මේ කුඩු ජාවාරම පිටුපස ඉන්නේ ආණ්ඩුවේ ඇමැතිවරුයි

Spread the love

“මරණ දඬුවම” ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ සිදු කිරීම මහ බැංකු බැඳුම්කර හොරකම ක්‍රමානුකූලව ජනතා හදවත්වලින් ඉවත් කරගෙන යෑමේ වැඩපිළිවෙළේ තවත් එක් අදියරක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පැවැසීය.

ආණ්ඩුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශක්තියක් නැති බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. ඊයේ (18දා) බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

ඊයේ මේ ආණ්ඩුවේම ඇමැතිවරයෙක් කියනවා මේක නපුංසක ආණ්ඩුවක් කියලා. මේ ආණ්ඩුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ ශක්තියක් නැහැ. ඒ වගේම අද රටේ ඉන්නේ රූකඩ ආණ්ඩුවක්. මේ රූකඩ ආණ්ඩුව මෙහෙයවන්නේ අන්තර්ජාතික බලවේග. ඒ බලවේගවලට පිටින් යන කිසිම තීන්දුවක් මේ ආණ්ඩුව ගන්නේ නැහැ. ඒ නිසා මරණ දඬුවම ක්‍රියාත්මක වන්නේ නැහැ කියන එක තමයි ඒකාබද්ධ විපක්ෂයේ මතය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ හොරා අර්ජුන මහේන්ද්‍රන්ගේ දරුවකුගේ මංගල්‍යයක් තිබුණා. එය තිබුණේ එංගලන්තයේ. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියටත් පවුලේ සාමාජිකයා හැටියටත් කටයුතු කළේ අපේ රටේ අගමැතිවරයා. ඒ බව එස්.බී. දිසානායක මන්ත්‍රිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. අපේ රටේ ජනතාව බදු හරහා බැඳුම්කර හොරකමට වන්දි ගෙවනවා. මේ හොරකම වහගන්න ගන්න සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි.
එල්ලුම් ගහ ක්‍රියාත්මක වීමක් හෝ කුඩු ජාවාරම නවතින්නේ නැහැ. මේ ජාවාරමේ පිටුපස ඉන්නේ අපේ අමාත්‍යවරු.

මත්තල ගුවන්තොටුපළ විකුණා දැමීම මොන තත්ත්වයක් යටතේ වුණත් සිදුකරන බව අපට පැහැදිලි වුණා. පනත වෙනස් කරලා හරි මත්තල විකුණන එක මේ ආණ්ඩුව සිදු කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත,

මාධ්‍ය ආයතනයකින් ප්‍රසිද්ධ කළා පාතාලයට සහාය දෙන ඇමැතිවරයෙක් ගැන. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. විශේෂයෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඉතා පැහැදිලිව එම පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තාව ඉදිරිපත් කළා. ඒ ප්‍රවෘත්තියෙන් කියැවෙනවා මෙරට තුළ ක්‍රියාත්මක වෙන කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදෙන ප්‍රබල ජාවාරම්කරුවන් පිරිසකට ආණ්ඩුවේ එක්තරා අමාත්‍යවරයකුගේ සහාය ලැබෙන බව. එපමණක් නොවෙයි එහි ඉතාම පැහැදිලිව කියැවෙනවා අරුණ අත්තනායක නොහොත් “පොලිස්” ඔහුගේ නම වාසගම සහිතව තිබෙන්නේ හේවාවසම් අත්තනායකලාගේ අරුණ ශාන්ත නමින්. ඔහු කලින් පොලිසියේ හිටපු කෙනෙක්.

ඒ වගේම මම පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රශ්නයක් යොමු කළා ඇමැතිවරයකුට පාතාලයේ 5 දෙනෙක් ආරක්ෂක රැකවලුන් ලෙස සිටින බවට. මේක ඇහුවාම බොහොම චූන් වුණ නලින් බණ්ඩාර පොලිසිය භාර නියෝජ්‍ය ඇමැතිවරයා කියනවා ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා කියලා. අග්‍රාමාත්‍යවරයා කිව්වා තරාතිරමකින් තොරව තීරණ ගන්නවා කියලා. ඔන්න අගමැතිවරයා අපි මාධ්‍යවලින් ප්‍රසිද්ධ කළා සරත් ෆොන්සේකා මහත්තයාගේ ඡායාරූප මෙන්න. පාතාලයේ සාමාජිකයන් ඉන්නවා ඒ ඡායාරූපවල. කවුද මේ ඡායාරූපවල ඉන්නේ, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් ගිහාන් සඳරුවන්. මොහුව අත්අඩංගුවට ගත්තේ පෑලියගොඩ නීතිය බලගැන්වීමේ ඒකකයෙන්. කවුද ඔහුව නිදහස් කරන්න කියලා බලපෑම් කළේ? පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් මත දැක්වීම් කළාට පස්සේ එම මාධ්‍ය ආයතනයට අදාළ ඇමැතිවරයාගෙන් බලපෑම් එල්ල වන බව අපට තොරතුරු ලැබිලා තිබෙනවා. අපි අගමැතිවරයාට කියන්නේ මේ ආකාරයට පාතාලයේ සාමාජිකයන් ඇමැතිවරුන්ගේ රැකවලුන් ලෙස සිටිනවා නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඇමැතිවරුන්ගේ රැකවලුන් ලෙස සිටිනවා නම් පවතින යහපාලනය කුමක්ද? යහපාලනයේ නම විතරයි.

පාතාලයේ 5 දෙනෙක් එක්ක හිටපු ඇමැති කවුද කියලා ප්‍රසිද්ධ කරන්න. සරත් ෆොන්සේකා අමාත්‍යවරයා සමඟ සිටින පාතාල ක්‍රියකාරීන් අත්අඩංගුවට ගන්නවාද කියලා අපි පොලිස්පතිතුමාගෙන් අහනවා. එපමණක් නොවෙයි නීතිය භාර ඇමැතිගෙන් අහනවා සරත් ෆොන්සේකාට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවාද, පාතාල ක්‍රියාකාරීන් ළඟින් තියාගෙන හිටියට. ඇමැති ධුරයෙන් ඔහුව ඉවත් කරනවාද කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඒවා නිකම් සුරංගනා කතා විතරයි.

මේවා බොරු නම් සරත් ෆොන්සේකා ඇමැතිවරයාට පුළුවන් ඔප්පු කරන්න මේ වගේ පාතාල සාමාජිකයන් මඟේ ළඟ නැහැ කියන්න.
උපුටා ගැනීම – මව්බිම

RSL

Related Posts