ගොයමට වින කටින වී වර්ගයක ආක්‍රමණයක් – සමහරු රැවටිලා අලුත් වී වර්ගයක් කියලා බෝ කරගෙන

Spread the love

‘කැලේ නහන්නට කැලේ ගහක්ම ඕනෑ‘ යයි පැරණි කතාවක් සමාජයේ පවතී. වර්ගයා විනාශ කිරීමට තමන්ගේම කෙනෙක් හේතුවෙන බව මින් කියවෙනා මතුපිට අර්ථයයි. නවීන විද්‍යාවේ ප්‍රාතිහාර්යයන් හමුවේ පොහොසත්වූ මිනිසා විසින් නිපදවනු ලබන ඇතැම් දෑ, භාවිතයේ ඉතා සුළු එහාමෙහාවකින් සමස්ත මානවයාවම සුසානය කරා රැගෙන යාමට වුවත් ප්‍රමාණවත් බව දැන් පෙනෙන්නට ඇති නිසා ඉහත කී යෙදුම වර්තමානයටත් අපූරුවට ගැලපෙන්නේය.

පසුගිය දිනෙකදී අසන්නට ලැබුණු පුවතකින් කියවුනේ ගොයම නසන්නටත් ගොයම ඉදිරිපත් වූ අවස්ථාවකි. බොරු වලවල් කපා තමාගේ එකාවම විපතට පත්කිරීමේ පුරුද්ද කුඹුරේ ගොයමටත් බෝවූවාදැයි සිතන තරම්ය.

පනුවන්, දළඹුවන් හෝ වෙනයම් සතෙකු හැරුණුවිට පැලෑටියක් ලෙස ගොයමට එරෙහිවූවෙකු ලෙස අප මෙතෙක් දැනගෙන සිටියේ වල්පැළෑටි ගැන පමණය. එසේම තම ලියැද්දේ සුලභව වැවෙන මාරුක්, ගොජරවාලු, තුනැස්ස, ගිරාපලා, බටදැල්ල වැනි තෘණ හා පන් වර්ගද, දියහබරල වැනි පළල් පත්‍ර සහිත වල්පැලද ගොයමේ සතුරන් ලෙස හඳුනාගන්නටත් ලාංකික වී ගොවියාට හොඳ හැකියාවක් තිබේ.

එහෙත් මේ සතුරා නම් එවන් පිටස්තරයෙක් නොව ගොයමේම ළඟ නෑදෑයෙකි. පෙනුමෙන් මෙන්ම ජීවන ප්‍රවෘත්තියෙන්ද හෙතෙම ගොයම් ගසට බොහෝ කරුණු අතින් සමානය. ඒ නිසාම ගොවියාගේ අවධානයට හසුනොවී කුඹුරේම සැඟවී ජීවත්වන්නටද මෙම පැලෑටිය ඇතැම්විට අවස්ථාව උදාකර ගනී. හානිය එතැනින් නතර වන්නේද නැත. පසට වැටෙන ආගන්තුකයාගේ බීජ වසර දහයක් දොළහක් වුවත් සුප්තව හිඳිමින් පසුව වුවත් ප්‍රරෝහණ හැකියාව දැරීම නිසා වරක් කෙලෙසුනු භූමිය, නිවැරදි කෙරුම නම් බොහොම මිල අධික කර්තවයක් වේ.

අඟේ ඉඳන් කණ කන්නා සේ කටයුතු කරන මෙම පැලෑටිය පිළිබඳව සමාජය දැනුවත් කලයුත්තේ එබැවිනි. ඍජුවම මඩට බැස කුඹුර කරන ගොවියා පමණක් නොව, වර්තමාන ගොවිතැන් උත්තේජනය හමුවේ මෙතෙක් කල් පුරන්ව තිබූ තම කුඹුර කුලියක් ගෙවා හෝ අස්වද්දන්නට සිතිවිලි එකඟ කරගත් ඉඩම් හිමියාද මේ ගැන දැනුවත් විය යුතුය. සාම්ප්‍රදායික වී වර්ග යනුවෙන් කොටසක් වෙන්කරගෙන වේළුසුමනලා සුරනිමලලා කෑවේ මේවායයි ඇසින් දුටුවාක් මෙන් සහතික දෙන පිරිසද මේ සමගම දැනුවත් විය යුතුය. මන්දයත් ආගන්තුකයාගේ රූපීය ලක්ෂණ බොහෝ දුරට ලංකාවේ වැවෙන පැරණි වී වර්ග වලට සමාන බැවිනි. වැඩි උගත්කම නිසා හෝ, මේ නම් රජ කාලේ බඩුවක් නැවතත් ඇවිල්ලා යයි කවරෙකුට හෝ සිතී යන්තමට හෝ උඩ පැන්නොත් සිදුවන හානිය ලෙහෙසියෙන් ආපසු හරවන්නට බැරිය.

