මුල් ළමාවිය සෞඛ්‍ය හා පෝෂණය ගැන ඔබ මේ කරුණු දැන සිටියාද ?

Spread the love

හොඳම දේ දරුවන්ට’ එහෙම කිවුවේ වී. අයි ලෙනින්. සෝවියට් දේශය නැමැති මහා දේශය ගොඩනැඟූ මහා විප්ලවවාදියා. ළමයි පමණක් නොවෙයි මුළු ලෝකයටම ආදරය කළ පුද්ගලයා.

අපේ අම්මලා තාත්තලත් කියන්නේ ‘හොඳම දේ ළමයින්ට’ කියලා. ඒ නිසා එයාලා හැම මොහොතක්ම ගත කරන්නේ තමන්ගේ දරු පැටවුන්ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන්. දරුවන් සතුටින් තැබීම වෙනුවෙන්.
ඒත් ‘හොඳම දේ දරුවන්ට ’ කියන මේ කියමන ‘පෝෂණ විද්‍යාවේදී’ නම් බොහොම තදින් ප‍්‍රශ්න කෙරෙනවා. ඒ පෝෂණ විද්‍යාව අනුව නම් අම්මලා තාත්තලා හොඳම දේ කියලා හිතන දේ ‘නරකම දේ’ වෙන්න පුළුවන් නිසා. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ ඒ ගැන. පෝෂණ විද්‍යාව අනුව දරුවාට වඩාත් සුදුසු ආහාර මොනවාද කියන කාරණය අනුව.

පෝෂණය යනු කුමක්ද ?

‘‘පෝෂණය’’ යනු කුමක් කියලා කරන වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමකදී පෝෂණය යනුවෙන් අදහස් වෙන්නේ ‘‘ අප ජීවිතයේ එදිනෙදා ශාරීරික ක‍්‍රියාවන් හා වර්ධනය සඳහා ශරීරයට ලබා දිය යුතු ආහාර’ යනුවෙනුයි.
පෝෂණය ඕනෑම ජීවියෙකුට අත්‍යවශ්‍ය දෙයක්. නිසි පෝෂණයකින් තොරව ගසක් පවා නිසියාකාරව වර්ධනය වෙන්නේ නැති බව ඔබ අප සියලූ දෙනාම ඉතාම පැහැදිලිව දන්නා කියන කාරණයක්.

මෙහිදී අපේ අවධානය යොමු වන්නේ ළමුන්ගේ පෝෂණය ගැන නිසා අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඒකට හේතුව තමයි මිනිසාගේ වර්ධනයේ තීරණාත්මක අවධිය වන්නේ ළමාවිය.

නිසි පෝෂණයක් නොලැබුණොත් ?

නිසි පෝෂණයක් නොලැබීමෙන් ශාරීරික වර්ධනයට සහ මානසික සංවර්ධනයට බලපෑම් ඇති වෙනවා. පෝෂණ විෂමතාවෙන් මන්දපෝෂණය, අධිපෝෂණය, විටමින් ඌනතා ඇති වෙනවා.

මන්දපෝෂණය

මන්දපෝෂණය මානව ඉතිහාසය පුරාම මිනිසාට අත්විඳීමට සිදු වූ දෙයක්. විද්‍යාත්මක අතින් බොහොම පොහොසත් වර්තමාන ලෝකයත් මන්දපෝෂණයට මුහුණ දෙනවා. ඒ සඳහා සංකීර්ණ හේතු බලපානවා. මන්දපෝෂණය යනු අප ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යාම නිසා අපගේ ශරීරයට ඇතිවන තත්වය වශයෙන් පැහැදිලි කළ හැකියි.

