මහින්දානන්දගේ ‘කුවේට් බෝම්බ කතාව’හෙළා දකිමින් විදේශ ඇමැතිට ජවිපෙන් දැඩි ලිපියක්

Spread the love

මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිවරයා විසින් කුවේට් සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිළිබඳව කරන ලද අපහාසාත්මක සහ වගකීම් විරහිත ප්‍රකාශය පිළිබඳව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳන්නෙත්ති මහතා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබෙනවා. එම සම්පූර්ණ ලිපිය සහ එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන් එහි සභාපති ජූඩ් ලිවේරා මහතා විසින් විදේශ ඇමැතිවරයාට යොමු කළ සම්පූර්ණ ලිපි පහත පළ වෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය,
දිනේෂ් ගුණවර්ධන මහතා,
විදේශ කටයුතු අමාත්‍යාංශය – කොළඹ.

හිතවත් ඇමතිතුමනි,

මැයි මස 19 වන දින කුවේට් සිට පැමිණි ලාංකිකයන් පිළිබඳව හිටපු රජ්‍ය ඇමතිවරයෙකු විසින් සිදුකළ සාවද්‍ය ප්‍රකාශය හා මැදපෙරදිග ලාංකිකයන් සම්බන්ධවයි

කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකාවට මැයි 19වන දින පැමිණි ලාංකිකයන් කුවේට් රාජ්‍ය විසින් තෝරාගත් කොරෝනා රෝගය වැළඳුණු පිරිසක් බවත්, ඔවුන්ගේ පැමිණීම ශ්‍රී ලංකාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සමාන යැයිද හිටපු රාජ්‍ය ආමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මැයි 25වන දින කරන ලද ප්‍රකාශය පිළිබඳ අපගේ බලවත් කණගාටුව සහ අප්‍රසාදය ප්‍රකාශ කරමු. එහිදී ඔහු විසින් ඉදිරිපත් කළ කරුණු ගණනාවක් පදනම් විරහිත ව්‍යාජ චෝදනා පමණක් බව සඳහන් කිරීමට කැමැත්තෙමු.

විශේෂයෙන්ම එවන ලද පිරිස කුවේට් රාජ්‍යය තෝරාගත් පිරිසක් බවට වන චෝදනාවත්, මෙම පිරිස වෛද්‍ය පරික්ෂණවලින් තොරව ශ්‍රී ලංකාවට එවන ලදැයි යන චෝදනාවත් සාවද්‍යය. මෙම හාරසිය හැටහයදෙනා වෛද්‍ය පරීක්ෂණවලට ලක්කළ බවත් ඉන් හතරදෙනෙකු පමණක් වෛද්‍ය වාර්තා සලකා බලා රෝහල්ගත කළ බවත් ඉන් එක් අයෙකුට පමණක් කොරෝනා වැළදී ඇති බවත් කුවේට්හි ශ්‍රී ලංකා තානාපතිවරයා Arab Times පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

කුවේටය ඇතුලු මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකිකයන් අතිවිශාල ප්‍රමාණයක් තම මව්රට වන ශ්‍රි ලාංකාවට තමන් ගෙන්වා ගන්නා ලෙස ඉල්ලුම් කර සිටින්නේ මීට මාස දෙකකට පමණ පෙර සිට බව ඔබතුමා හොඳින් දන්නා කරුණකි. නමුත් විදේශගත ශ්‍රි ලාංකිකයන් තම මව්රටට ගෙන්වා ගැනීමට ආණ්ඩුව දිගින් දිගටම දැක්වූ මැළිකම නිසා අද මෙම තත්වය උග්‍රවී ඇති බවත්, එම නිසා අසරණ බවට පත්වී සිටින ශ්‍රි ලාංකිකයන්ටත්, ඔවුන් අප රටට ගෙන්වාගැනීමට සියලු පහසුකම් ලබාදුන් විදේශ රාජ්‍යයන්ටත් අවලාද නැගීම කිසිසේත් පිළිගත නොහැකිය.

