මහර බන්ධනාගාර ගැටුමෙන් 06ක් මරුට – 43කට තුවාල

Spread the love

මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් 6 දෙනෙකුගේ මළසිරුරු මේ වන විට රාගම රෝහලට රැගෙනවිත් තිබෙන බව රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා සඳහන් කළේය. ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලත් පුද්ලයින් 43 දෙනකු ද ප්‍රතිකාර සදහා රෝහල්ගත කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ (29) රාත්‍රි යේ කියා සිටියේ මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් නොසන්සුන්කාරී තත්ත්වය හටගත් බවයි.

‘ මේ සිද්ධිය මුල්කරගෙන ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පස්වරුව වන විට මෙය ගැටුමක් දක්වා දුරදිග ගොස් දැනට බන්ධනාගාරය තුළ රඳවා සිටින ජීවීතාන්තය දක්වා සිරදඬුවම් හිමිවූ සිරකරුවන්ට රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සිරකරුවන් විසින් පහරදීමට පටන්ගෙන තිබුණා. අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් අවම බලය පාවිච්චි කර ඇති අතර එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර තිබෙනවා‘

මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට ද පියවර ගෙන තිබූ බවයි. ඒ අනුව බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පියවර ගැනුණු අතර කැලණිය සහ රාගම පොලිස් ස්ථාන මගින් ද පොලිස් කණ්ඩායම් 5 ක් යෙදවීමට පොලිසිය පියවර ගෙන ඇත.

‘‘එහෙත් රාත්‍රීය වන විට සිරකරුවන් බන්ධනාගාරයේ සෞඛ්‍ය කාර්යාලයට, ගබඩාවකට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබුණා. ගින්න පැතිර යාම වැඩි වීමත් සමග ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 6 ක් යෙදවීමටද පියවර ගත් බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන තිබුණා‘ යැයි බන්ධනාගාර ප්‍රකාශකයෙක් සදහන් කළේය.

මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත්කර ඇතැයි විෂය භාර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළ බව සඳහන් වේ.

RSL

Related Posts