ලංකාවේ තත්ත්වය

මන්දපෝෂණ තත්ත්වයෙන් ලංකාව බැට කනවා. ඒකට දුප්පත්කම වගේම ආහාර පුරුදු ආදියත් බලපානවා. ඒ නිසා අපි ලංකාවේ තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ළමුන් සම්බන්දයෙන් ලෝකයේ ක‍්‍රියාත්මක වන ප‍්‍රධාන ආයතනය වශයෙන් ‘එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් ‘යුනිසෙෆ්’ ආයතනය සැලකිය හැකියි. ඔවුන් බොහෝ කාලයක සිට ළමුන්ගේ පෝෂණය සම්බන්ධයෙන් ලෝකයේ සියලූම රටවල දත්ත රැස් කරමින් පර්යේෂණ කරනවා. ඒ අනුව ඔවුන් ලංකාවේ ළමුන්ගේ හා කාන්තාවන්ගේ මන්දපෝෂණ තත්ත්වය ගැන තොරතුරු ප‍්‍රකාශයට පත් කරලා තිබෙනවා.
යුනිසෙෆ්’ ආයතානයට අනුව දරුවන්ගෙන් තුනෙන් එකක් සහ කාන්තාවන්ගෙන් හතරෙන් එකක් මන්දපෝෂණයෙන් පෙළෙන බව ඔබ දන්නවාද ? යුනිසෙෆ් වාර්තාවන්ට අනුව අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 29 % ක අඩු බර දරුවන්ය. අලූත උපන් දරුවන්ගෙන් 16 % ක් අඩු උපත් බර දරුවන්ය. අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් 14 % ක් තීව‍්‍ර මන්දපෝෂණයෙන් පෙළෙති. මාස 6-11 ත් අතර ළදරුවන්ගෙන් 58 % ක් මාස 12-23 ත් අතර දරුවන්ගෙන් 38 % ක් රක්තහීනතාවයෙන් පෙළෙති. අවුරුදු 05ට අඩු පෙර පාසල් දරුවන්ගෙන් 30 % ක් පාසල් දරුවන්ගෙන් 21 % ක් රක්තහීනතාවයෙන් පෙළෙති. අවුරුදු 05ට අඩු පෙර පාසල් දරුවන්ගෙන් 29 % ක් විටමින් ඌණතාවයෙන් පෙළෙති.

ඔබට දැන් කුමක්ද හිතෙන්නේ. මේ දත්ත විමසා බලන විට නම් අපි හිතන තරම් අපේ රට පොහොසත් නැහැ. කියන තරම් අපි ආහාර අතින් ස්වයං පෝෂිත නැහැ. මේ භයානක තත්ත්වයක්. මොකද මන්දපෝෂණයට ලක්වෙලා ඉන්නේ අපේ අනාගත පරම්පරාව. මවුවරුන්. ඔවුන්ට පාරේ යන්නවත් පණ නැති කොට අලූත් රටක්, සමෘද්ධිමත් අනාගතයක් බිහි වෙයිද ?

අයඞීන් ඌණතාවය

රටේ ඕනෑම තැනක සිට මුහුදට කිලෝ මීටර 100 කට වඩා දුර නැහැ. ඒ නිසා ලංකාවේ මුහුදු ආහාර සුලභ විය යුතුයි. ඒත් අපි දන්වා ඒක එහෙම නොවන බව. ඒත් ‘ලූණු’ ඒක බොහොම මිල අඩු ද්‍රව්‍යයක්. ඒත් යුනිසෙෆ් වාර්තාවන්ට අනුව ලංකාවේ දරුවන්ගෙන් 20 % ක් අයඩින් ඌණතාවයෙන් පෙළෙනවා. මේවා විශ්වාස කරන්න අමාරු ඇති. ඒත් ඇත්ත තත්ත්වය නම් මේක තමයි.

යුනිසෙෆ් සංවිධානයට අනුව ලංකාවේ මන්දපෝෂණයට හේතු

  1. නිතර රෝගවලට ගොදුරු වීම
  2. අවශ්‍ය ප‍්‍රමාණයක් ආහාර නොගැනීම
  3. නොදැනුවත්කම
  4. සංස්කෘතික හේතු
  5. දුප්පත්කම

