පොරොන්දු කඩකිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග – ගුරු වෘත්තීය සංගම්

Spread the love

ගුරු හා විදුහල්පති ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දුන් පොරොන්දු කඩකිරීමට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ප්‍රධාන පෙළේ ගුරු වෘත්තීය සංගම් එකොළහක්‌ තීරණය කර ඇතැයි වාර්තා වේ.

ලංකා ගුරු සේවා සංගමය, සමස්‌ත ලංකා උපාධිධාරී ගුරු සංගමය, ජාතික අධ්‍යාපන සේවක සංගමය, ස්‌වාධීන ලංකා ගුරු සංගමය, ලංකා විදුහල්පති සේවා සංගමය, ජාතික අධ්‍යාපන විදුහල්පති සේවක සංගමය, පුහුණු ගුරු වෘත්තිකයන්ගේ සංගමය, ලංකා පිරිවෙන් ගුරු සේවා සංගමය, සමස්‌ත ලංකා අධ්‍යාපන සේවා සංගමය, ලංකා පුහුණු ගුරු සංගමය හා ලංකා කෘෂි විද්‍යා හා ගෘහ විද්‍යා ඩිප්ලෝමාධාරී සංගමය යන ගුරු හා විදුහල්පති සංගම් ඒකාබද්ධව මෙම ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන අතර ගන්නා ක්‍රියාමාර්ග ඉදිරි දෙසතියේදී ප්‍රකාශයට පත් කෙරේ.

වසර 14 ක්‌ තිස්‌සේ පවතින වැටුප් විෂමතා ඉවත් නොකිරීමට වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා 2009 වසරේ අයවැයෙන් වෙන් කළ රුපියල් දසලක්‍ෂ තුන්දහස ගුරුවරුන්ට ලබානොදීමට, පසුගිය 2008 වසරෙන් පසුව උසස්‌වීම් ලබානොදීමට හා ගුරු වෘත්තීය සංගම් සමග සාකච්ඡා නොකර සේවා ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගම් නියෝජිතයෝ පවසති.

මෙම ගැටලුවලට විසඳුම් ලබාදෙන බවට පසුගිය 26 වැනිදා අධ්‍යාපන ඇමැතිවරයා ගුරු වෘත්තීය සංගම්වලට දුන් පොරොන්දු ඉටුකර නැති බවත් ඔවුහු පවසති.

RSL

Related Posts