මේ වනවිට මෙම සිද්ධිය පදනම් කරගෙන විවිධ රටවල අසරණභාවට පත්වී සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වාගැනීමද ආණ්ඩුව විසින් නතර කිරීමට උත්සාහ කරමින් තිබේ. එම නිසා එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව විසින් නිකුත් කරන ලද සම්පූර්ණ පැහැදිළි කිරීමක් මේ සමග ඔබට යොමු කරමු. තම රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට ඕනෑම ආණ්ඩුවක් ඕනෑම තත්වයකදී බැඳී සිටින බවත්, එම වගකීම අත්හරිමින් අසරණභාවයට පත්වී ඇති එම පුරවැසියන්ට හා ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා විවිධ සහාය ලබාදෙන රාජ්‍යයන්ට ආණ්ඩුවේ නියෝජිතයන් විසින් කරන්නාවූ චෝදනා පිළිබඳ අපගේ බලවත් අප්‍රසාදය මෙයින් පළකරමු. මන්ද යත් ශ්‍රී ලංකාවට පැමිණීමට සිටින පිරිසට වඩා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම රටවල්වල දැනුදු රැකියා කරමින් ජීවත්වන බවත් ඒ ඒ රටේ තත්වය අනුව එම ආණ්ඩු විසින් ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා තත්වය යටතේ විවිධ සහන සහ උපකාර ලබාදෙන බවත් තේරුම් ගැනීම වැදගත්ය. එම නිසා විදේශගතව සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් අදාල නිවැරදි නිරෝධායන ක්‍රමවේද යටතේ ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙසත් එතෙර අපි සංවිධානය ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිමු.

එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව විසින් එවන ලද ලිපිය මේ සමග අමුණා ඇත.

ස්තූතියි,

සුනිල් හඳුන්නෙත්ති,
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,
සභාපති,
එතෙර අපි සංවිධානය.
2020-05-28

ගරු විදේශ කටයුතු ඇමතිතුමනි,

පසුගිය මැයි 25වන දින විකාශයවූ දෙරණ නාලිකාවේ වැඩසටහනකදී හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කුවේට් සිට පැමිණි ලාංකිකයන් පිළිබඳව කළ අසත්‍ය ප්‍රකාශය පිළිබඳ මේ වන විටත් ඔබතුමා දැනුවත් යැයි අප සිතමු.

එහිදී කුවේටයේ සිට පැමිණි සියලුදෙනා කොරෝනා ආසාධිත බෝම්බ ලෙසත් කුවේට් රජයෙන් කොරෝනා රෝගීන් තෝරාගෙන ලංකාවට එවූ බවත් එම අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී. මෙම ප්‍රකාශය බරපතල හා සාවද්‍ය ප්‍රකාශයක් බවත් එමගින් ඇතිවිය හැකි අයහපත් ප්‍රතිපල දැනුවත් කිරීම සඳහාත් මෙම ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමු.

01. කුවේට් රජය විසින් අප්‍රේල් 1වන දින සිට අප්‍රේල් 30වන දින දක්වා ලාබදුන් පොදු සමා කාලයේදී ඉදිරිපත්වන අයට නොමිලේ ගුවන් ටිකට්පත් හා පිටව යන තෙක් අවශ්‍ය නේවාසික පහසුකම්ද ලබාදෙන බව ප්‍රකාශ කරන ලදී. එයට අනුව වලංගු වීසා බලපත්‍ර නොමැති, එහෙත් ගමන් බලපත්‍ර හිමි ලාංකිකයන් අප්‍රේල් 21වන දින සිට 25වන දින දක්වා කුවේට් රජයේ ෆර්වානියා නගරයේ පාසල් දෙකකදී භාරවූ අතර වීසා නොමැති ගමන් බලපත්‍ර නොමැති ලාංකිකයන්ට මෙම අවස්ථාව අහිමිවූයේ තානාපති කාර්යාලය මගින් එම පිරිසට තාවකාලික ගමන් බලපත්‍ර සකසාදීමට මැදිහත් නොවූ නිසාය. ඒ පිලිබඳ අප තානාපති කාර්යාලයෙන් විමසූවිට ඔවුන් සඳහන් කළේ ලංකා රජයෙන් වීසා නොමැති, ගමන්බලපත්‍ර නොමැති අයට තාවකාලික බලපත්‍ර සකස් කිරීමට අවසරය ලබාදී නොමැති බවය. එමනිසා ලංකාවට පැමිණි ලාංකිකයින් කුවේට් රජයෙන් තෝරාගෙන එවා ඇතැයි හිටපු ඇමතිවරයා කළ ප්‍රකාශය මුලුමනින්ම අසත්‍ය වේ.