යුනිසෙෆ් සංවිධානය විසින් ලංකාවේ මන්දපෝෂණයට ඉහත සඳහන් හේතු හඳුනා ගෙන තිබෙනවා. මේවා දිහා බලන විට අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ කොතැන හෝ වරදක් තිබෙන බවයි. ඒකට හේතු ඔබම විමසා බලන්න. ලංකාවේ තරම් පලතුරු විවිධත්වයක් ලෝකේ කිසිම රටක නැහැ. ඒ වගේම හැමදාම මොනවා හරි පලතුරක ඵලදාව ලැබෙනවා. ඒත් අපේ රටේ දේශීය පලතුරුවලට අත්වෙලා තියෙන්නේ බොහාම දුක්ඛිත ඉරණමක්. ලඳු කැලෑ පිරෙන්න හැදෙන දංගෙඩියේ සිට මිඳුල වැහෙන්න හැදෙන ඡුම්ඹු ගෙඩිය දක්වාත්, දිවුල් ගෙඩියේ සිට කොස් ගෙඩිය දක්වාත් අපි අපතේ දානවා.

ඒ වගේම තමයි අපේ ඇතැම් සංස්කෘතික හේතුත් මන්දපෝෂණය සමග අත්වැල් බැඳ ගෙන ඉන්නවා. මස් කෑම සම්බන්ධව තිබෙන මතය, මිරිදිය මාළු ගැන තිබෙන ආකල්පය මේ අතර ප‍්‍රධානයි.

දුප්පකම, හැමදේකටම මුල් වෙනවා වාගේ මන්දපෝෂණයටත් මුල්වෙනවා. ඒත් දුප්පත් පවුල්වල පියවරුන්ගේ වියදම් (මත්පැන්, දුම්වැටි, බුලත්විට* දෙස අවධානය යොමු කරන විට නම් පේන්නේ වෙනස් තත්ත්වයක්.

මන්දපෝෂණයෙන් දරුවන්ට සිදුවන බලපෑම

මන්දපෝෂණය ළමුන් කෙරේ කෙටි කාලීන, මැදි කාලීන මෙන්ම දීර්ඝ කාලීනව සෞඛ්‍ය හා මානසික බලපෑම් ඇති කරනවා. ඒවා පහත සඳහන් ආකාරයට දැක්විය හැකියි.

  1. බෝ නොවන රෝගවලට ගොදුරු වීම
  2. නිතර වසංගත රෝගවලට ගොදුරු වීම
  3. බුද්ධි වර්ධනය අඩු වීම
  4. ඉගෙනීමේ හැකියාව අඩු වීම
  5. අනාගතයේ බර අඩු දරුවන් ලැබීම

මන්දපෝෂණය ජය ගැනීම

මන්දපෝෂණය ජය ගැනීම පහසු දෙයක් නොවුණත් ඔබ එය කළ යුතුමයි. ඒකට හේතු ඔබට පැහැදිලිනේ. මොන අම්මා තාත්තද කැමැති නිතර නිතර ලෙඩ වෙන, බුද්ධි වර්ධනය අඩු පාරේ යන්න පණ නැති දරුවෙකුට. එහෙනම් ඔබ කළ යුත්තේ ඔබේ දරුවා මන්දපෝෂණයෙන් ආරක්ෂා කිරීමට නම් අංග සම්පූර්ණ රස හයකින් යුත් සමබර ආහාර වේලක් ලබාදීමයි.

මොනවද මේ පෝෂ්‍ය පදාර්ථ කියන්නේ
1 කාබෝහයිඩ්‍රේට්
2 මේදය
3 ප්‍රෝටීන්
4 විටමින්
5 තන්තු
6 ජලය
පහත සඳහන් කළ දේවල් ඔබට ඔබේ පරිසරයෙන් නොමිලේ හෝ ඉතා අඩු වියදමික් සපුරාගත හැකියි.

1 මධුර රස හෙවත් පැණි / ධාන්‍ය වර්ග (පිෂ්ඨය) අල වර්ග හා කිරි මේදය
2 තිත්ත රස : පළා වර්ග – විටමින් ඊ සහ යකඩ
3 කහට රස: එළවළු වර්ග – ශාඛ ප්‍රෝටීන්, විටමින් වර්ග
4 ලවණ රස: මුහුදු මාළු, කරවල , ලූණු , සත්ත්ව ප්‍රෝටීන්, යකඩ කැල්සියම් වැනි ඛනිජ ලවණ හා මේදය.
5 අම්ල හෙවත් ඇඹුල් රස: ඇඹුල් රසැති පළතුරු – විටමින් සී
6 ධාන්‍ය වර්ග : සහල්, මුං , කුරක්කන්, කව්පි, බඩ ඉරිඟු, කොල්ලූ, ඕලූ ඇට, මෙනේරි, තණහාල්, බාර්ලි.
7 පළා වර්ග : මැල්ලූම් වර්ග, ගොටු කොළ, මුකුණුවැන්න නිවිති, සාරණ, කතුරු මුරුංගා, කොළ කැඳ, ගොටු කොළ, මුකුණුවැන්න එළ බටු, මොණරකුඩුම්බිය.

