ගොවියගෙන් රුපියල් 40ට ගන්න එළවළු 260 වෙන්නේ මෙන්න මෙහෙමලු

Spread the love

අපි නැතිනම් සහෝදරයාට සිද්ධ වෙන්නේ මාතලේට ගිහින් රුපියල් 40ට එළවළු ගන්න. කොහොමද එහෙම වුණොත් ආතල් එක‘ ඔහු මහ හඩින් සිනාසී සරදම් ස්වරයෙන් අසයි.

නිෂ්පාදකයාගේ සහ පාරිභෝගිකයාගේ පොදු හතුරා ‘ව්‍යාපාරිකයා‘ ද ?‘ මේ කතාව ඇහුවේත් ව්‍යාපාරිකයෙක්. කරන්නේ එළවළු ව්‍යාපාරය. කොළඹ මැනිං මාර්කට් එකෙන් තමයි ඔහු එළවළු මිලදී ගන්නේ. ඒවා අවට ප්‍රදේශයේ පොළවල්වල තමයි අලෙවි කරන්නේ.

මේකේ වැදගත් කතාව තමයි ඔහු සැලකිය යුතු ධනවතෙක්. එළවළු ප්‍රවාහන කරන ලොරිය වගේම තවත් වාහන කිහිපයකුත් සැලකිය යුතු සිල්ලර බඩු කඩයකුත් ඔහු සතුයි.

ඔහු මේ සියල්ල උපයා ගත්තේ අවුරුදු 20ක් විතර අපමණ වෙහෙසී කළ එළවළු වෙළෙදාමෙන්. ඔහු හැමදාම උදේ පන්දර 03ට පමණ අවධි වෙනවා. මහ වැස්සේ වුණත් කොළඹ මැනිං මාර්කට් එකට යනවා. නිදා ගන්න කොටත් රෑ 11-12 වෙනවා.

‘මේක නීරස ජීවිතයක්. පුද්ගලික ජීවිතයක් කියලා එකක් නැහැ‘ ඔහු මැසිවිලි ස්වරයෙන් කියනවා.

‘ඒත් ඉතිං සල්ලි වහිනවානේ‘ මම කියනවා.

ඔහු මා දෙස බලන්නේ කෝපය මුසු බැල්මකින්.

‘හැමෝම හිතන්නෙ එහෙම. ඒත් ඇත්ත කතාව ඒක නෙමෙයි. මම උදේ තුනට ඇහැරෙන්නේ. මගේ වයිෆ් ඒ වෙලාවට ඇහැරෙනවා. ඊට පස්සේ මහ පාන්දර ලොරිය අරං ගෝලයොත් එක්ක කොළඹ යනවා. මැනිං මාර්කට් එකේ කට්ට කනවා. ඊට පස්සේ කෙලින්ම පොළට. ගිහිගහන අවුවේ, නාකපන වැස්සේ දූවිලි කකා බඩු විකුණනවා. ඒක මාර යුද්ධයක් වාගේ. කන්න බොන්න තියා ඔළුව උස්සන්නවත් වේලාවක් නැහැ. මම, මගේ ගෝලයෝ සේරම යක්කු වාගේ වැඩ‘

ඔහු තමන් විදින දුක සහ කන කට්ට ගැන කියනවා.

‘ඒත් ඉතිං ගාන කපනවානේ‘ මම යළිත් උපහසයෙන් කියනවා.

ඔහු මෙවර මා දිහා බලන්න කන්න වාගේ.

‘උඹලා හිතන්නේ එහෙම තමා. උඹලා විතරක් නෙමෙයි නිලධාරීන් කියන නිකම්මු හිතන්නෙත් එහෙමයි. ඊටත් එහා දේශපාලකයෝ උන් හිතාගෙන ඉන්නේ අපි තමයි ගොවියගේ ඊරිමාංසේ උරාගෙන බොන්නේ කියලා‘

ඔහු ඒ සමග මුහුණු පොත හරහා හුවමාරු වන පෝස්ට් එකක් පෙන්වනවා.

දඹුල්ල එළවළු තොග ගොඩ ගැසීම – ආණ්ඩුවේ ව්‍යාපාරික ගජ මිතුරන්ගේ ‘ව්‍යාපාරික උගුලක්‘  රු. 40ට දඹුල්ල, කැප්පෙටිපොල, බණ්ඩාරවෙල, නුවරඑළිය එළවළු කොළඹ රු. 260 ට විකුණනවා – මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න

නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල වගාබිම්වල කුණුවෙන එළවළු ‘බිස්නස් මාෆියාවෙන්‘ මුදවා බස්නාහිර දිළිදු මිනිසුන්ගේ අතට ලැබෙන ක්‍රමයක් සැකසිය යුතුයි    – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

‘මේ අද (10) උදේ මට මගේ යාළුවෙක් එවපු පෝස්ට් දෙකක්. මුන් දෙන්නම සජිත්ට කඩේ යන වුන්. මාතලේ ගෑනි හිතන්නේ ඡන්ද ගැන, අනිකා ගැන මම ඒ තරම් දන්නේ නැහැ. ඒත් මුං මේ කියන බයිලා ගැන නම් මම දන්නවා‘

ඔහු කෝපය මුසු සරදම් හඩකින් කියනවා.