02. එම පිරිස ලංකාව බලා පැමිණි දිනයේ (මැයි 19 වන දින) උදෑසන 5 සිට කුවේට් ගුවන් තොටුපලේදී පිටත්වීමට පැමිණි සියලුම දෙනා අදාල වෛද්‍ය පරික්ෂණවලට ලක්කළ බවත් රෝගී තත්ව පිළිබඳ සැක මතු වූ කිහිපදෙනෙකුට (සිව්දෙනෙක් පමණ) ගුවන්යානයට ඇතුල්වීමට ඉඩ නොදුන් බවත් ඔවුන් රෝහල් වෙත යොමු කළ බවත් දන්වා සිටිමි. එම සථානයේ රැඳීසිටි ශ්‍රී ලංකා තානාපති තුමාගෙන් ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු තහවුරු කරගත හැක. එම නිසා හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සිදු කළ සාවද්‍ය ප්‍රකාශය සමස්ත මැදරෙදිග ලාංකිකයන්ට කරන ලද අපහාසයක් මෙන්ම ශ්‍රි ලාංකිකයන්ට එම අවස්ථාව ලාබාදුන් කුවේට් රජයටත් කළ අපහාසයක් ලෙස අප දකිමු.

03. මේ මොහොතේ බරපතල අර්බූද රැසකට මුහුණ දෙමින් සිටින කුවේටයේ රැඳී සිටින 16,000ක් ඉක්මවු වීසා නොමැති පිරිසට නොමිලේ ගුවන් ටිකට්පත් හා අවශ්‍ය පහසුකම්සහිතව ලබාදුන් පොදු සමා කාලය පිළිබඳව කල්වේලා ඇතිව ලාංකා රජයට දැනුම්දී තිබූ අතර, එම පිරිස ලංකාවට ගෙන්වා ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම හේතුවෙන් එම පිරිසට බරපතල අර්බූද රැසකට මුහුණදීමට සිදුවිය. ලාංකිකයන්ට අදාලව පොදු සමාකාලය අරම්භක දිනය වූ අප්‍රේල් 21වන දින ඔවුන් බාරගන්නා ස්ථාන වෙතට බොහෝදෙනා පැමිණියේ තමන් නේවාසිකව සිටි ස්ථානවලින් ඉවත්වී අනෙකුත් සියලුම කටයුතු අවසන් කර තම මව්රට බලා පිටත්වීමේ අපේක්ෂාවෙන්ය. එහෙත් එදින ගමන් බලපත්‍ර හිමි අය පමණක් බාරගත් අතර ගමන් බලපත්‍ර නොමැති පිරිස බාර නොගෙන ප්‍රතික්ෂේප කිරීම නිසා අවසානයේ එම පිරිසයට යනඑන මං නොමැතිව තවත් අසරණභාවයට විය. මේ වන විටත් එම පිරිස නොයෙකුත් ස්ථානවල ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අතර මේ ගෙවී ගිය මාසයකට වැඩි කාල සීමාව තුළ ඔවුන්ද මෙම කොරෝනා වෛරසයට අසාධානය වීමේ අවධානම වැඩිවී ඇත. අප්‍රේල් 21 වනවිට කුවේටයේ කොරෝනා ආසාධිත ප්‍රමාණය 1995ක් වූ අතර එම අවස්ථාවේදී ලාංකාවේ රජයට විසඳීමට තිබූ මෙම ගැටලුව, ආරම්භයේ සිටම මැදපෙරදිග ලාංකිකයන් ගෙන්වා නොගැනීමේ ආණ්ඩුවේ ස්ථාවරය නිසා කොරෝනා ආසාධිතයින් 16784ක් වාර්තාවූ මැයි 19 වන දින තෙක් පමා කිරීමේ වගකීමද ගත යුත්තේ ශ්‍රී ලංකා රජයයි.

