මාධ්‍යවේදීන්ට නැවත පහරදීමත්, එම ප්‍රහාරකයන් බේරී පලායාමත් රෙජිමයට එරෙහි චෝදනා පත්‍රයක් වෙයි – ආචාර්ය ජෙහාන් පෙරේරා

Spread the love

ආචාර්ය ජෙහාන් පෙරේරා විසිනි

මෙම වසර අවසාන වන විට හදිසි නීතිය ඉවත් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෑතකදී ප්‍රකාශ කළේය. පසුගිය දශක හතරෙන් වැඩිම කාලයක් මෙම රට පාලනය කොට ඇත්තේ හදිසි නීතිය යටතේය. එය ආරක්ෂක හමුදාවන්ට පුරවැසියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට සුවිශේෂ බලතල ලබා දෙන බැවින් කවර හෝ අන්තර් ක්‍රියාකාරීත්වයක දී ජනතාව අනාරක්ෂිත තත්වයකට පත් කරයි. ප්‍රජාතන්ත්‍රවාදයට මේ සහනය දෙනු ලබන්නේ ජාත්‍යන්තර පීඩනය හේතු කොට ගෙන විය හැකිය. මානව හිමිකම් පිළිබඳ ජාත්‍යනතර ප්‍රමිතීන් ඉටු කිරීමෙහි ලා ආණ්ඩුවේ අඩු ලුහුඬුකම් නිසා ආණ්ඩුව මත පැටවෙන පීඩනය ඉහළ යෑම දිගින් දිගටම සිදුවේ.

සංවර්ධනය වෙමින් පවත්නා සීමිත සංඛ්‍යාවකට දී තිබුණු ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය ශ්‍රී ලංකාවට තව දුරටත් ලබාදීම යුරෝපා සංගමය ඉකුත් වසරේ දී ප්‍රතික්ෂේප කළේ මේ හේතුව මතය. විශේෂයෙන්ම යුරෝපීය රටවල් කාලයක් තිස්සේම හදිසි නීතිය මුළුමනින්ම ඉවත් කර ගන්නා මෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට කියමින් සිටින්නේ ප්‍රධාන වශයෙන්ම මීට වසර දෙකකටත් පෙරාතුව යුද්ධය අවසන් වූ හෙයිනි. ආණ්ඩුව, එම කාලයේදී කිසිදු චෝදනාවක් නොමැතිව පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමට ආරක්ෂක හමුදාවන්ට පුළුල් බලතල ලබා දී තිබුණි. ඇතැම් හදිසි නීති ලිහිල් කළේය.  මෙම පියවර, ශ්‍රී ලංකාවට වෙළඳ තීරු බදු සහන ලබා දෙන්නේද යන්න පිළිබඳව යුරොඅපා සංගමය තුළ සිදුවෙමින් පැවති තීරණය ගැනීමේ ක්‍රියාවලිය සමග සමපාත වූයේය.

හදිසි නීතිවලින් සියයට 75 කටත් වඩා අහෝසි කොට ඇතැයි කියන තරම් දුරකට ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් ගොස් ඇතැත් ඒ මේ වෙනස සාක්ෂාත් නොවූ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් කියන්නකට වඩා බොහෝ විට ජාත්‍යන්තර ප්‍රජාවගේ සිත් ගැනීම උදෙසා කියන්නක් විය හැකිය. හදිසි නීති රෙගුලාසි මුළුමනින්ම ඉවත්කර ගැනීමක් ගැන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා කළ මෑත කාලීන ප්‍රකාශය, ආණ්ඩුව මෙම යථාර්ථය නිහඬව පිළිගැනීමක් පිළිබිඹු කරනු විය හැකිය. කැලඹිලි මඬලීම අරමුණු කොට ගෙනිමින් 1971 සිට මේ දක්වා අනුපිළිවෙළින් බලයට ආ සියලුම ආණ්ඩු හදිසි නීති රෙගුලාසි පවිච්ච්චි කොට තිබේ. එහෙත් වර්තමාන ආණ්ඩුව මැතිවරණ කාලවල පවා හදිසි නීති උපයෝගී කර ගැනීමට දිගටම ක්‍රියා කොට තිබෙන්නේ, පෙර පැවති ආණ්ඩු එසේ කිරීමෙන් වැළකී තිබිය දීය.

