‘බුරවි’ සුළි කුණාටුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නවතම තත්ත්වය

Spread the love

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවි” සුළි කුණාටුව දෙසැම්බර් 02 වන දින පෙ.ව. 08.30 වනවිට ත්‍රිකුණාමලයට කි.මි. 200ක් නැඟෙනහිරට බරව ස්ථානගතව පැවතුනි.

මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊශානදිග වෙරළෙන් දිවයිනට අද (02) රාත්‍රී කාලයේ (ප.ව. 07.00 -10.00 අතර)  ඇතුළු වේ යැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙනු ලබයි.

සුළි කුණාටුව සමග සුළිගේ වේගය පැ.කි.මි. 80-90 පමණ වියහැකි අතර, විටින්විට එය පැ.කි.මි. 100 දක්වා වැඩිවිය හැකිය. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වනවිට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පුනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ උදම් රළ මට්ටමමට වඩා මීටර 1 ක් පමණ ඉහළ යා හැකි අතර වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යටවිය හැකිය. දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව පැ.කි.මි.100 පමණ ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශය විටින් විට ඉතා රළු හෝ දළ රළු විය හැකිය.

මෙම තත්ත්වය යටතේ, තාවකාලික නිවාස සහ ඉදිකිරීම්වලට හානිවීම, වහලවල ඇති තහඩු උළු ආදිය ගැලවියාම,විදුලි සහ දුරකථන රැහැන්වලට හානි සිදුවීම, ගස්වල අතු කැඩීම් හා මාර්ග අසළ ඇති විශාල ගස් ගැලවියාම, වී වගා බිම්වලට, කෙසෙල්, පැපොල් වැනි පලතුරු වගාවන්වලට හානිසිදුවීම, වරාය ආශ්‍රීතව නවතා/රඳවා ඇති යාත්‍රා අංගනවලට හානි සිදුවීම, ක්ෂණික ගංවතුර තත්ත්වයන් ඇතිවීම, වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවීම වැනි ආපදා තත්ත්වයන් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙනු ලබයි.

RSL

Related Posts