වසර ගණනාවකට පෙරදී පවා කුඹුරුවල තිබූ මෙම පැළෑටි සුළුවෙන් හෝ දකිද්දී ඇතැමුන් ඒවාට දිව පටලැවෙන නම් පවා යොදාගෙන තිබුණි. මේවා වෙන්කරගෙන සරලව බෝ කිරීමෙන් අලුත් වී වර්ගයක් රටට දිය හැකි බව විශ්වාස කල ගොඩ වෙදුන්ද ඔවුන් අතර විය.

අපේ රටේ මෙවැනි සිද්ධීන් සුලභය. අඳුරේ ගාටන මිත්‍යාවේ පෙරහැරට කොප්පරා පන්දම් අල්ලන මාධ්‍යයන්ද විරල නැත. සෝගම් ගසක් ගොයම් ගසකින් වෙන්කර හඳුනා ගන්නවා වැනි සරල දෙයක්වත් කරගත නොහැකිව, ‘ස්වයංජාත වී’ යනුවෙන් සෝගම් ගසට නමකුත් දමාගෙන, බෙරේ පලුවකුත් අහිමිකරගෙන නිහඬවූ කෙනෙක් ගැන තොරතුරු කලකට ඉහතදී පුවත්පත්වල පවා පලවී තිබුණු නිසා මෙවැනි කරුණු යලි යලිත් අවධාරණය කරන්නට සිදුවී තිබේ. මර්දන පිළිවෙත් ගැන විවිධ කතාන්තර සමාජයේ තැන තැනින් ඇසුනත්, කොරෝනා වයිරසය දෙස විද්‍යාත්මකව බලා එය මැඩපැවැත්වූ ආකාරයට මේ දෙසද බැලිය යුතු බව පෙන්වා දෙන්නටයි මේ තරමටම ලියා තැබුවේ. එසේ නම් කවුද මේ ආගන්තුකයා?    

ගහකොළ සතා සිව්පාවා වෙනුවෙන් විද්‍යාත්මක නම් භාවිතා කිරීම කලෙක සිට පැවත එන පුරුද්දකි. මෙහිදී එක ජීවියෙක් වෙනුවෙන් නම් දෙකක් භාවිතා කරන නිසා එය ද්විපද නාමකරණය ලෙස හැඳින්වෙන අතර නම් දෙකම ලතින් භාෂාවේ නම් විය යුතු බවද නාමකරණ නීතියකි. මන්ද යත් ලතින් යනු මේ වනවිට මැරුණු භාෂාවක් නිසා එවැන්නක භාවිතයක් හරහා කිසිවෙකුට අතිරේක වාසියක් ලැබී තවෙකෙකුට අසාධාරනයක්ද වන්නේ නැති නිසාය.

වී ශාකයට මේ අනුව ලැබී තිබෙන නම වන්නේ ඔරයිසා සැටයිවා (Oryza sativa) යන්නයි. සම්ප්‍රදායික වුවත් වැඩිදියුණු කල ප්‍රභේදයක් වුවත්, විද්‍යාත්මකව එහි නම එයමය. මේ නිසා ගොවීන් අතර තිබෙන සියලුම ‘වගා වී’ දර්ශයන් ඔරයිසා සැටයිවා සාමාජිකයින්ය. මීට අමතරව විද්‍යාත්මක නමින් වෙනස් වී වර්ගයක්ද වනගතව වැවේ. ඔරයිසා නිවාරා (Oryza nivara) යනු එහි විද්‍යාත්මක නාමයයි. එය වනාහී කුඹුරේ නැති පැලෑටියක් බැවින් පොදු බස් වහරට අනුව එයට සුදුසු යෙදුම වන්නේ ‘වන වී’ (Wild Rice) යන්නයි.