අවාසනාවකට මෙන්, ආණ්ඩුවේ මර්දනකාරී නීති අවි ගබඩාවෙහි ඇති එකම අවිය හිදිසි නීති පමණක් නොවේ. රට තුළ ත්‍රස්ත්වාදය පරිපූර්ණව පරාජය කොට තිබියදීත් එම දරදඬු නීතිය අවංගු කිරීම ගැන කිසිම ක්‍රියා මාර්ගයක් ගැනීමට තබා ඒ ගැන කතාබහ කිරීමක් පවා සිදුව නැති බැවින්, ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අඛණ්ඩව නිතී පොත්වල සුරැකී තිබෙනු ඇත්තේය. මෙම අලියා කාමරය තුළ සිටීම නොතකා, ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විසින් පොරොන්දු වන ලද හදිසි නීතිය අවලංගු කිරීම, ශ්‍රී ලංකාවේ පාලනයෙහි නව පරිච්ඡේදයක් විවෘත කිරීමට හැකියාව ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වනු ලබන්නේය. හදිසි නීතිය අහෝසි කිරීමෙන් අනතුරුව, සාමකාමී කාලයක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ තමන්ගේ නිසි කාර්ය ගැන යළි දැනුවත් කරන විශේෂ පුහුණුවක් ආරක්ෂක හමුදාවන්ට ලබා දීමේ අවශ්‍යතාවයක් සත්තකින්ම පවතින්නේය.

ප්‍රශ්නය වන්නේ ආණ්ඩුව තම ප්‍රකාශකයා විසින් දෙන ලද පොරොන්දුව කොතරම් බෑරෑරුම් ලෙස සහ අවංක ලෙස ගණන් ගන්නේ ද යන්නයි. ඉකුත් වසරේ දී ආණ්ඩුව හදිසි නීතිය ඉවත් කිරීමට යයි නිවේදනය කරන විට ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ප්‍රදානය කරන්නේද නැද්ද යන්න පිළිබඳව තම තීරණය යුරෝපා සංගමය විසින් ගනු ලැබීමට නියමිතව තිබූ අතර ඒ වන විටත් ඔවුන් එම තීරණය ගෙන තිබුණේ නැත. හදිසි නීතිය ලිහිල් කිරීම එම පීඩනයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පෙනී යයි. එහෙත් සාමාන්‍ය ජනතාව අතර කිසිදු වෙනසක් නොපෙනෙන තරම්ය. තමන්ට එරෙහි කවර විරෝධයක් සම්බන්ධයෙන් වුවද ආණ්ඩුව කටයුතු කරන සැක කටයුතු තත්ත්වයේ අඩු වීමක් නොමැතිව එක දිගටම පවතී. මීට සති කිහිපයකට පෙර නිදහස් වෙලඳ කලාපයේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය විරෝධතා දක්වමින් සිටි සේවකයන්ට පොලීසිය ජීව උණ්ඩවලින් වෙඩි තැබීමෙන් මැඩ පවත්වන ලද ආකාරය පිළිගත නොහැකිය. යුද අපරාධ පිළිබඳ ප්‍රශ්නය සහ එක්සත් රාජධානියේ චැනල් 4 රූපවාහිනි යුද්ධයේ අවසාන දිනවලදී රූගත කරන ලද බව කියන බියකරු දර්ශනවලට දෙනු ලබමින් සිටින නිර්දය නිරාවරණය හේතු කොට ගෙන මේ මොහොතෙහි ආණ්ඩුව සිටින්නේ දැඩි පීඩනයක් යටතේය. හදිසි නීතිය අවසන් කිරීමේ ශක්‍යතාවයක් ගැන ආණ්ඩුවේ නිවේදනය, යාපනයෙහි ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකුට තිරිසන් ප්‍රහාරය එල්ල කරනු ලැබීමෙන් දින කිහිපයකට පසුව ප්‍රකාශයට පත්වීම ද උත්ප්‍රාසයක් වන්නේය.