‘ඉතිං ඒ කතා බොරු නෙයෙිනේ. දඹුල්ලෙන් රුපියල් 40ට ගන්න එළවළු කිලෝ එකක් කොළඹදී රුපියල් 260ට විකුණන එක මාෆියාවක් නේද ?‘

සටන අතහැරීමට අකමැති මම ද යළි ප්‍රශ්න කරනවා

‘සහෝදරයා ඕකට තමයි ‘දේශපාලන මාෆියාව‘ කියලා කියන්න වෙන්නේ. එකක් තමයි ඔය කියන ගණන්වලට විකුණනන් පුළුවන් වෙන්නේ එළවළු වර්ග කිහිපයක් විතරයි. කැරට්, බෝංචි, ලීක්ස් වාගේ කිහිපයක් විතරයි. ඒත් ඇත්තම කතාව නම් ඔය දේශපාලනඥයින්ට කඩේ යන වුන් කියන්නේ බොරු බලයිලා. එළවළු වාගේ දේවල්වල මිල හැමදාම ස්ථාවර එකක ගාණක නැහැ. සමහරදාට හිතන්න බැරි තරම් මිල අඩු වෙනවා. අස්වැන්න වැඩි දවස්වලට, මැනිං මාර්කට් එකට වැඩියෙන් බඩු ආපු දාට ගාණ අඩු වෙනවා. එදාට අපිත් දෙන්නේ අඩුවෙන්‘

ඔහු කතාව නතර කර මා දෙස බලනවා.

‘ඒකත් අමතක කරමුකෝ. ඔය 40ට ගන්න එක 260ට වෙන්නේ කොහොමද කියලා ඔයා හිතලා තියෙනවාද ? දන්නවාද ? නැහැනේ. එකක් තමයි අපි කරන්නේ බිස්නස් එකක්. හන්දියේ ප්‍රයිවට් ප්‍රැක්ටික්ස් කරන දොස්තර, කොත්තු කඩේ මුදලාලි, කොන්ඩේ කපන එකා, ත්‍රීවිල්කාරයා, ටියුෂන් සර් ඒ හැම දෙනාම කරන්නේ බිස්නස්. ඒත් කවුරුත් දොස්තරගේ චැනල් ගාස්තුව, ටියුෂන් ගුරුවරයාගේ ගාස්තුව, කොත්තුවේ ගාණ ගැන බයිලා ගහනවාද ? ඒක හැදෙන තාලේ අහනවාද ? නැහැනේ‘

ඔහු දැඩි ස්වරයෙන් විමසනවා.

‘ආප්පේ රුපියල් 10යි -12යි. බිත්තරේ රුපියල් 15යි. එකතුව 27යි. ඒත් බිත්තර ආප්පේ කීය ද ? 40යි. කොත්තුව, ප්‍රයිඩ් රයිස් එක ඒ හැම එකක් එකයි. ඒත් අපිට කෙළින්න හදනවා ගණන් පෙන්න පෙන්න‘ ඔහුගේ හඩ ආවේගශීලී වෙයි.

‘මම ඔයාට ගණන් හදලා පෙන්නනම්. එක අපේ කාලය හා ශ්‍රමය. මම උදේ 3 ඉදන් රෑ 11 විතර වෙනකම් එකදිගට වැඩ කරනවා. මගේ වයිෆ් ඒකට සහාය දෙනවා. එතකොට අපි දෙන්නටම වැටුප් ගන්න අයිතිය තියෙනවා. මගේ ගෝලයෝ… උන්ටත් පඩි ගෙවන්න ඕනෑ. ඊට පස්සේ මම කොළඹ මැනිං මාර්කට් එකට යන්න ඕනෑ. මගේ ලොරියට ඩීසල් ගහන්න ඕනෑ. ඩ්‍රයිවර්ට පඩි ගෙවන්න ඕනෑ, වාහනේ ආණ්ඩුවේ එකක් නෙමේනේ. ඒකට ලීසිං, රක්ෂණ, වෙන්න ඕනෑ. ටයර්, බැටරි, දාන්න ඕනෑ. අලුත්වැඩියා කරන්න ඕනෑ“

ඔහු තමන්ගේ එළවළු ව්‍යාපාරයේ වියදම් ලැයිස්තුව කියාගෙන යයි.