කෙසේ නමුත් අපට දැන් කතාකරන්නට සිදුවී ඇත්තේ මෙම වර්ග දෙකෙන්ම ලක්ෂණ අඩු වැඩි වශයෙන් අරගෙන කෙතට පැමිණි ආගන්තුකයෙක් ගැනය. ගොවියාගේ අස්වැන්නට හානියක් රැගෙන පැමිණ ඇති නිසා ආක්‍රමණිකයෙක් වශයෙන් හැඳින්වූවත් අසාධාරණ නොවේ.  ගොවියා අරමුණු කරගත් ප්‍රධාන බෝගය හැර අනෙක් පැලෑටි සියල්ල අප හඳුන්වන්නේ ‘වල්පැල’ ලෙසයි. එසේනම් කුඹුරට අයිති නැති මෙම ආගන්තුක ගොයම් ආක්‍රමණිකයා හැඳින්වීමට අප ‘වල් වී’ (Weedy Rice) යනුවෙන් නමක් සොයාගෙන තිබේ. එසේනම් වගා වී, වන වී සහ වල් වී යනු මොනවාදැයි දැන් පැහැදිලිය.

වල් වී සතුව පවතින තම කැලෑබද නෑදෑයාගේ ලක්ෂණ සමහරක්ද මතකයට ලංකර ගැනීම ප්‍රයෝජනවත් වේ. වන වී ඇටයේ කෙවරක පිහිටන කෙන්ද නොහොත් ‘නන්ඩුව’ ඉතා පැහැදිලිව හා දිගැටි,ව වල් වී වලද පෙනෙන්නට ඇත. එය නිවාරා වල තිබෙන්නාක් මෙන් ඇතැම්විට රතු පැහැයකට හුරු බවක්ද පෙන්වන්නේය. මෙවැනි කලවමක් දුටුතැන අපට ඇඟ බේරා ගත හැක්කේ වර්ග දෙකෙහි ‘ක්‍රොස් වීමක්’ නොහොත් මුහුමක් සිදුවී ඇති බව පැවසීමෙන් වුවත්, වී ශාකය 99.99% ක්ම පාහේ ස්වපරාගන බෝගයක් බැවින් පිටස්තරයෙක් හා මුහුවූ බවට ඉදිරිපත් කෙරෙන මෙවැනි කතාවලට විද්වත් ලෝකයේ එතරම් තැනක් ලැබෙන්නේ නම් නැත.

මේ නිසා කුඹුරේ තිබෙන අමුතු ආගන්තුකයාගේ සම්භවය ගැන ස්ථිරව යමක් ප්‍රකාශ කිරීම අසීරු කරුණකි. එම පැටිකිරිය හාරා අවුස්සා හොයා ගැනීමෙන් අපේ ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුමක් ලැබෙන්නේද නැත. අප මුහුණදෙන ප්‍රශ්නය වන්නේ කුඹුර ආක්‍රමණය කරනා ‘වල් වී’ නිසා ගොවියාගේ අස්වැන්නට වන හානිය කෙසේ වලක්වාගන්නේද යන්නයි. විද්‍යාවේ උන්නතිය උදෙසා ‘වල් වී’ බිහිවූයේ කෙසේදැයි සොයා බැලීම වැදගත් වුවත්, තැනේ හැටියට ඇනේ ගසන්නා සේ ආක්‍රමණිකයා මගහැර කුඹුරක් කරගන්නා පිළිවෙත ගැන මේ මොහොතේ වැඩි අවධානයක් යොමුකළ යුත්තේ එබැවිනි.

මේ ගතවෙන්නේ ලංකාවේ වී අස්වැන්න ලැබෙනා කාලයයි. නැගෙනහිර පළාතේ නම් මේ වනවිට ගොයම් කැපීමේ අවසානයද ළඟාවී තිබෙන්නට පුළුවන. ගොවීහු සුළු විරාමයක් ලබා, ලහි ලහියේ මහ කන්නය ඇරඹීමටද සූදානම් වෙති. පසුගිය කන්නයේදී මෙම කුඹුරුවල බහුල වශයෙන් ‘වල් වී’ පැලවී තිබුණු බව ඒ අවට සංචාරයේ යෙදුනු කෘෂිකර්ම නිලධාරීන් වාර්තා කර තිබුනා මතකය.

අම්පාර දිස්ත්‍රික්කයෙන් ‘වල් වී’ වර්ග මුලින්ම හඳුනාගත්තේ 1992 දීය. එහි පමණක් නොව යහමින් කුඹුරු කරන අනුරාධපුර, වව්නියා, පුත්තලම සහ දකුණු පළාතේද, යහමින් බෝවී තිබුන වල් වී වල අනිසි විපාක ගැන ගොවීන් සහ ව්‍යාප්ත නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ක්ෂේත්‍ර දින, පුහුණු පංති ආදිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශය විසින්, මදි නොකියන්නට එකල සංවිධානය කරන ලදී. එවකට බතලගොඩ පර්යේෂණායතනයේ සේවයේ යෙදී සිටි වල්පැළෑටි පිලිබඳ විද්වතියකවූ අනුරුද්ධිකා අබේසේකර මහත්මියගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන් පැවැත්වුනි.