බලන්න, මේ කිසිවක් මිල අධික දේවල් නොවෙයි. ඉතා අඩු මිලකට හෝ නොමිලේ ස්වභාවික පරිසරයෙන් ලබා ගත හැකි දේ. ඒත් ඇයි මේ දේ ඉටු නොවෙන්නේ. ඒක ඔබම ගැඹුරින් සිතා බැලිය යුතු කරුණක්. ඔබේ ආදරණීය දරුවාට වළ කපා ඇත්තේ ඔබම නේද ? කියලා ඔබට නොහිතෙන්නත් බැහැ නේද ?

වර්ණවත් ආහාර වේලක්

අපේ සමාජය වෙළෙන්දන්ගේ උප්පරවැට්ටිවලට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා රැුවටිලා කියලා තේරෙන්නේ ආහාර සම්බන්ධයෙන් අවධානය යොමු කරන විටයි. වත්ත පුරා පලතුරු වැටිලා කුණු වෙන කොට ණය වෙලා ඇපල් කන ජාතියක් බවට අපි පත් වෙලා. හීන් නාරං ගෙඩි කුණු වෙලා යද්දී අපි කෝඩියල්වලින් අපේ දරුවන්ගේ බඩ පුරනවා. ගම් බිත්තරේ විකුණලා සොසේජස් අරං කනවා. කොස් ඇට ටික කුණු වෙද්දී ක්ෂණික බඩගිනන්ට බිස්කට් කනවා. මේ රටක් හා ජාතියක් වශයෙන් බරපතළ තත්ත්වයක්. මන්දපෝෂණය අපි අපි විසින්ම ළඟා කරගත් අභාග්‍යයක්.ෙ

මන්දපෝෂණයෙන් ඔබේ දරුවා ගළවා ගැනීමට නම් ඔබ ඔබේ දරුවාට විවිධ වර්ණයන්ගෙන් යුත් ආහාර වේලක් ලබා දිය යුතුමයි. රූපවාහිය මගින් පුනපුනා ඉදිරිපත් කරන නානාප‍්‍රකාර ක්ෂණික ආහාර ගැනීම හැකිතාක් අඩු කරන්න. ඒ අතර කෘත‍්‍රිම රස, වර්ණකාරක, කල් තබා ගැනිමට යොදා ගන්නා රසායනිකයන්, වැඩිි මේදය ඇති ආහාර හැකිතාක් සීමා කරන්න. දේශීය පාන වර්ග වන බෙලිමල්, රණවරා මල්, ඉරමුසු වැනි පාන වර්ග හැකිතාක් දරුවාට ලබා දෙන්න.

දරුවා මානසිකව නිරෝගීව තබා ගන්නේ කෙසේද ?

දරුවාගේ කායික නිරෝගීභාවය වගේම මානසික නිරෝගීභාවයත් අතිෂයින් වැදගත්. අපි අපේ දරුවන්ගේ බඩ පුරවන්න යොමු කරන අවධානය හා සමාන අවධානයක් ඔවුන්ගේ මානසික නිරෝගීභාවය රැුක ගැනීම සඳහා යෙදවිය යුතුයි.

දරුවාගේ මානිසක නිරෝගීභාවය රැුක ගන්නේ කෙසේද? ඒ සඳහා වැදගත්ම පියවර තමයි දරුවාට ආදරය කිරීම, ඔහුගේ ආරක්ෂාව හා රැකවරණය සහතික කිරීම. ඒ සඳහා ඔබ මහ ලොකු කාලයක් හෝ මුදලක් වැය වෙන්නේ නැහැ. අවශ්‍ය වන්නේ වුවමනාව ම පමණයි.

