මාකඳුරේ මධුෂ් හෙළිකළ තොරතුරු ගැන යළි දැඩි ආන්දෝලනයක් !

Spread the love

කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ අපරාධකරුවෙකු බව කියන සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත් වීමෙන් පසු රදවා ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් හෙළිකළ බව කියන නම් සහ එසේ හෙළි කළ කරුණු සම්බන්ධයෙන් පොලිසිය ගත් පියවර කවරේ දැයි විමසමින්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ බීබීසී සිංහල සේවය පසුගිය ඔක්තෝබර් 27 වෙනි දින පොලිස්පතිවරයාට ද පිටපතක් සහිතව පොලිසියෙන් ඉල්ලීමක් කළ බවත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් අදාළ අංශවලින් ලැබී නැති බවත් බී.බී.සී සන්දේශය කියයි.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම: මාකඳුරේ මධුෂ් පොලිසියට හෙළි කළ නම් මොනවාද? යන ශීර්ෂපාඨය යටතේ බී.බී.සී සන්දේශය අද (21) දින ප්‍රකාශයට පත් කළ වාර්තාවක දැක්වෙන්නේ සති දෙකකට වැඩි කාලයක් ඉකුත්ව යාමෙන් අනතුරුව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී නිශාන්ත ද සොයිසා පිළිතුරක් යොමු කරන බව සඳහන් කළ නමුත් එම විමසීමට තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

මාකඳුරේ මධුෂ් ඝාතන පරීක්ෂණයේ ප්‍රගතිය සහ ඔහු හෙළි කළ කරුණු සම්බන්ධයෙන් ගන්නා පියවර විමසීම පිණිස පොලිස් ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇමතීමට බීබීසී සිංහල සේවය කළ උත්සහය ද සාර්ථක නොවූ බව එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

පහත දැක්වෙන්නේ බීබීසී සිංහල සේවය, පොලිසිය වෙත යොමු කළ තොරතුරු දැනගැනීමේ එම ඉල්ලුම්පතේ සඳහන් කරුණුය:

මාකඳුරේ මධුෂ් එසේ හෙළි කළ දේශපාලකයන් කවුරුන්ද?

“ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්, මහජනතාවගේ ආරක්ෂාව සහ යහපත පිණිස මහජනතාව දැනුවත් කළ යුතු කරුණු යයි අප විශ්වාස කරන පහත සඳහන් කරුණු පිළිබඳව තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.

ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ මාස 18 ක පමණ කාලයක් පොලිස් අත්අඩංගුවේ පසු වූ සමරසිංහ ආරච්චිගේ මදූෂ් ලක්ෂිත නොහොත් ‘මාකඳුරේ මදූෂ්’ නමැති සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයන් 80 දෙනෙකුගේ පමණ නම් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මීට ඉහතදී සඳහන් කළේය.

ඒ බව ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු විරුද්ධ පක්ෂවල මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තුවේදී සහ මාධ්‍ය හමුවලදීත් සඳහන් කර තිබේ.

ඉල්ලා සිටින තොරතුරු:

1. ‘මාකඳුරේ මදූෂ්’ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වෙත එවැනි නම් හෙළිදරව් කර ඇත්නම් එසේ හෙළි කළ නම් මොනවාද?

2. ‘මදූෂ්’ හෙළි කළ තොරතුරු ඇසුරෙන් ඔහු නම් කළ දේශපාලකයන් කිසිවෙකු හෝ අත්අඩංගුවට ගෙන තිබේද?

3. ‘මදූෂ්’ විසින් එසේ නම් හෙළි කළ දේශපාලකයන්ගෙන් පොලිසිය ප්‍රශ්න කර තිබෙන්නේ ද?

3.1 ඔවුන් අත්අඩංගුවට නොගත්තේ නම් සහ ඔවුන් කිසිවෙකුගෙනුත් ප්‍රශ්න නොකළේ නම් ඒ දේශපාලන බලපෑම් නිසාද?

4. ‘මදූෂ්’ නම් සඳහන් කළ දේශපාලකයන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට පොලිසිය විමර්ශන පවත්වන්නේ ද?

