පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය මගින් ‘ත්‍රිපෝෂ’ නිවසටම – සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්

Spread the love

ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට සහ සෞඛ්‍ය උපදෙස් අනුව ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වැඩපිළිවෙළක්.

COVID – 19 වසංගත තත්ත්වය හේතුවෙන් සියළු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමයකරමින් සෞඛ්‍ය සේවා කටයුතු පවත්වාගෙන යාමට වැදගත් වූ තීන්දු තීරණ රැසක් සෞඛ්‍යසහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශය විසින් ගෙන ඇති බව සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය ‌සේවා අමාත්‍යාංශයේ ලේකම් ඡේ.එම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය සදහන් කරයි.

ඒ අනුව ගර්භනී මව්වරුන් හා කුඩා ළමුන් හට ලබාදෙන ත්‍රීපෝෂ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින් අදාල නිවසටම ගොස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. කුඩා ළමුන්ගේ  බර කිරීමකින් තොරව පසුගිය මස සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රීපෝෂ නිකුත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ සමගම ගර්භනී මාතාවන්ට ලබාදිය යුතු විටමින් වර්ග ද බෙදා දෙනු ඇත.

එමෙන්ම පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය සති 04 තුල ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සුදුසු තත්ත්වයක් නොතිබුන හෙයින් දැනට එම ප්‍රතිශක්තීකරණ සායන වසංගත තත්ත්වයන් තුල දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින් එනම් විශේෂයෙන්ම දුරස්ථ බව රැකගෙන, හැකි තරම් නිවසට සමීපයෙන් විශේෂ සායන මධ්‍යස්ථාන පවත්වා, සියළු දෙනාට එකවර නොපැමිණ, නිශ්චිත වේලාවක් ලබා දී, ඒ අනුව ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට කටයුතු ද පිළියෙළ කර ඇත. මේ සදහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අමතර වාහනයක් ද, අමතර වෛද්‍ය නිලධාරියෙකු ද ලබාදීමට කටයුතු කර ඇති බව ද තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීයගෙන් වැඩි විස්තර ඔබට ලබාගත හැකි බව ද සෞඛ්‍ය ලේකම් තුමිය සදහන් කරයි.

RSL

Related Posts