බත් කන පුරවැසියන්ට වඩා PBට ‘ඩොලර් මිලියන 100 ය වටී’

Spread the love

වෙළෙදපොළේ සහල් මිල ඉහළ ගියත් සහල් ආනයනය නොකිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් රජයේ එම තීරණය නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක පමණ විදේශ විනිමය ඉතිරි කර ගැනීමට හැකි වූ බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා කැබිනට් මණ්ඩලය වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මෙහිදී වැඩි දුරටත් කරුණු පෙන්වා දී ඇති ජයසුන්දර මහතා මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවත් එමගින් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක පමණ අස්වැන්නක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද එම වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

රජය දැවැන්ත විදේශ විනිමය ගැටලුවකට මුහුණ දී ඇති වත්මන් තත්ත්වය තුළ මෙවැනි පියවරක් ගැනීම යෝග්‍ය බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

‘මේ මිල ඉහළ යාම ඇතැම් පක්ෂ හා ජනමාධ්‍ය මගින් උපුටා දක්වන තරම් අර්බුධකාරී තත්ත්වයක් නොවෙයි. අඩු ආදායම්ලාභී පවුලක වුණත් සාමාන්‍ය ආදායමින් සියයට 15ක් පමණ තමයි සහල්වලට වැය කරන්නේ මධ්‍ය ආදායම් ලබන පවුල්වල ප‍්‍රතිශතය මීටත් වඩා අවම අගයක්. ඔවුන් දුරකථන හා දත්ත ලබා ගැනීම සදහා මාසිකව සහල්වලට වඩා මිලක් වැය කරනවා. ඒ නිසා තාවකාලිකව ගත් පියවර නිසා රටේ විදේශ විනිමය ආරක්ෂා වීම පමණක් නොවෙයි දේශීය මෝල් හිමියන්ට සහ ගොවීන්ට මේ මුදල විතැන් වෙනවා. ඒක ආනයනික ව්‍යාපාරිකයින්ට සහ විදේශ රටවලට විදේශ විනිමය ගලා යාමට වඩා යහපත් තත්ත්වයක්. මොකද මේ මුදල් රට තුළයි ඉතිරි වෙන්නේ’ මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ආර්ථික විශ්ලේෂක ආචාර්ය කාවන් හේවාවිතාරණ මහතා සදහන් කළා.

RSL

Related Posts