දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව අගමැති මහින්දට

Spread the love

සිරකරු  සුභසාධක දිනය වෙනුවෙන් නිකුත් කරන සමරු කොඩිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පැළඳවීම අද (15) දින අරලියගහ මන්දිරයේදී සිදු විය.

ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ සිරකරු  සුභ සාධක සංගමයේ  හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඒ.ඩී. සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සමරු කොඩිය පැළඳුවේය.

කොඩි අලෙවි කිරීමෙන් ලැබෙන මුදල් සෘජුවම සිරකරු සුභ සාධනය වෙනුවෙන් වැය කිරීමට නියමිතය.

ජාතික පුවත්පතක පළ වූ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ දරුවන් 46 දෙනෙකු සමඟ සිරගතව සිටින මව්වරුන් පිළිබඳ වාර්තාව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  මෙම හමුවේදී අග්‍රාමාත්‍යවරයා වෙත භාර දුන්නාය.

එම වාර්තාවේ සඳහන් කරුණුවලට අදාළව දරුවන් සම්බන්ධයෙන් කළ හැකි විශේෂ වැඩසටහනක් සොයා බලන ලෙසත්,  ඔවුන්ට නිදහස ලබාදීමට හැකි නෛතික පසුබිම සොයා බලන්නැයි ද අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරියට උපදෙස් දුන්නේය.

අගමැතිවරයා මෙම හමුවට එක්ව සිටි බන්ධනාගාර හා පුනරුත්ථාපනයට අදාළ, විෂය භාර ප්‍රධානීන් සමඟ දැනට බන්ධනාගාර තුළ පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් ද සාකච්ඡාවක නිරත විය.

දැනට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේදී ඔවුන් නිසි ක්‍රමවේදයක් යටතේ වැඩබිම්වලට යොමු කිරීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා විෂය භාර අමාත්‍යවරියට උපදෙස් දුන්නේය.

ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ රැඳවියන් ගොවිපළ හා කර්මාන්තශාලාවලට යොමු කර, නිසි පුනරුත්ථාපන ක්‍රමවේදය සපිරූ යහපත් පුද්ගලයන් ලෙස  සමාජගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක්  අධිකරණ අමාත්‍යංශය සමඟ  ඉදිරියේදී සාකච්ඡා කොට සකස් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා  අවධාරණය කළේය.

මෙම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය පිළිබඳ රාජ්‍ය ඇමතිනී  සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක සිරකරු  සුභ සාධක සංගමයේ  හිටපු උප සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඒ.ඩී. සිරිසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහත්වරු ද එක්ව සිටියහ.

RSL

Related Posts