‘බේරූට් වරාය නගර වනසමින්’ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් පුපුරා යයි

Spread the love

දැන් වරායේ ගබඩා කර තිබූ ධාන්‍ය සියල්ලම විනාශ වී ඇත. ඇත්ත වශයෙන්ම, ‘බේරූට් වරාය තවදුරටත් නැත” යැයි එක් නිලධාරියෙක් පැවසීය. කම්පනය පහව ගිය පසු පවා එහි බලපෑම තේරුම් ගැනීමට අපහසු වනු ඇත.

ලෙබනන්හි බේරූට් අගනුවර වරාය පරිශ්‍රයේ ගබඩාවක සිදු වූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 78 දෙනෙකු මිය ගොස් තවත් 4,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව බී.බී.සීය වාර්තා කරයි.

මෙම පිපිරීමෙන් දැවැන්ත ගිනි ජාලා අහස දෙසට විසිරී ගිය අතර මුළු නගරයම දැඩි කම්පනයට ලක්විය.

පිපිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලෙබනන් ජනාධිපති මයිකල් අවුන් පැවසුවේ වසර හයක් තිස්සේ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750ක් අනාරක්ෂිත ලෙස ගබඩාවක ගබඩා කර ඇති බවයි.

ජනපති අවුන් හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීමට පියවර ගෙන ඇති අතර රට තුළ සති දෙකක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව බදාදා සිට දින තුනක් නිල වශයෙන් ශෝක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.

පිපිරීමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ලීරා බිලියන 100ක් හෙවත් ඩොලර් මිලියන 50.5ක හදිසි අරමුදල් රජය විසින් නිදහස් කරන බව ද ජනාධිපති අවුන් නිවේදනය කළේය.

“අපි මේ දකිමින් සිටින්නේ අති විශාල ව්‍යසනයක්” යැයි ලෙබනනයේ රතු කුරුස සංවිධානයේ ප්‍රධානී ජෝර්ජ් කෙටානි ප්‍රාදේශීය මාධ්‍ය වෙත පැවසීය. “සෑම තැනකම වින්දිතයින් හා තුවාලකරුවන් සිටිනවා”

ගලවා ගැනීමේ සේවකයින් සුන්බුන් අතර දිගින් දිගටම සෝදිසි කරමින් සිටින අතර මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ලෙබනන් බලධාරීන් කියා සිටියේ පිපිරීමට හේතුව කුමක්දැයි සොයා බැලීමට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. ලෙබනනයේ ශ්‍රේෂ්ඨ ආරක්ෂක කවුන්සිලය කියා සිටියේ වගකිවයුත්තන්ට හැකි උපරිම දඩුවමට මුහුණ දීමට සිදුවන බවයි.

2013දී නෞකාවකින් ඇමෝනියම් නයිට්රේට් රැගෙන විත් ඇති අතර ඒවා වරායේ ගබඩාවක ගබඩා කර තිබී ඇත. ඒවා අනාරක්ෂිතව තිබූ බව බලධාරීන් පසුව පිළිගෙන ඇත.

මෙම පිපිරීම ලෙබනනයට ඉතා සංවේදී කාලයකදී සිදුවී ඇති අතර, ආර්ථික අර්බුදයක් සමඟ රට කොරොන වයිරස් අර්බුදය සමඟ පොරබදමින් සිටී. මේ අතර 2005 දී හිටපු අගමැති රෆික් හරිරි ඝාතනය සම්බන්ධයෙන් වූ නඩු විභාගයක ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට ද නියමිතව තිබේ. මේ සියලු තත්ත්වයන් තුළ ලෙබනයේ ආර්ථි, දේශපාලන හා ආරක්ෂක තත්ත්වය දැඩි ආතතියකට ලක්ව ඇත. පිපිරීම සමග එය තව දුරටත් තීව්‍රර වන බව පැහැදිලිය.

සිදුවුයේ කුමක් ද?

