දේශීය හා ජාත්‍යන්තර වෙළෙදපොළේ රත්‍රං මිල වාර්තාගත ලෙස ඉහළ යයි

Spread the love

මේ වන විට මෙරට වෙළෙඳපොළේ කැරට් 24ක රන් පවුමක මිල රුපියල් 110,000 දක්වාත් කැරට් 22ක රන් පවුමක මිල රුපියල් 100,850 දක්වාත්, කැරට් 21 රන් පවුමක මිල රුපියල් 96,250 දක්වාත් විශාල ලෙස ඉහළ ගොස් ඇතැයි Colombo Gold Centre ෆේස්බුක් පිටුවේ දැක්වේ.

නව රත්‍රං මිල ගණන් සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ ප්‍රකට ස්වර්ණාභරණ අලෙවි සැල් කිහිපයක් සහ උකස්කරුවන් කිහිප දෙනකුම සදහන් කළේ රටේ විවිධ ප්‍රදේශවල මෙම මිල ගණන් වලටත් වඩා ඉහළ අගයකට රන් පවුමක් මිල වන බවයි.

‘මේ තත්ත්වය ඇති වුණේ කොවිඩ් වසංගතය සමගයි. මේ වන විට ලෝක වෙළෙදපොලේ රත්‍රං අවුන්සයක මිල ඩොලර් 2000 දක්වා ඉහළ ගොස් තිබෙනවා‘ යැයි ප්‍රකට ස්වර්ණාභරණ අලෙවි සැල් ජාලයක කළමනාකරුවෙක් පැවසීය.

‘මේ තත්ත්වයෙන් ඇතැම් පුද්ගලයින් වාසි ගන්න බවක් පේනවා. ඊට හේතුව වන්නේ බොහෝ දේවල් සම්බන්ධයෙන් නියාමන ආයතන තිබුණත් රත්‍රං සම්බන්ධයෙන් එවැනි නියාමන ආයතනයක් නැහැ. ව්‍යාපාරිකයින් අතර ඇතිවන පොදු සම්මුතියක් තමයි තියෙන්නේ ‘ඔහු වැඩි දුරටත් පැවසීය.

දේශීය වශයෙන් රන් මිල ඉහළ යාමට බලපා ඇති ගෝලීය සාධක ගැන අප කළ විමසීමකට පිළිතුරු දෙමින් ජාතික මැණික් හා ස්වරණාභරණ අධිකාරියේ, රන් ප්‍රමාණ හා මැණික් පර්යේෂණාගාර උපදේශක ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා වත්මන් තත්ත්වය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

‘ලෝකයේ ප්‍රධාන රන් නිෂ්පාදකයින් වන්නේ කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු අප්‍රිකාවයි. ඔවුන් මේ වන විට සිය නිෂ්පාදන සීමා කිරීමක් කර තිබෙනවා. නමුත් රත්‍රං නිෂ්පාදනයේ සැලකිය යුතු ස්ථානයකට කිර්කිස්ථානය, ටජිකිස්ථානය, කසකස්ථානය, උස්බෙකිස්ථානය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් හිමිකම් කියනවා.

උස්බෙකිස්ථානයේ තමයි ලෝකයේ විශාලතම open pit gold mine එක තියෙන්නේ. ඊට අමතරව කසකස්ථානයත් ලෝක වෙළෙඳපොළට විශාල රන් ප්‍රමාණයක් අවුරුදු පතා එකතු කරනවා. ඒත් මේ රටවල රත්‍රං වෙළෙදපොළ සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ චීන ජාතික ව්‍යාපාරිකයින්. කොඩිව් වසංගතය නිසා මේ දවස්වල චීනයේ රතුං වෙළෙදපොළ අකර්මණ්‍ය වෙලා තියෙන නිසා ලෝක වෙළෙඳපොළෙහි රන් මිලෙහිත් විශාල වැඩිවීමක් වෙලා තියෙනවා. එය අපි වගේ කුඩා රටකටත් ඉතා තදින් දැනෙනවා.

ඒ වගේම තමයි සිංගප්පූරුවේ සහ ඩුබායි සිට මෙරටට ගුවන් මගින් පැමිණෙන මඟීන් හරහා සැලකිය යුතු රත්‍රං ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළට එනවා. නමුත් කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගුවන්ගමන් සීමා වීම තුළ මෙරටට එයාකාරයෙන් ඇදී එන රන් ප්‍රමාණය ඇණහිට තිබෙනවා. මේ හේතුවත් එක්තරා විදියකට රන් මිල වැඩිවීමට බලපාලා තිබෙනවා‘ ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ගෝලීය කරුණුවල බලපෑමට අමතරව දේශීය වශයෙන් ද තවත් බලපෑම් කිහිපයක් රන් මිල ඉහළයාමට හේතු වූ බව සදහන් කරමින් ආචාර්ය ප්‍රශාන් ෆ්‍රැන්සිස් මහතා පැවසුවේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික බැංකු, පුද්ගලික බැංකු හා උකස් මධ්‍යස්ථාන ආශ්‍රිතව සිදුකෙරෙන රන් වෙන්දේසි අකර්මණ්‍ය වීම ද රන් මිල විශාල වශයෙන් ඉහළ යාමට හේතු වූ බවයි.

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts