නවවෙනි පාර්ලිමේන්තුවේ  තෙවැනි සභාවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබ මාසයකට ආසන්න කාලයක් ගතවී ඇතත් කෝප්, කෝපා  ඇතුළු එහි කමිටු 60කට වැඩි සංඛ්‍යාවක් තවමත් පත්නොකර හිස්ව පවතින බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබුවේ පසුගිය තුන්වැනිදාය.

මේ කමිටු පත් කිරීම මෙසේ  ප්‍රමාද වීමට හේතු වී ඇත්තේ ඒ ඒ දේශපාලන පක්ෂ විසින් කමිටු සඳහා නාමයෝජනා ඉදිරිපත් කරනු ලැබීම  පරක්කු කිරීම නිසා බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ.

දැනට  පත් කරනු ලැබ ඇත්තේ කමිටු තුනක් පමණි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව,තේරීම් කාරක සභාව සහ මුදල් කාරක සභාව  එම කාරක සභා තුනයි.

මේ අතර කෝප්, කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු බොහොමයකට සභාපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ අතර විශාල කඹ ඇඳීමක් හටගෙන තිබෙන බව වාර්තා වේ.

කෝප් ,කෝපා  ඇතුළු ප්‍රධාන කමිටු වල සභාපති ධූර විපක්ෂයට ලබාදිය යුතු බව විපක්ෂයේ දේශපාලන පක්ෂ කතානායකවරයාට පෙන්වාදී ඇත. එහෙත් ආණ්ඩු පක්ෂයේ  බොහෝ මන්ත්‍රීවරුන් ඊට එකඟත්වය පළ කර නැතැයි වාර්තා වේ.

මේ අතර පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කර ආංශික අධීක්ෂණ කාරක සභා නැවතත් පිහිටුවීමට කටයුතු කරගෙන යන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

පාර්ලිමේන්තුව සඳහා ස්ථාවර කාරක සභා තවත් තුනක් ජනාධිපතිවරයාගේ තීරණයක් අනුව  පිහිටුවීමටද  අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.