මෙම පිපිරීම අඟහරුවාදා (04) 18:00 (GMT 15:00) ට පසුව සිදුවිය. එම ස්ථානයේ සිටි බීබීසී මාධ්‍යවේදියෙකු වාර්තා කළේ මළ සිරුරු සහ දැඩි හානි, බේරූට් වරාය ක්‍රියා විරහිත කිරීමට ප්‍රමාණවත් බවයි.

සුන්බුන් යට සිරවී සිටින පුද්ගලයින් ප්‍රාදේශීය මාධ්‍යවලින් පෙන්නුම් කෙරිණි. සිද්ධිය ඇසුන් දුටු පුද්ගලයෙක් ‘පිපිරීම බිහිරි කිරීමක්‘ ලෙස විස්තර කළ අතර වීඩියෝ දර්ශන මගින් සුන්බුන් සහිත කාර් සහ හානිවූ ගොඩනැගිලි පෙන්වන ලදී.

හෝටලයක ජනේල සුනුවිසුනු විය
පිපිරීමෙන් සැතපුම් ගණනක් ඈතින් පිහිටි හෝටලයක ජනේල පුපුරා ගියේය

“මෙහි ඇති සියලුම ගොඩනැගිලි කඩා වැටිලා. සෑම තැනකම වීදුරු සහ සුන්බුන් විසිරිලා. විදුලිය ඇනහිටිලා. සියල්ල අන්ධකාරයේ ගිලී ගිහින්. මම ඇවිදිමින් සිටිමි” යැයි වරාය අසල එක් පුද්ගලයෙක් ඒඑෆ්පී ප්‍රවෘත්ති ඒජන්සියට පැවසීය.

තුවාලකරුවන්ගෙන් රෝහල් පිරී ඇති අතර ඒවා තුළ දැඩි තදබදයක් පවතී. මරණ සංඛ්‍යාව තව දුරටත් ඉහළ යාමට එය හේතු වී ඇත.

නැගෙනහිර මධ්‍යධරණි මුහුදේ සයිප්‍රස් දූපතේ සිට කිලෝමීටර් 240 ක් (සැතපුම් 150 ක්) ඈතින් මෙම පිපිරීම දැනී ඇති අතර, එය භූමිකම්පාවක් යැයි සිතූ අය එහි සිටියහ.

රේඛාව

‘මෙය සිදුවීමට වඩා නරක කාලයක් ගැන සිතීම දුෂ්කර ය’ – රමි රුහයිම්, බීබීසී ප්‍රවෘත්ති, බේරූට්

සයිරන් හඩ දසතින් ඇසේ. ගිලන්රථ විශාල සංඛ්‍යාවක් වරාය දෙසට ගමන් කරමින් තිබේ. ඒ සමග විශාල වාහන තදබදයක් ඇති වී ඇත. ට්‍රැක්ටර් මගින් ​​සුන්බුන් ඉවත් කරද්දී උතුරේ සිට බේරූට් දක්වා දිවෙන අධිවේගී මාර්ගය වීදුරු කැබලි වලින් වැසී ඇත.

බීරුට් මේ පසුකරමින් සිටින්නේ කිසිසේත් යහපත් කාලයක් නොවේ. සියල්ල සිදුවන්නේ අයහපත් ලෙසය. කෝවිඩ් -19 ආසාදන වැඩිවීමත් සමඟ රෝහල්වල දැඩි තදබලයක් පවතී.ඒ සමග, දැන් දහස් ගණනක තුවාලකරුවන් ද භර ගැනීමට රෝහල්වලට සිදුවී තිබේ. මෙය කිසිසේත් දරාගත හැකි තත්ත්වක් නොවේ.

සිය ගණනක් දැන් අවතැන් වී ඇත. ඔවුන්ගේ නිවාස, ව්‍යාපාරික ස්ථාන සුන්බුන් බවට පත්ව ඇත. වාහන ගැන කතා කිරීමට තරම් දෙයක් නැත. සියල්ල සුන්බුන් බවට පත්ව ඇත. කිලෝමීටර් ගණනාවක් තුළ දැකගත හැක්කේ වීදුරු කැබිලි සහ සුන්බුන් පමණකි.