04. කුවේට් රාජ්‍ය විසින් පොදු සමාකාලයේදී භාරවෙන ඒ ඒ රටවල පුරවැසියන්ගේ වෛද්‍ය පරීක්ෂණ කටයුතුවලට අවශ්‍ය වෛද්‍ය කණ්ඩායම් කුfවිටයට ගෙන්වාගෙන ඒ ඒ රටේ වෛද්‍යවරු මගින්ම එම පරීක්ෂණ කටයුතු සිදු කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල විදේශ අමාත්‍යාංශවලට කුවේට් රජයෙන් දැනුම් දී තිබූ බව අපට දැනගන්නට ලැබී ඇත. එයට අනුව ගුවන්යානයකින් ඉන්දියාවේ සිට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල සහ අවශ්‍ය වෛද්‍ය උපකරණ රැගෙන පැමිණ එම කටයුතුවලට මැදිහත්වූ අයුරු දැකගන්නට හැකි විය. තවද අනෙකුත් රටවලින් තමන්ගේ පුරවැසියන් බාරගැනීමට අවශ්‍ය කටයුතු සකස් කළ අතර මේ වන විට විධිමත්ව එම කටයුතු සිදුවේ. දැනට කොරෝනා අවධානම වැඩි රටක් වන ඉන්දියාව පවා තමන්ගේ පුරවැසියන් ගෙන්වා ගැනීමට වෛද්‍ය කන්ඩායම් පවා කුවේටයට එවමින් කටයුතු කරද්දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් එවැනි කිසිදු සහයෝගයක් ලබානොදී මෙවැනි චෝදනාවක් එල්ල කිරීම බරපතල වරදක් වේ. මුල සිටම කුවේට් රජය සමග අවශ්‍ය කටයුතු සඳහා සහයෝගයෙන් සැලසුම් සකස් කළේනම් මේ වනවිට බොරු චෝදනා නගමින් තමන් නිවැරදි වීමට උත්සාහ කිරීමට අවශ්‍ය නොවන බවද දන්වමු.

05. යුරෝපා රටවල් වල සිටි ලාංකිකයන් හා ඔබගේ රජයේ හිතවතුන් ගෙන්වා ගැනීමට විශාල ලෙස මැදිහත්වූ ආණ්ඩුව සමහර ඇමතිවරුන්ගේ දරුවන් එන තෙක් ගුවන් තොටුපල පවා වසා නොදැමූ අයුරු අප දැක්කෙමු. එහෙත් අතිශය පීඩාවට පත් මැදපෙරදිග ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් රජය මැදිහත් නොවීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නිසා මේ වන විට බරපලත අර්බුද රැසක් මතුවී ඇති අතර එහි සමස්ථ වගකීම රජයට පැවරේ.

මෙවැනි තත්වයන් යටතේ කුවේට් රජය විසින් විශේෂයෙන් තෝරා නොගත් සහ අවසාන දිනයේ පවා පරීක්ෂණවලට ලක්කළ කුවේට් රජය මගින් නොමිලේ සැපයූ ගුවන්යානා මගින් ලංකාවට පැමිණි, ලාංකාවේ ගුවන් තොටුපලේදී පවා නැවත පරීක්ෂාවට ලක්කළ, එම කිසිදු පරීක්ෂණයකදී රෝගීන් බවට හඳුනා නොගත් නිරෝධායන ම්‍යස්ථනවල සිටින ලාංකිකයන්ට කරන මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, මෙම කරුණ මත පදනම්ව මැදපෙරදිග සිටින සියලු ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම නවතා දැමීමට කටයුතු කරමින් තිබීම කණගාටුවට කරුණකි. වහාම මෙම අසත්‍ය කරුණ මත පදනම්ව කුවේට් රජයටත්, කුවේටයේ සිටින ලාංකිකයන්ට හා පැමිණි ලාංකිකයන්ට කරන චෝදනා නවතා දමන ලෙසත්, ඉතාමත් ඉක්මනින් මැදිහත්ව මේ අවස්ථාව වන විට බරපතල අර්බූද රැසකට මුහුණ දෙන මැදපෙරදිග සිටින ලාංකිකයන් විධිමත් නිරෝධායන ක්‍රියාවලියකට යටත්ව ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසත් එතෙක් ඒ ඒ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාදනය සඳහා අවශ්‍ය සම්පත් සහ ප්‍රතිපාදන තානාතපති කාර්යාලයට ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිමු. ශ්‍රී ලාංකිකයන්ගේ සුභසාදනය සඳහා තානාපති කාර්යාල විසින් ගනු ලබන ක්‍රියාමාර්ගවලට අප සංවිධානයේ සහාය ලබාදීමට ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වන බවද වැඩිදුරටත් සඳහන් කරමු.

ස්තූතියි,
ජූඞ් ලිවේරා,
සභාපති,
එතෙර අපි සංවිධානයේ කුවේට් ශාඛාව වෙනුවෙන්
2020-05-28 වන දින කුවේට් සිට.

RSL

Related Posts