4.1 එසේ විමර්ශන පවත්වන්නේ නම් එම විමර්ශනවල ප්‍රගතිය කවරේ ද?

5.’ මදූෂ්’ විසින් නමින් සඳහන් කළ දේශපාලකයන් පිළිබඳව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ ද?

5.1 මෙතෙක් අධිකරණයට වාර්තා නොකළේ නම් නුදුරු අනාගතයේ දී එසේ වාර්තා කිරීමට බලාපොරොත්තු වන්නේ ද?”

බී.බී.සී. සන්දේශය ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා ලබා දුන් ලිපිය පහත දැක්වේ.

තොරතුරු ඉල්ලීම ලැබුණ බව දැන්වීම

කතාව ගැන කෙටියෙන්

පසුගිය වසරේ පෙබරවාරි 04 වෙනි දින ඩුබායි හිදී පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ මාකඳුරේ මධුෂ් ඝාතනය කරනු ලැබීමට ප්‍රථම මාස 18 ක් පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව යටතේ රඳවාගනු ලැබ සිටියේය.

මාකඳුරේ මධුෂ් කටුනායක ගුවන් තොටුපොළේ
මාකදුරේ මධුෂ් නැමැත්තා ඩුබායි සිට ලංකාවට රැගෙන ආ දා කටුනායක ගුවන්තොටුපොළ පර්යන්තයේදී

එසේ රඳවාගෙන ප්‍රශ්න කළ අවස්ථාවේ ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයන් 80 කගේ පමණ විස්තර ඔහු විසින් හෙළි කරන ලද බව පොලිස් ප්‍රකාශකවරයා මෙන්ම විපක්ෂ දේශපාලනඥයන් ද වරින්වර සඳහන් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, “මාධ්‍ය විටින් විට වාර්තාකරල තිබුණ සමහර දේශපාලකයින් පිළිබඳව මධුෂ් වමාරපු බව. සමහර ව්‍යාපාරකයින් ගැන මධුෂ් වමාරපු බව. ඒ වගේම සමහර දේශපාලකයන්ට මුදල් පොම්ප කරපු ආකාරය පිළිබඳ සමාජයේ ආන්දෝලනයට තුඩු දී තිබුණ,” යනුවෙනි.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ මදූෂ් හරහා මේ පාතාල ජාලයත්, එම කුඩු ජාලයට සම්බන්ධ දේශපාලකයිනුත්, කුඩු ජාලයට සම්බන්ධ ව්‍යාපාරිකයිනුත් එළිදරව් කර අත්අඩංගුවට ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් සමාජයේ තිබුණ නමුත් ඔහුගේ මරණයත් සමගම ඒ සියල්ලම යට ගැසීමට ඉඩ තිබෙන බවය.

ඔහු මරා දමනු ලැබුවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලකයින් ආරක්ෂා කර ගැනීම පිණිස දැයි සැකසිතෙන බව විජිත හේරත් මන්ත්‍රීවරයා ද මාධ්‍ය හමුවේ පැවසීය.

ඝාතනය ගැන අවුල

මාකඳුරේ මධුෂ් පසුගිය ඔක්තෝබර් 20 වෙනි දින උදෑසන කොළඹ දී වෙඩි තබා මරා දමා තිබුණි. පොලිසිය පැවසුවේ, සඟවා තිබෙන කුඩු කිලෝ 22ක් පෙන්වීමට මාළිගාවත්ත නිවාස සංකීර්ණයකට රැගෙන ගිය අවස්ථාවේදී ඇතිවූ වෙඩි හුමාරුවකදී ඔහු මරුමුවට පත් වූ බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් විසින් ඔහු ඝාතනය කරන ලද බව ඉහළ පොලිස් නිලධාරීන් සඳහන් කළ නමුත් ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන ඇති බවක් වාර්තා වී නැත.

ඔහුගේ මරණය සිදුවූ ආකාරය ප්‍රබන්ධයක් බවත් මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කළ යුතු බවත් මධුෂ් ගේ බිරිඳ වෙනුවෙන් පෙනී සිටින නීතිඥ චමින්ද අතුකෝරාල මාධ්‍ය අමතමින් සඳහන් කළේය.

RSL

Related Posts