පක්ෂයේ ගරුත්වය රැක ගන්න SLFP – SLPP අවබෝධතා ගිවිසුම් එළියට

Spread the love

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ජනපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ සමග ඇත්කර ගත් අවබෝධතා ගිවිසුම සහ එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමත් ඊයේ (10) ප‍්‍රසිද්ධියට පත් කිරීමට පියවර ගත්තා.

තම පක්ෂය විසින් ගත් මේ තීරණයට හේතු පැහැදිලි කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අවබෝධතා ගිිවිසුමක් නැති බවට ඇතැම් පිරිස් නගන චෝදනාවලට පිළිතුරු වශයෙන් තම පක්ෂය විසින් අදාළ අවබෝධතා ගිවිසුම් දෙක ප‍්‍රසිද්ධියට පත්කළ බවයි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෙක් මෙසේ සඳහන් කළා.

‘අපි මේ තීරණය ගත්තේ බොහෝ දුරට කරුණු කාරණා ගැන විමසා බැලීමකින් පසුවයි. ඉදිරි මහ මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු අපේක්ෂක සංඛ්‍යාව, නැතිනම් ප‍්‍රතිශතය පිළිබඳව වගේම ජාතික ලැයිස්තුවේ කෝටාව පිළිබඳවත් අපට ගැටලූ තිබෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් අපි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන් සහාය ලඝු කරලා, නැතිනම් අවතක්සේරු කරලා කතා කරනවා.

අපි පැහැදිලිව කියනවා ගෝඨාභය රාජපක්ෂ මහතා දකුණෙන් ලබාගත් සියයට 60කට ආසන්න ඡුන්ද ප‍්‍රතිශතය තුළ අපේ ඡුන්ද සැලකිය යුතු ප‍්‍රතිශතයක් තිබෙනවා. එය එසේ නොවුණා නම් එතුමාගේ ජයග‍්‍රහණය මීට වඩා අඩු වෙන්න, ඇතැම් විට අතිෂය තියුණු වෙන්න තිබුණා. ඒ ගැන අපි සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපතිතුමාට 3/2ක බලයක් ලබා ගන්න නම් අපේ සහාය අත්‍යවශයි. එය නැතිව සරල බහුතරයක් තමයි එතුමාට ගන්න වෙන්නේ.

ඒත් අපි මේ දෙන, ලබා දුන් සහායට නිසි පිළිගැනීමක් ලැබෙන බවක් පේන්න නැහැ. අපි හඳෙන් පාත් වුණ පක්ෂයක් විදිහටයි ඇතැමුන් කතා කරන්නේ. ඒත් ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පසුගිය 2019 ඔක්තෝබර් 10 වැනිදාත්, එවකට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේ්ක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඔක්තෝබර් 19 වැනිදාත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවබෝධතා ගිවිසුම් අත්සන් කළා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මේ ගිවිසුම් අත්සන් කළේ ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතායි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ප‍්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ගිවිසුම්වලට අත්සන් කළා. මේ ගිවිසුම කරුණු 22කින් යුත් අවබෝධතා ගිවිසුමක්. ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් කළ අවබෝධතා ගිවිසුම තුළ කරුණු 17ක් ඇතුළත් බවත් අපි සිතේ තබාගත යුතුයි.
මෙහිදී වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. ඒ තමයි මේ ගිවිසුම් දෙකට ද අදාළවයි නව සන්ධානයේ ව්‍යවස්ථාව සම්පාදනය කරලා තියෙන්නේ. එය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් ද අනුමතර කරලා තිබෙනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්නේ දෙපාර්ශ්වය අතර ඇති වුණ එකඟතා අනුව ඉදිරි කටයුතු සිදුවිය යුතුයි’

RSL

Related Posts