදීම පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතාට ඒ පිළිබඳ සොයා බලන්නැයි උපදෙස් දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වාරිමාර්ග අමාත්‍යංශය ලේකම් අනුර දිසානායක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ ලේකම්  එම්. කේ. බී. හරිස්චන්ද්‍ර, ඉඩම් අමාත්‍යංශයේ ලේකම් ආර්. ඒ.ඒ.කේ.රණවක, පරිසර අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ඇන්ටන් පෙරේරා, ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්. එම්. සී. එම්. හේරත්, වනජීවී සංරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.සී වේරගොඩ, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු ඩී. සජ්ජන ද සිල්වා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නීතීඥ නිලන්ත විජේසිංහ මහත්වරු ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ ජාතික කළුගල් නිෂ්පාදන සංගමයේ නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

RSL

Related Posts