ගොවි දැනුම පරම්පරාවෙන් පරම්පරාවට ගලායාමේ සිරිත දැන් එතරම් සක්‍රියව ක්‍රියාත්මක වන්නේ නැත. තාත්තලා දශක තුනකට පමණ ඉහතදී ලැබූ දැනුම පුතාලා දන්නේ නැත. දැනගත්තත් පුතාලා මේ වනවිට කුඹුරු ගොවිතැනේද නැත. එදා විසූ තම වැඩිහිටියන්, වල් වී මගහැරීමට අනුගමනය කල ක්‍රමවේදයන් දරුවන් විසින් අද දවසේ නොකිරීම නිසා වී වගාව බරපතල තර්ජනයකට මුහුණ දෙමින් සිටී. බහුලව වල් වී වැවුණු කුඹුරක අස්වැන්න හානිය 100% ක් වුවද වියහැකි නිසා මෙය එක කණකින් අසා සරලව ඉවත දැමිය හැකි කතාවක්ද නොවේ. ඉදිරි මාස් කන්නයේදී වී වපුරන්නට මේ මොහොතේ සිට සැලසුම් හදමින් සිටින වී ගොවියා දැනුවත් කරන්නට කල් තබා අප අදහස් කෙරුවේ එබැවිනි.

“බැලූ බැල්මට මෙය ගොයම් පැලයක්ම තමයි. හැබැයි ගොවීන් වගාකරන ජනප්‍රිය ගොයම් මාදිලිවලට වඩා වේගයෙන් හැදෙනවා. බොහෝවිට ඊට වඩා උස යනවා, වැඩිපුර පඳුරුත් දමන්න පුළුවන්. ඒ නිසා වගාකළ ගොයමට මෙවැනි වල් වී වර්ධනය තර්ජනයක් වෙනවා. ආලෝකය, ජලය, පෝෂණය ආදී සියලු සාධක වලට වල් වී මගින් හොඳ තරඟයක් දෙන නිසා, වගාකළ ප්‍රභේදයේ අස්වැන්න අඩුවෙනවා.”

එසේ ප්‍රකාශ කරන්නේ ‘වල් වී’ පිටු දකින්නට මේ දිනවල වෙහෙසී වැඩකරන ආචාර්ය ස්වර්ණා හේරත් මහත්මියයි. ඇය බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සේවය කරන වල්පැලෑටි පිලිබඳ විද්වත් නිලධාරිනියකි.

වල් වී උසින් වැඩිය. ඒ නිසාම කරල් පැහෙද්දී පහසුවෙන් ගොයම ඇද වැටෙන්නේය. සාර්ථකව පඳුරු දැමීමද සිදුවිය හැකි අතර වී ඇටයට සවිවී තිබෙන කෙන්දක් වැනි ව්‍යුහය හෙවත් ‘නන්ඩුව’ ද ‘වන වී’ වල මෙන්ම දිගින් වැඩිය. මේ නිසා කුඹුරේ හමුවෙන මෙවැනි ආගන්තුක පැලෑටියක් පරිස්සමින් බලාකියාගෙන, අස්වැන්න ඇට ටික එකතුකරගෙන, බෝකර ගැනීම සඳහා නැවත වගාකිරීම වැනි තත්වයන් දක්වා වුවද දුරදිග ගිය ගොවීන් අපට හමුවී තිබේ. නමුත් මෙය වනාහී හදිසියේ ජනිතවූවක් මිස, පෙරසිට පැවත එන පාරම්පරික වර්ගයක් නම් නොවේ. ඊට හොඳම සාක්ෂිය වන්නේ ගොයම් කරල පෙන්වන අවිධිමත් පරිනත වීමේ රටාවයි.