‘තවත් ඉවර නැහැ. අපිට ගෙදරින් බත් කටක්, තේ උගුරක් බොන්න වාසනාව නැහැ. මැනිං මාර්කට් එකට යන ගමන් මමයි, ගෝලයෝ දෙන්නයි ඩ්‍රයිවරුයි තේ බීලා මොනවා හරි කන්න ඕනෑ. ඊට පස්සේ මැනිං මාර්කට් එකේදී නාටාමිලාට ගෙවන්න ඕනෑ “ ඔහු දිගටම කියයි.

‘ඊට පස්සේ පොළට ආවා කියමුකෝ. ඔන්න උදේ කෑම, තේ, අපි හතර දෙනෙක්ට. ඊට පස්සේ පොළේ බිම් කුලිය ගෙවන්න ඕනෑ. කඩේ නම් ඒකත් එහෙමයි. ලයිට්, වතුඑ බිල ගෙවන්න ඕනෑ. බිල්ඩින් එක ගහන්න ගත්ත ලෝන් එකට ණයයි පොලියයි ගෙවන්න ඕනෑ. සභාවට ගෙවන්න ඕනෑ. ආදායම් බදු ගෙවන්න ඕනෑ‘

ඔහු එළවළු කිලෝ එක 40-260 වුණ ආකාරයට හේතු පහදා දෙයි.

‘සහෝදරයා මේ සේරම කළා කියමුකෝ. හැමදාම නත්තල් නැහැ. වැස්සොත් බිස්නස් අන්තිම සවුත්තු වෙන දවස් තියෙනවා. ඒක එකක් අනික අපි අතින් කාලා හරක් බලන්න වුවමනා නැහැනේ. අපි මේ සේරම කරන්නේ ලාභයක් ඕනෑ හින්දයි. හැම බිස්නස්කාරයෙක්ම තමන්ගේ කියලා ලාභාංශ ප්‍රතිශතයක් තියා ගන්නවා‘

ඔහු දැන් දැන් ආර්ථික විද්‍යාව සහ වාණිජ්‍ය වෙත පැමිණෙයි.

‘මේ සේරම විදයම් ගියාම අපි අඩුම ගානේ 20%ක් වත් ලාභයක් තියා ගන්න එක වැරදිද ? කවුද එහෙම ලාභයක් නැතිව බිස්නස් කරන්නේ ? ගොවියත් ලාභයක් තියාගෙන තමයි අපිට විකුණනන්නේ. හැම බිස්නස් එකකම ලාභයක් තියෙනවා. ඉතිං ඔය විදයම් සේරම දාලා අපි අපේ ලාබෙත් තියා ගන්න ඕනෑ‘ ඔහු දිග සුසුමක් හෙළමින් කියයි.

‘ඒත් ඉතිං‘ මම මදක් තැති ගත් ස්වරයෙන් අසමි.

‘ඇයි ඒත් කියන්නේ. ඔයාට පේනවා අතන මගේ ගෝලයෝ කරන දේ. ගෙනාපු එළවළු සුද්ද කරනවා. තැලුණු පොඩිවුණු කුණුවුණ ඒවා අයින් කරනවා. ඒ ගාණත් අපිම තමයි දරා ගන්න ඕනෑ. එළවළු පැය ගාණක් යද්දී වේලෙනවා. බර අඩු වෙනවා. කුණු වෙනවා. ඒ සේරමත් අපිම තමයි දරා ගන්න ඕනෑ‘ ඔහු පෙන්වා දෙයි.

ඔහුගේ කතාව තවත් අසා සිටීමට ධෛර්යයක් මටත් නැත. දවසට පැය 18ක් අසීමිතව වෙහෙසෙන මිනිසා දෙස මම බලාසිටිමි. ඔහු දියුණු වුණ බව, මුදල් හම්බ කරන බව සැබෑය. එහෙත් ඔහුට වඩා ‘බිස්නස් කරන‘ තවත් බොහෝ දෙනෙක් අසීමිත ලාභයක් උපයති. එහෙත් කිසිවෙක් ඒ මිනිසුන් ගැන කතා කරන්නේ නැත.

‘සහෝදරයා එළවළු බිස්නස් එක හැමෝටම කරන්න බැහැ. පි පුංචි කාලේ මුදලාලිලා ගාව ගෝවා සුද්ද කරලා තමයි අත්දැකීම් අරගෙන මේ බිස්නස් එකට ආවේ. මේක මහත්තරුන්ගේ බිස්නස් එකක් නෙමෙයි. අටපාස් වුන්ගේ බිස්නස් එකක්. ඉස්කෝලේ යන්නේ නැතිව කට්ටි පැන්න, ඇටෙන් පොත්තෙන් එන්න ඉස්සර ගෙදරට කන්න දෙන්න වුණ ආතක් පාතක් නැති වුණ කොල්ලන්ගේ බිස්නස් එකක්. ගොවියා පැයක් දෙයක් කොටුවේ වැඩ කරලා නිදා ගන්න කොට, ආණ්ඩුවේ පෝරයි හැමදේම නිකං ගන්න කොට අපි උදේ තුනේ ඉදන් එක දිගට දවස් හතම වැඩ කරනවා. අපි නැතිනම් සහෝදරයාට සිද්ධ වෙන්නේ මාතලේට ගිහින් රුපියල් 40ට එළවළු ගන්න. කොහොමද එහෙම වුණොත් ආතල් එක‘ ඔහු මහ හඩින් සිනාසී සරදම් ස්වරයෙන් අසයි.

තවත් කතා කිරීමට දෙයක් නැත. පැයක් වැඩකර අතිකාල ලබා ගන්නා නිලධාරීන්ට, ලියුම ගෙනියන්න පමණක් නොව වතුර වීදුරුව පවා අතට ගෙනත් දෙන්න සේවකයින් සිටින නිලධාරීන්ට හෝ අවස්ථාවාදී දේශපාලනඥයින්ට ‘අතරමැදියා‘ හෙවත් ‘ව්‍යාපාරිකයා‘ විදින වෙහෙස හෝ ගන්නා අවධානම ගැන දුකක් හෝ තැවුලක් නැත.

එහෙත් ප්‍රශ්නය වන්නේ මේ රට දුවන්නේ, රුකියා ලබා දෙන්නේ, ආණ්ඩුවට විවිධාකාර බදු ගෙවන්නේ මේ අතරමැදියන් විසින් බව මේ කිසිවෙකු පිළිනොගැනීමය.

‘සහෝදරයා අනේපිඩු සිටුතුමාලා, විසාකා මහෝපාසිකාව වගේ වෙළෙන්දෝ හිටියේ නැත්නම් බුද්ධාගම කියලා එකකුත් නැහැ. අපි ලොකුවට කතා කරන තපස්සු භල්ලුක කියන්නෙත් වෙළෙන්දෝ. එයාලා නිසා තමයි බුද්ධාගම රැකුණේ. මුස්ලිම් මිනිස්සු වෙළෙන්දාට සාප කරන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිස්සු දියුුණු වෙනවා. ඒත් පුළුවන් තරම් බිස්නස් කරන ලංකාවේ උන් එළවළු ටික විකුණන, හාල් ටික විකුණන වෙළෙන්දාට ශාප කරනවා. අපි දුක් වින්දේ නැතිනම් ඉතිං …‘ ඔහු කතාව නතර කර තමා වෙත ආ සේවකයෙකු වෙත ගියේය.

තවත් කතා කිරීමට දෙයක් නැත. දේශපාලන සහ වෙනත් න්‍යාය පත්‍ර මත නිර්මාණය කරන ‘අවස්ථාවාදී ප්‍රවෘත්ති‘ වලට තව දුරටත් අවස්ථාව දීමට මාධ්‍ය ආයතන ක්‍රියාකරන්නේ ඇයි කියා සිතා ගැනීම අපහසු නැත.

ඒත් ලංකාවේ මිනිස්සු හිතන්නේ අමුතුම ආකාරයකටය. හැමදේම විකුණන (දැනුම, ශ්‍රමය) ඔවුන් එවැනිම ව්‍යාපාරයක නිරත වන ‘වෙළෙන්දාට‘ ශාප කරන්නේ ඇයි ද යන්න ගැන මට හිතා ගැනීමටවත් නොහැකිය.

රටට රැකියා බිහිකරන්නේ, ආණ්ඩුව පවත්වා ගෙන යාමට බදු ගෙවන්නේ, බැංකු ඇතුළු සේවා පද්ධතිය පමණක් නොව ගමේ පොදු කටයුතු වලදී සක්‍රීය භූමිකාවක් නිරූපණය කරන්නේ (වැඩිම ගාන ලියන්නේ) ව්‍යාපාරිකයා විසිනි. ඔහු නැතිනම් රටට යළි ‘ගල් යුගයට‘ යාමට සිදුවිය නොහැකිද ?

හෘද සාක්ෂිය ඇති අයට කල්පනා කිරීමට පුළවුන්. සංවාදයට විවෘතයි

සටහන – අරවින්ද සේනානායක

RSL

Related Posts