දීර්ඝ කාලීන ගැටුම් නිසා ලෙබනනයේ කෘෂි ආර්ථිකය සම්පූර්ණයෙන් බිද වැටීී ඇති නිසා ඔවුන් ආහාරවලින් වැඩි කොටස ආනයනය කරයි. ආහාර සදහා වන සුරක්ෂිතභාවය මෙහි දැඩි අභියෝගයකි. එහි ආර්ථිකය වසරකට ආසන්න කාලයක් තිස්සේ බිඳ වැටී ඇත.

‘ගොඩනැගිල්ල පුරාම වීදුරු පහළට යනවා’

හදී නස්රල්ලා, ඇසින් දුටු සාක්ෂිකරු බීබීසීයට කතා කළේය

‘‘මම ගින්න දුටුවෙමි, නමුත් පිපිරීමක් සිදුවන බව මම දැන සිටියේ නැත. අපි ඇතුළට ගියා. හදිසියේම මට ශ්‍රවණය අහිමි විය. තත්පර කිහිපයක් මට මගේ ශ්‍රවණය නැති විය, යමක් වැරදී ඇති බව මම දැන සිටියෙමි. එවිට හදිසියේම අප අවට ඇති කාර්, සාප්පු, වෙළඳසැල්, ගොඩනැගිලි සියල්ලම සුනුවිසුනු විය. ගොඩනැගිල්ල පුරාම වීදුරු පහළට යනවා දුටුවෙමි.

බේරූට් පුරා, කිලෝමීටර් ගණනක් ඈතින් විවිධ ප්‍රදේශවලින් මිනිසුන් එකිනෙකාට කතා කරමින් සිටි අතර ඔවුන් එකම දේ අත්විඳිමින් සිටියහ: කැඩුණු වීදුරු, ගොඩනැගිලි සෙලවීම, මහා පිපිරීමක්.

සාමාන්‍යයෙන් මෙවැනි පිපිරීමකදී කම්පනයට, දැඩි හානියට ලක්වන්නේ අදාළ ප්‍ර දේශය පමණකි. නමුත් මෙවර බේරූට් වලින් පිටත ප්‍රදේශ පවා දැඩිසේ කම්පනයට පත්විය.

බේරූට් හි පිපිරුම් ස්ථානය පෙන්වන සිතියම

සුන්නිවා රෝස්, මාධ්‍යවේදී

“සවස් වන විට බේරූට් වෙත රිය පැදවීම අසීරු නොවි. එය අවුල් සහගතය. වීදි වීදුරුවලින් වැසී තිබුණි. ගිලන්රථවලට ඒ හරහා යෑම දුෂ්කර ය. නිවාස කඩා වැටී ඇත.

“මම වරායට යන විට එය හමුදාව විසින් වසා දමා තිබුණි. ඒ දෙවන පිපිරීමක් සිදුවුවහොත් එය වළක්වා ගැනීම සදහා යැයි මා විමසූ විට හමුදාව පැවසීය.

“සවස් වන තුරුම අහස දෙසට දුමාර පිටවිය. මුළු නගරයම කළු විය. එහි ඇවිදීමට ඉතා අපහසු විය, මිනිසුන් රුධිරයෙන් වැසී තිබුණි. 86 හැවිරිදි කාන්තාවකට වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර කරනු මම දුටුවෙමි. ඔහු තම ප්‍රථමාධාර කට්ටලයක් සමඟ තම නිවසින් පිටව ගොස් ඇත. කාර් මුළුමනින්ම කුඩුපට්ටම් වී ඇත.

‘‘ මගේ මහල් නිවාසයේ ද විශාල කැළඹීමකි. එහි වීදුරු සියල්ලම සුනුවිසුනු වී ඇත. හානියේ තරම අන්තය. කිලෝමීටර් 2 ක් ඈතින් පිහිටි වෙළඳ සංකීර්ණයක පවා වීදුරු සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී ඇත”

රේඛාව

ඇමෝනියම් නයිට්රේට් යනු කුමක්ද?