උදයන් පුවත්පතෙහි ප්‍රවෘත්ති කර්තෘ ඥානසුන්දරම් කුගනාදන් මහතාට යකඩ පොලුවලින් පහර දීම නිසා, ඔහු හිසෙහි තුවාල සහිතව අසාධ්‍ය තත්වයකින් දැන් පසුවන්නේ යාපනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේය. තුවාලකරු මෙයට පෙර, උදයන් කාර්යාලයට 2006 මැයි මාසයේදී කඩා වැදුනු ඝාතකින් විසින් ද ඉලක්ක කොට ගෙන තිබුණේය. නම කියා ම ඔහු ඉල්ලා සිටි ඝාතකයෝ ඔහු සොයා ගැනීමට අපොහොසත් වූයෙන් කාර්ය මණ්ඩලයේ වෙනත් සාමාජිකයන් දෙදෙනකු මරා දැමූහ. යාපනයේ ආරක්ෂක තත්ත්වය වඩා යහපත් අතට වර්ධනය වී ඇතැයි ද, දඬුවම් නොලබා වරදකරුවන් නිදැල්ලේ හැසිරීමේ මුක්තිය තවදුරත් රජයන්නේ නැතැයිද, එබැවින් අතීතයට සාපේක්ෂව සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වනු ඇතැයි ද යන විශ්වාසයෙන් උදයන් කාර්යාලයෙන් බැහැරක පදිංචිය ඇරඹීමට ඔහු කටයුතු කළේ මෑතකදී ය. එහෙත් ඔහු වටහාගෙන තිබුණේ වැරදියටය. එසේම ඔහුට එල්ල වූ ප්‍රහාරය සියලුම මාධ්‍යවේදීන්ට සිහිපත් කර දෙනු ඇත්තේ ඔවුන් බලයේ සිටින්නවුන් ගේ අවිඥානික සීමාව ඉක්මවා ගියහොත් සහ අතීශය උදහසට පාත්‍ර වුවහොත් ඔවුන්ගේ ඉරණම කුමක් විය හැකිද යන්නයි.

මාධ්‍යවේදියකුට නැවත වරක් පහර දීමත්, එම ප්‍රහාරකයන් බේරී පලායෑමත් සිදුවී ඇත්තේ හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ඉතාමත් නියෝජනයක් පවතින යාපනයේ ප්‍රධාන මාර්ගයක හමුදා ආරක්ෂක මුරපොළකට සමීප ප්‍රදේශයකදීය. මෙය 2009 වසරේදී කොළඹ ප්‍රධාන මාර්ගයක හමුදා සෝදිසි මුරපොළක් අසල දී සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරනු ලැබීමෙත්, 2010 වසරේදී ලංකා ඊ නිව්ස් කාර්යාලය ගිනිබත් කරනු ලැබීමේත්, අතීත සිදුවීම මතකයට ගෙන එයි. මෙම ප්‍රහාරකයන් අත් අඩංගුවට ගැනීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අපොහොසත්වීම, හදිසි නීති බලතල වලින් සන්නද්ධ එහෙත් තවමත් පුරවැසියන් විශේෂයෙන්ම ජනමාධ්‍යකරුවන් සහ ආණ්ඩුව කෙරෙහි විවේචනාත්මක අදහස් දක්වන්නවුන් ආරක්ෂා කිරීමට අසමත්, නීතිය ක්‍රියාත්මක කරන (පාලනයට.) රෙජිමයට එරෙහි චෝදනා පත්‍රයක් වෙයි.

මාධ්‍යවේදීන්ට සිදුකළ ප්‍රහාරයන් කිහිපයෙහි විශේෂයෙන්ම හෙළා දැකිය යුතු කරුණ වන්නේ එම ප්‍රහාරකයන් ඔවුන් විසින් කරන ලද අපරාධයට දඬුවම් නොලැබ නිදහසේ සිටීමට ලද මුක්තියයි. මෙම මුක්තියේ ප්‍රධාන ගති ලක්ෂණ වන්නේ නිහැඬියාවේ සංකේත සංග්‍රහය, පරීක්ෂණවල (ව්‍යාජ.) බාහිර පෙනුම සහ සැකකරුවන්ට නඩු පැවරීමට අපොහොසත්වීමය. මාධ්‍යකරුවන් ඝාතනය කිරීම හෝ මාධ්‍ය ආයතනවලට ප්‍රහාර එල්ල කිරීම කිසිවක් විසඳනු ලැබ නැත. මෙය මාධ්‍යකරුවන් තුළ පමණක් නොව සමාජයේ වඩාත් විශාල කොටසක් තුළ ද නීතිමය වටපිටාවකටත් ස්වයං වාරණයකටත් මග පාදා තිබේ. මෙය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කරන ලද මූලික නිදහස පවතින, ආණ්ඩුව විසින් ආරක්ෂා කරනු ලබන, ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරනු පිණිස මාධ්‍යවේදීන් සුරැකීමට ක්ෂණික සහ සැකයෙන් තොරව ඒත්තු ගැන්වෙන පියවර ගැනීම වගකීමක් ලෙසින්ම ආණ්ඩුව මත පැවරෙන්නේ එබැවිනි.

