ජනපති කටුවන ප්‍රාදේශීය සභාවේ නිරීක්ෂණයක

Spread the love

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (06) පස්වරුවේ කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළේය.

කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩු පාඩු නිසා සභාවේ දෛනික සේවා මිද්දෙනිය නගරයේ උප කාර්යාල ගොඩනැගිල්ලේ සිට පවත්වාගෙන යනු ලැබේ.

ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම නිසා සභාව රැස්වීමේ දී සහ සේවා සැපයීමේ දී  උද්ගතව ඇති ගැටළු අධීක්ෂණය කළ ජනාධිපතිතුමා නව ගොඩනැගිල්ලක් ඉදිකර දීමට එකඟතාවය පළ කළේය.

මිද්දෙනිය වැව අසළ ඉදිකෙරුණු “රණවිරු උයන” ළමා ක්‍රීඩාංගණය සහ ශරීර සුවතා මංතීරුව ජනතා අයිතියට පත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ. පූජ්‍ය මුරුංගාගස්යායේ ඤාණීස්සර නා හිමි පදනම ඊට අනුග්‍රහකත්වය දක්වා තිබේ. 

මිද්දෙනිය ප්‍රදේශයේ පානීය ජල ගැටළුවට සහ රෝහලේ වෛද්‍ය හිඟයට කඩිනම් විසඳුම් දෙන ලෙසත්, මිද්දෙනිය මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කරන ලෙසත් අදාළ අමාත්‍යවරුන්ට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ මිද්දෙනිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීන් ගමාච්චි යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

RSL

Related Posts