මං අම්මට ගොඩා….ක් ආදරෙයි….
මං තාත්තට ගොඩා….ක් ආදරෙයි….
තාත්තත් මට ආදරෙයි නේද?
තාත්තයි…. අම්මයි…දෙන්නම මගේ….
මම තාත්තාගේ…. මම අම්මාගේ…. වැනි වදන් නිතර පවසන්න. ඒ සඳහා දරුවාටත් අවස්ථාව ලබා දෙන්න. මෙවැනි වදන්වලින් පිරුණු පවුලක් තුළින් බිහිවන්නේ ‘ආදරණීය දරුවන් ’ බව මතක තබා ගන්න.

මාපියන්ගෙන් දුරස්වීම

‘‘අනේ මගේ අතේ තියාගෙන හදපු ළමයා අද මට සලකන්නේ හතුරෙක්ට වාගේ ’’ ‘‘ ළමයෙක් ඉන්නවා අපි උන්නද මළාද කියලා බල්නනේ නැහැ ’’ මේ අපට නිතර නිතර ඇසෙන මැසිවිලි. එහෙම වුණේ ඇයි ? වරද කොතතැනද ?

කුඩා කාලයේ දෙමාපියන්ට මෙතරම් ආදරය කරන දරුවන් පසු කාලයේදී දෙමාපියන්ගෙන් දුරස් වන්නේ ඇයි ? මේක අපි හැමෝටම ප‍්‍රශ්නයක්. ඒකට පහත සඳහන් කාරණා බලපෑ හැකියි. බලන්න ඔබේ ගැටලූව තියෙන්නේ කොතැනද ? කියලා.

  1. අයහපත් ආශ‍්‍රය ?
  2. නරක ආදර්ශ ?
  3. ජනමාධ්‍යවල බලපෑම ?
  4. සාරධර්මවල පිරිහීම.

දරුවන් ඔබලෙන් බලාපොරොත්තු වන ප‍්‍රධාන දේ ආදරයයි. ඔබ දරුවන්ට හිරු සඳු දේ සිටින්න.

දරුවා මානසිකව නිරෝගීව වැඞීමට නම් ඔහුට, ආදරය, රැුකවරණය, ආරක්ෂාව පිළිබඳ විශ්වාසී හැඟීමක් ඔවුන්ගේ සිත් තුළ ජනිත විය යුතුයි. මෙසේ කළ යුත්තේ වචනයෙන් නොව හැසිරීමෙනි.

ආයුර්වේදය හා දරුවා

අපිට නිතරව ඔවදන් ලැබෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන්. ඒත් අපිට බොහොම සමීප, අපේම ආයුර්වේදයත් දරුවන් ගැන දැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ නිවැරදිව දරුවන් හදා වඩා ගැනීම දක්වා තිබේද? ඔව්. එහි පහත සඳහන් පැහැදිලි කිරීම් තිබේ.

බිළිදු වියේදී – සුරතල් කරමින්

අවුරුදු 6 සිට යොවුන් විය දක්වා – සමාජ සංස්කෘතික හර පද්ධතියට අනුකූලව දඬුවම් කර හික්මවා හැඩ ගැස්විය යුතුයි

යොවුන් වියට පත් දරුවා – මිතුරෙකු ලෙස සලකා කටයුතු කල යුතුයි. යොවුන් වියට පත් දරුවා මිතුරෙකු ලෙස තම දෙමාපියන් වෙත ළංවීමට නම් කුඩා කල සිටම දරුවා සහ දෙමාපියන් අතර මනා සම්බන්ධතාවයක් පැවතිය යුතුයි.දරුවාට දැනෙන්න ආදරය කරන්න. ආදරය, රැුකවරණය, ආරක්ෂාව, ගෞරවය ජීවිතයේ හැම සිද්ධියකදීම ඔවුන්ට දැනෙන්නට ආදරය කරන්න…..
නිරෝගී දරුවන් විසින් නිරෝගී පරපුරක් ද රටක් ද බිහි කරනු ඇත.■

සකස් කළේ – තුෂාල් විතානගේ
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රකාශන ඇසුරින්

RSL

Related Posts