හදිසි නීති ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවා තිබීම ද හුදෙක් ඒවා විසින්ම නීතිය උල්ලංඝනය කරන ක්‍රියා සිදුවීම වළක්වනු ලබන්නට හේතු නොවන්නේ ය. අවශ්‍ය වන්නේ පොලීසිය සහ ආරක්ෂක හමුදාවන්ට තමන්ගේ රාජකාරී නිසි ලෙස කරන්නට අවකාශය සැලසීමත් දේශපාලන ඇඟිලි ගැසීම්වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් ක්‍රියාකාරීත්වයෙන් හා කාර්යක්ෂමතාවයෙන් පිරිහුණු ආබාධිතයන් බවට පත් නොකිරීමත්ය. මානව හිමිකම් ආරක්ෂා කිරීමෙහි සහ යහ පාලනයෙහි අපොහොසත්වීම නිසා, ජාත්‍යන්තර ප්‍රජාව සහ රට තුළ විපක්ෂයේ පක්ෂ තමන් කෙරෙහි විවේචනාත්මක වීම නවතා ගැනීම සඳහා ඔවුන්ට ඒ බව ඒත්තු ගන්වන්නට ආණ්ඩුව කැමැත්තේ නම්, සංවරණ සහ තුලන පද්ධතියක් ආයතනික අවංකත්වයත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය වෙයි. සෘජු ගුණයෙන් සහ අවංකත්වයෙන් තොර ආයතනවලට තමන්ගේ රාජකාරිය ඉටු කළ නොහැකිය.

මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල වන විට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ අපොහොසත් වීම ආණ්ඩුවේ පාලනමය අසාර්ථකත්වයේ සාක්ෂියකි. නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්හි ස්වාධීනත්වය සහ අවංකත්වය වැඩි දියුණු කිරීමෙන් තොරව හුදෙක් හදිසි නීති අහෝසි කිරීමෙන් පමණක් ජාත්‍යන්තර ප්‍රජාව සහ මානව හිමිකම් සුරැකීමේ ක්‍රියාකාරීන් ආණ්ඩුවෙන් අපේක්ෂා කරන සාධානීය වෙන්සකම්වලට මග පෑදීමක් සිදු නොවනු ඇත. මෙවැනි උද්‍යෝගයෙන් තොර ක්‍රියා, යහ පාලනයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නක් ලෙස තම ප්‍රතිරූපය ආණ්ඩුවට ක්‍රියාත්මක කරන්නට වඩාත් අවංක විකල්පයක් ද ඇති නමුත් එහිදී ආණ්ඩුව මේ දක්වාම ස්වකීය කැමැත්ත පෙන්නුම් කොට තිබෙන කරුණකි.

2001 දී සම්මත කොට ගත් 17 වන ව්‍යවස්ථා සංශෝධනය, යහ පාලනය ගැන වගබලා ගත යුතු රාජ්‍ය යන්ත්‍රයේ බලගතු තනතුරුවලට පත් කිරීමේ බලය මිශ්‍ර පක්ෂවලින් සමන්විත ව්‍යවස්ථා සභාවක් වෙත පවරා දෙන ලද්දේ සංවරණ හා තුලන ක්‍රමයක් සහතික කිරීමේ පරිශ්‍රමයක් ලෙසිනි. කෙසේ වෙතත් මෙම ප්‍රසංගාත්මක ව්‍යවස්ථා නීති සම්පාදනය 2010 දී 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් නිෂ්ප්‍රභ කෙරුණි.

මින්, අග විනිසුරු, මැතිවරණ කොමිසමේ, රාජ්‍ය සේවා කොමිසමේ සහ ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරුන් අතුළු සෙසු වැදගත් නිලධාරීන් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා අතට පවරා දී තිබේ. එය ජනාධිපති ධූරය තුළ වැඩි දුරටත් බලය සංකේන්ද්‍රගත කළේය. තමන් යහ පාලනයක් කරා ගමන් ගැනීමේ නව මාවතක් සනිටුහන් කරන්නට අවංකවම උනන්දු වන්නේය යයි ලෝකයට ඒත්තු ගන්වන්නට ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ නම්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 18 වන සංශෝධනය මගින් තමන් 17 වන සංශෝධනය බල රහිත සහ ශුන්‍ය බවට පත් කිරීම පිළිබඳව ආණ්ඩුව නැවත බැලීම අවශ්‍ය වන්නේය.

RSL

Related Posts