කුමන වගා වී දර්ශයක වුවද කිරි වැදුණු කරල මෝරන්නේ අග සිට පාදීය කෙළවරක දක්වාය. නමුත් වල් වී කරල පැහෙන්නේ අක්‍රමවත්වය. කරලේ දෙපස වී ඇට ලපටිව තිබියදී ඇතැම්විට මැද හරියෙන් කරලේ ඇට මෝරනු දැකිය හැකිය. මෙය වනාහී තමා වෙසෙන අවදානම් සහිත පරිසරය ජයගැනීමට ශාකය පෙන්වන අනුවර්තනයකි. එනම් කොයි මොහොතේ බැලුවත් තම ඊළඟ පරපුර ඉදිරියට ගෙනයාම සඳහා බීජ ස්වල්පයක්වත් පසට හෙලා අවසානය. අපට වල් වී මර්දනය අපහසු වී තිබෙන්නේද මේ ලක්ෂණය නිසාවෙනි. හොඳ මුල් පද්ධතියක් සහිතව උසට වැඩෙමින් පාරිසරික සාධක වලට සටනක් දෙනවාට අමතරම, වී කරලේ ඇට එකවිට නොපැසීම හරහා දිගු කාල පරාසයක් ඔස්සේ පැසුණු ඇට පරිසරයට මුදාහරිමින් පස තුල ශක්තිමත් බීජ සංචිතයක් ගොඩනගා ගැනීමට වල් වී ශාක ක්‍රියාකරයි.

අඩුතරමින් පසට නොවැටේ නම් සතෙකුගේ ඇමිණී හෝ වෙනත් පරිසරයක් කරා ව්‍යාප්ත වීමටයි ඔවුන් දිගු  නන්ඩුවක් (වී ඇටයේ කෙන්දක්) සහිතව බීජ බිහිකරන්නේ. ඊළඟ පරම්පරාවේ බිහිවීම තහවුරු කරනු ලබන මෙම ලක්ෂණ වනාහී ශාකයට ලැබුණු සොබාදහමේ දායාදයන්ය. කුරුල්ලෙකුගේවත් ඇස නොගැටී පස තුල සැඟවෙන වල් වී බීජ වසර දහයක් දොළහක් වුවත් සුප්තව තිබී හිතකර තත්වයක් යටතේ යලි ප්‍රරෝහණය වීමද විශ්මයජනක සංසිද්ධියකි.

නිසිලෙස ‘වල් වී’ මර්දනය කරගැනීමට නොහැකිවූ කුඹුරුවල පසෙහි මේ වනවිට යම් ‘වල් වී’ බීජ සංචිතයක් අන්තර්ගත වනබව මේ අනුව පැහැදිලිය. මීළඟ මහ කන්නයේදී අස්වැන්නේ හානියකින් තොරව බැත ගෙට ගන්නට නම්, කෙතෙහි ‘වල් වී’ මර්දනය අදියර කීපයකින් කලයුතු බව ආචාර්ය ස්වර්ණා පවසයි. පළමු පියවර වනු ඇත්තේ මෙවර වගාවේ ඉතිරි කොටස් ලෙසට තවමත් කුඹුරේ තිබෙන ඉපනැල්ල පුළුස්සා දැමීමයි. ඒ හරහා පසෙහි ඇති බීජ සංචිතයෙන් කොටසක් අඩුවේ. ‘වල් වී’ බීජ රවටා ප්‍රරෝහණය වන්නට ඉඩ හැර පසුව අතරමං කර දැමීම ඊළඟ පියවරයි. එහිදී පසේ ඇති බීජ සංචිතයෙන් තවත් කොටසක් විනාශවේ. එනම් මේ සඳහා හැකිතාක් කලින් මූලික බිම් සැකසීම කල යුතුය. දරු පරපුරට කල එලි බසින්නට කාලය ආවා යයි ලැබෙන සංඥාව හමුවේ ‘වල් වී’ බීජ කොටසක් ප්‍රරෝහණය අරඹන නමුත් ඊළඟ බිම් සැකසීමේ පියවරයන් හමුවේ ඒවා විනාශ වී යන්නේය.

