ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි ‘වෝල්ටර් ජයවර්ධන’ නික්ම යයි !

Spread the love

ගුරුවෘත්තියේ යෙදී සිටි කාලයේ සිටම ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ඔහු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් 1987දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පා එ.ජා.ප දේශපාලයෙන් ඉවත් විය. එහෙත් ඔහු සිංහලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ඊළාම්වාදීන්ගේ දැඩි විරෝධයන් මධ්‍යයේ ය.

දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යවේදියෙකු වශයෙන් කටයුතු කොට පසුව එක්සත් ජනපදයට  සංක්‍රමණය වූ මාධ්‍යවේදීවෝල්ටර් ජයවර්ධන මහතා (78) ඉකුත් දා ලොස් ඇන්ජලීස් නගරයේදී අභාවප්‍රාප්ත විය.

ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම මඟින් පළකළ ‘ලංකාදීප‘  පත්‍රයට සොරණාතොට ප්‍රදේශීය  වාර්තාකරු  වශයෙන් එක්වූ ඒ මහතා පසුව එහි මාණ්ඩලික වාර්තාකරුවකු සහ ප්‍රවෘත්ති  කතෘ  තනතුර ද දැරීය.  එයට අමතර ව වෝල්ටර් ජයවර්ධන මහතා ඒෂියා වීක් සඟරාවේ කොළඹ වාර්තාකරු වශයෙන් ද කටයුතු කළේය.

1942 මැයි මස 22වන දින බදුල්ලේ සොරණාතොටදී උපත ලැබූ ඔහු වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ඉංග්‍රීසි  පුහුණු ගුරුවරයතු වශයෙනි. එම කාලය තුළ ලංකාදීප සොරණාතොට වාර්තාකරු ලෙස ද කටයුතු කළ ඔහුට දේශපාලන පළිගැනීම් හේතුවෙන් වරින් වර පාසල් 13කට මාරුවීම් ලැබුණි.  ඉන් කලකිරීමට පත් ඒ මහතා ගුරුවෘත්තියෙන් ඉල්ලා අස්වී “ ලංකාදීප පුවත්පතේ මාණ්ඩලික වාර්තාකරුවකු ලෙස මාධ්‍ය ජීවිතය ඇරඹීය. ඒ අතර ඔහුට ඇමෙරිකානු රජයේ ජෙෆසන් ශිෂ්‍යත්වය හිමිවී EAST WEST SENTER හි වසරක කාලයක් මාධ්‍ය පුහුණුව ලබාගැනීමට අවස්ථාව උදා විය.

ලංකාදීප පුවත්පත මූල්‍ය අර්බුදයක් හේතුවෙන් වසාදැමීමට යන අවස්ථාවේදී වෝල්ටර් සිය බිරිඳ වන හෙඳ නිළධාරියක වූ ලක්ෂ්මි සමඟ 1982දී  එක්සත් ජනපදයට ගොස් ලොස් ඇන්ජලීස් නුවර පදිංචි විය.

වෝල්ටර් ජයවර්ධන මහතා ඇමෙරිකාවේ කොටි විරෝධී උද්ඝෝෂණයක

මේවන විට දෙමළ ඊළම්වාදීන් ඇමෙරිකාවේ සිට ශ්‍රී ලංකාවට එරෙහිව දැවැන්ත ප්‍රහාර අරඹා තිබුණි. ඒවාට පිළිතුරුදීමට ශ්‍රී ලංකා තනාපති කාර්යාලය හෝ කොන්සල් ජනරාල් කාර්යාලය පියවර ගෙන තිබුණේ නැත. වෝල්ටර් 1983දී “සිංහල ආරක්ෂක සංවිධානය‘ නමින් සංවිධානයක් පිහිටුවා ඊළාම් ප්‍රචාරවලට පිළිතුරුදීම ඇරඹීය. ලොස් ඇන්ජලීස් නුවර විසූ  ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ඔහු හා එක්විය. ඔවුන් විසින් ඊළාම් ප්‍රචාරයට එරෙහිව පිකටින්, පෙලපාලි හා රැස්වීම් පැවැත්වූ අතර ඒවායේ පෙරමුණ ගත්තේ වෝල්ටර් ය.

ගුරුවෘත්තියේ යෙදී සිටි කාලයේ සිටම ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වූ ඔහු ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් 1987දී ඉන්දු- ලංකා ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පා එ.ජා.ප දේශපාලයෙන් ඉවත් විය. එහෙත් ඔහු සිංහලයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියේ දෙමළ ඊළාම්වාදීන්ගේ දැඩි විරෝධයන් මධ්‍යයේ ය.

මහින්ද රාජපක්ෂ මහතා 2005දී ශ්‍රී ලංකාවේ ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු වෝල්ටර් ජයවර්ධන මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (මධ්‍ය) වශයෙන් පත්කළ අතර ඔහු එම තනතුර දරමින් එංගලන්තයේ දෙමළ ඊළාම් ප්‍රචාරවලට පිළිතුරු දුන්නේ ය. පසුව 2010දී යළි ලොස් ඇන්ජලීස් නුවරට ගිය හෙතෙම සිංහල ආරක්ෂක සංගමය ඇතුළු සංවිධාන ගණනාවක ක්‍රියාකාරීව කටයුතු කළේය.

2020 මැයි 3වැනි දින අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ අවසන් කටයුතු  මැයි 9දා ලොස් ඇන්ජලීස්හිදී සරත්චන්ද්‍ර බෞද්ධ මධ්‍යස්ථානයේ මෙහෙයැවීමෙන් සිදුකෙරුණි.

කොරෝනා වසංගතය හේතුවෙන් ඔහුගේ අවමංගල උත්සවය ෆේස්බුක් මඟින් විකාශනය කළ අතර බොහෝ දෙනා නිවෙස්වල සිට ඔහුගේ දේහයට අවසන් බුහුමන් දැක්වූ බව ලොස් ඇන්ජලීස්හි වෙසෙන මාධ්‍යවේදිනියක වන හසීනා ලීලාරත්ත මහත්මිය ඇයගේ ශ්‍රී ලංකා එක්ස්ෆස් වෙබ් අඩවියේ පළ කර තිබුණි.

දයා ලංකාපුර

RSL

Related Posts