ඇමෝනියම් නයිට්රේට (ammonium nitrate) මගින් ඉටුකර ගත හැකි විවිධ භාවිතයන් ගණනාවක් ඇත. නමුත් ඒවා වඩාත් සුලභ ලෙස භාවිත වන්නේ කෘෂිකාර්මික පොහොර ලෙස සහ පුපුරන ද්‍රව්‍ය ලෙස ය.

ගින්න සමඟ ස්පර්ශ වන විට එය අධික ලෙස පුපුරන සුලු ය. එය පුපුරා ගිය විට ඇමෝනියම් නයිට්රේට, නයිට්‍රජන් ඔක්සයිඩ් සහ ඇමෝනියා වායුව ඇතුළු විෂ වායූන් මුදා හැරිය හැකිය.

බේරූට් හි පිපිරීමෙන් පසු
ඇමෝනියම් නයිට්රේට් පිපිරීමක් මගින් විෂ වායූන් මුදා හැරිය හැක

එය ක්ෂණික ගිනි අවුලුවන නිසා ඇමෝනියම් නයිට්රේට් ආරක්ෂිතව ගබඩා කරන්නේ කෙසේද යන්න පිළිබඳ දැඩි නීති රීති ඇත. එම අවශ්‍යතා අතර ගබඩා භූමිය මුළුමනින්ම ගිනි නිවාරණය කළ යුතු අතර ඇමෝනියම් නයිට්රේට් කාන්දු විය හැකි කාණු, පයිප්ප හෝ වෙනත් නාලිකා තිබිය නොහැක.

ලෙබනනයේ තත්වය කුමක්ද?

1975-1990 සිවිල් යුද්ධයෙන් පසු දරුණුතම ආර්ථික අර්බුදයක ලෙබනන් ගිලී සිටින අතර අඛණ්ඩව දේශපාලන උද්ඝෝෂණ හා වීදි සටන් සිදුවේ. රට අරාජිකත්වය කරා ළගාවෙමින් තිබේ.

වසර ගණනාවක් තිස්සේ දේශපාලනයේ ආධිපත්‍යය දැරූ සහ තමන්ගේම ධනය රැස් කරගත් පාලක ප්‍රභූ කල්ලිය රටේ ගැටලු විසඳීමට අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපොහොසත් වී ඇත. ජනතාවට දෛනික විදුලි කප්පාදුව, ආරක්ෂිත පානීය ජලය නොමැතිකම සහ සීමිත මහජන සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් අඛණ්ඩ ගැටලුවලට මුහුණ දී සිටී.

බේරූට්හි විනාශ වූ වරාය දුමාරය සමඟ
පිපිරීමෙන් වරාය බොහෝ දුරට විනාශ වී ඇත

ඊස්රායලයේ දේශ සීමාව තුළ ද ආතතියක් ඇති වී ඇති අතර, පසුගිය සතියේ කියා සිටියේ හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායල භූමිය තුළට රිංගා ගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ කළ බවයි. එහෙත් ඊශ්‍රායලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බීබීසීයට පවසා ඇත්තේ බේරූට් පිපිරුමට “ඊශ්‍රායලයට කිසිදු සම්බන්ධයක් නැති” බවයි.

හිටපු අගමැති හරීරි ඝාතනය කළ දැවැන්ත මෝටර් රථ බෝම්බ ප්‍රහාරය සිදුවූ ස්ථානයට ආසන්නව මෙම පිපිරීම සිදුවිය. අඟහරුවාදා පිපිරීම සිදුවූයේ නෙදර්ලන්තයේ විශේෂ උසාවියක දීර්ඝ කාලයක් තිස්සේ බලා සිටි නඩු තීන්දුවට දින කිහිපයකට පෙරය.

බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි – සකස් කළේ – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts