ජනපතිවරණ පරාජයෙන් පසු ට්‍රම්ප්ට පිස්සු වැහිලා ද ?

Spread the love

ජනාධිපතිවරණයක ප්‍රතිඵල කියන්නේ මුළු රටක් ඉමහත් අවධානයෙන් බලාසිටින දෙයක්. එසේ නම් එහි ප්‍රතිඵල නිකුත් වන විට ජනපතිවරණයට ඉදිරිපත් වුණ අපේක්ෂකයින්ගේ මනෝභාවය ගැන හිතා ගන්න පුළුවන්.

ඒත් ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට පාළු පොල්වත්තක හොදහැටි නිදාගත්ත ජනාධිපති අපේක්ෂකයොත් ඉන්නවා. ඒ අපි කවුරුත් දන්න 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කර මේ වන පො.දි.ප.ම ලෙස සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන.

මෛත්‍රීපාල සිරිසේන වගේම මැතිවරණ ප්‍රතිඵල නිකුත් වන විට ඒ ගැන වගේ වගක් නැතිව තමන්ගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියට වී ගොල්ෆ් ගසමින් සිටි ජනාධිපති අපේක්ෂකයෙක් ගැන ජාත්‍යන්තර මාධ්‍ය පසුගිය නොවැම්බර් 6 වැනිදා වාර්තා කළා. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්.

ට්‍රම්ප් වර්ජීනියා වේ පිහිටි සිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරමින් සිටින විට තමයි ජෝ බිඩන්ගේ ජයග්‍රහණය ගැන නිල නිවේදනය නිකුත් වුණේ.

ඒ කොහොම වුණත් මේ දක්වා ඩොනල්ඩ් ට්‍රම්ප් තම පරාජය පිළිගෙන නැහැ. ඒ වෙනුවට වහසි බස් දොඩමින්, සාවද්‍ය, පදනම් විරහිත ප්‍රකාශ කරමින් දවසේ වැඩි කාලයක් ට්වීටර් ගසමින් ගත කරන ට්‍රම්ප් ගේ වත්මන් දින චරියාව ගැන මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය දැඩි අවධානයක් යොමු කරමින් සිටිනවා. ඒවා උණුසුම් පුවත් ලෙස වාර්තා කරනවා.

Donald Trump's golf courses: Photos of his 15 courses around the world -  Business Insider

ඇමෙරිකාවේ ජනාධිපතිවරයාගේ ධුර කාලය හරියටම වසර 04යි. ඒ කියන්නේ දවස්වලින් නම් 1460යි. ජනාධිපතිවරණය තිබුණේ පසුගිය නොවැම්බර් 04වැනිදා නිසාත් 2021 ජනවාරි 20 දා ජයග්‍රාහකයාට බලය හුමවාරු කළ යුතු නිසාත් මේ දවස් 1460න් දවස් 76ක් පමණ ඉවත් කළ යුතුයි. එකොට ට්‍රම්ප් රාජකාරී කළ දින ගණන 1384ක් පමණ වෙනවා.

ඒත් අද (18) ඇමෙරිකානු මාධ්‍ය උණුසුම් පුවතක් වාර්තා කළා. ඒ තමයි ට්‍රම්ප් ජනාධිපති ධුරයේ සිටි පසුගිය වසර 04ට ආසන්න කාලය තුළ දින 283ක් ගොල්ෆ් ක්‍රීඩා කර ඇති බව !

ඇමෙරිකාව ලෝකෙට ලොක්කා කරන්න හදපු ට්‍රම්ප් රාජකාරී කළ හැටි අපූරුයි නේද ?

ඇත්ත කතාව තමයි ලංකාවේ ජනාධිපතිවරු වුණත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා කළ යුතු වැඩ කරමින්, නිලධාරීන්ගේ සංඛ්‍යා ලේඛන අසමින්, සාකච්ඡා කරමින් ගත කරන කාලය නිවැරදිව ගණනය කළොත් ට්‍රප්ම් අත උඩින් පරාද වීම.

හිතූ මතේ බොරු කියන්න බැහැ

ලංකාවේ දේශපාලනඥයින්ට, නිලධාරීන්ට පමණක් නොවෙයි ආචාර්ය – මහාචාර්යවරුන්ට හිතුණ හිතුණ බොරුවක්, පසුබිමක් නැති කතාවක් කියන්න පුළුවන්. ජනමාධ්‍ය සහ සමාජමාධ්‍ය ඒවාට කිසිම වාරණයකින් හෝ ප්‍රශ්න කිරීමකින් තොරව අසීමිත ඉඩක් දෙනවා. කොටින්ම ඇතැම් ජනමාධ්‍ය, විශේෂ රූපවාහිනී නාළිකා සහ වෙබ් අඩවි ඒ වෙනුවෙනම ඇපකැප වෙලා ඉන්නවා වාගේ පේනවා.

ඒත් ඇමෙරිකාවේ වත්මන් තත්ත්වය ඊට සපුරා වෙනස් මානයක් කරා ගමන් කරමින් සිටිනවා. පසුගිය ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් කළ එවැනි පිළිගත නොහැකි, කරුණු මත පදනම් වූ ප්‍රකාශ ප්‍රධාන ධාරාවේ සියලුම මාධ්‍ය විසින් ප්‍රශ්න කළා පමණක් නොව ‘තහවුරු නොවූ කරුණු මත පදනම් වී ඇත‘ යනුවෙන් විශේෂ සදහනක් ද කළා.

මේ තත්ත්වය තුළ ට්‍රම්ප් තවමත් තමන්ගේ සාවද්‍ය සහ ද්වේෂසහගත ප්‍රචාර සදහා ට්වීටර් ගිනුම යොදා ගන්නා නිසා ට්වීටර් සමාගම ද ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවුඩ සදහා ‘නිල තොරතුරු හා ගැටෙන සාවද්‍ය‘ යන ටැග් එක යෙදීම සිදුකරනවා.

පළිගැනීම්

බොහෝ පාලකයින් මෙන් ට්‍රම්ප් ද පළිගැනීම් උපරිමයෙන් සිදුකරමින් සිටිනවා. ඒ අනුව ජනාධිපතිවරණය අවසන් වූ දාම ඔහු තමන්ගේ ආරක්ෂක ලේකම්වරයා ධුරයෙන් ඉවත් කළා. ඊට පසුව තවත් පළිගැනීම් රැසක් කළ ට්‍රම්ප් දැන් සී.අයි.ඒ අධ්‍යක්ෂවරයා සහ එෆ්බීඅයි ප්‍රධානියා නෙරපා හරින බවට තර්ජනය කරමින් සිටිනවා.

කොරහත් බිද ගෙන යයිද ?

‘යන යකා කොරහත් බිද ගෙන යනවා‘ කියලා අපි කියනවා වාගේ ට්‍රම්ප් බලයෙන් සමුගැනීමට (?) පෙර මතභේදාත්මක තීන්දු රැසක් ක්‍රියාත්මක කිරීමට වළිකන බව ජාත්‍යන්තර මාධ්‍ය කියනවා. ඒ අතර ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත්කර ගැනීම, වගේම ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට පහරදීමට සැලසුමක් ගැන පෙන්ටගනය ඉගිපළ කර තිබෙනවා.

මේ කුමන තත්ත්වයක් යටතේ හෝ අනපේක්ෂිත දෙයක් සිදු නොවුණහොත් ලබන ජනවාරී 20 වැනිදා බිඩෙන් මහතාට බලය පවරාදීමට ට්‍රම්පට සිදු වෙනවා. ඊට පසුව ට්‍රප්ම් කුමක් කරනු ඇද්ද ? යන්න ගැන දැනටමත් ජාත්‍යන්තර මාධ්‍ය ඉගි පළ කරනවා.

ඒ අතර ඇතැම් මාධ්‍ය කියන්නේ ට්‍රම්ප්ගේ ආදරණීය බිරිද ඔහුගෙන් දික්කසාද වීමට ද ඉඩ ඇති බවයි.

සටහන – තීක්ෂණ වෙළෙන්එගොඩ

RSL

Related Posts