“ශ්‍රම ඌණතාවය නිසා දැන් වැඩිපුර නොකෙරුනත් ලියැද්දේ පේලියට පැල සිටුවීමෙන් ගොයම ස්ථාපනය කල හැකිනම් තවත් හොඳයි. එතකොට අපි හිටවපු පැල තියෙන්නේ පේලි වලනේ. ඊට පිටින් තැන්වල පැලවෙන හැම ගොයම් පැලයක්ම අපි වගාකළ එකක් නෙවෙයිනේ. බොහෝවිට ඒවා ‘වල් වී’. ඒ නිසා පහසුවෙන් හඳුනාගෙන ගලවා ඉවත් කරන්න පුළුවන්. අයිති නැති තැනක තිබෙනවා වගේම ‘වල් වී’ හඳුනාගැනීමේ තවත් රූපීය ලක්ෂණ තියෙනවා. පැල වල කඳ රවුම්, පුරුක් වලිනුත් කිරිමුල් ඇදෙනවා, බොහෝවිට කඳ ටිකක් දම් පාටට හුරුයි. එම ලක්ෂණ සහිතව කුඹුරේ කොතැනක තිබුනත් ඒ පැල සියල්ල ගලවා ඉවත් කිරීම නුවනට හුරුයි. වැපිරූ වගාවක් වුවත් මේ ලක්ෂණ පරීක්ෂා කරමින් යම් තරමකට පිරිසිදු කරගන්නට පුළුවන්.”

ආචාර්ය ස්වර්ණා මේ කියන මාර්ගෝපදේශයන් හරියට ක්‍රියාත්මක කරනවානම්, ගොයමේ නිල්ල නැගෙනා අවධිය වෙත්දී ‘වල් වී’ වලට එරෙහි යුද්ධයේ සැලකිය යුතු තරමේ ජයග්‍රහණයක් අත්කර ගැනීමට ගොවියා සමත්වෙන බව නොරහසකි. ඊලඟ ප්‍රහාරය එල්ල කල යුත්තේ ගොයම පීදෙන අවධියේදීය. සාමාන්‍යයෙන් ගොවියා වැපිරූ ‘වගා වී’ වලට වඩා වේගයෙන් ‘වල් වී’ වර්ධනයවේ. ලියැද්දේ තිබෙන සාමාන්‍ය ගොයම පසුකර වැඩෙන ‘වල් වී’ ගස පීදුන කල, එහි කරල් තට්ටුව පිහිටන්නේ ගොවියාගේ ගොයමට ඉහළින්ය.

කාර්යශූර වගාකරුවෙකුට නම් ‘වල් වී’ ඉවත්කරලීමට මෙය හොඳ අවස්ථාවකි. කුඹුර පුරා ඇවිදිමින් මෙම කරල් පැහෙන්නට පෙර කපා ඉවත් කල හැකිය. වල් නාශකයක් භාවිතා කරන විකල්පයක්ද තිබේ. ග්ලුෆොසිනේට් ඇමෝනියම් (Glufosinate-ammonium) නමැති වල් නාශකය විවිධ බෝග වර්ග සඳහා නොයෙකුත් රටවල භාවිතාවෙන ආරක්ෂාකාරී රසායනයකි. ගොයමෙන් ඉහලට අඩියක් පමණ එසවී ඇති ‘කිරි වදින’ තත්වයේ ඇති ‘වල් වී’ කරල් වල ගෑවෙන සේ මෙම සංයෝගය යෙදිය යුතුය. තරමක් දිග ලීයක කෙලවර රෙදි කැබැල්ලක් ඔතා, අදාළ රසායනිකයෙන් එය පොඟවා කරල් වල ගෑවෙන සේ කුඹුර පුරා එය රැගෙන යාමෙන් මෙය පහසුවෙන් සිදුකල හැකිය. මේ හරහා වල් වී කරල් සියල්ල බොල් වේ.

පරිසර හිතකාමී ගොවිතැනක් ගැන දසතින් කරුණු කාරනා කියවෙද්දී වල් වී මර්දනය සඳහාත් කෘෂි රසායන වල පිහිට පැතීම නොකෙරෙනවා නම් වඩාත් හොඳය. අප හැකි සෑම අවස්ථාවකදීම උත්සාහ ගත යුත්තේ පරිසර හිතකාමී විකල්ප හරහා ගැටලුවෙන් ගොඩ යාමටයි. වල් වී හඳුනාගන්නා ආකාරයත්, පරිසරයට නොදැනෙන්නට එය මර්දනය කළහැකි ආකාරයත් දැන් පැහැදිලි නිසා ගොවියා හා සම්බන්ධ කෘෂිකර්ම නිලධාරීන් කඩිනමින් කලයුත්තේ ලබන මහ කන්නය ඇරඹීමට පෙර බිම් සකස් කිරීමේදී සිට කලයුතු දෑ පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමයි.

කෙතරම් ප්‍රචාරය කෙරුවත් තම කුඹුරේ ඇති වල් වී පඳුරු උදුරා දැමීමට ඉදිරිපත් නොවූ ගොවි පිරිසක්ද එදා සිටි අතර ඔවුන් තව දුරටත් විශ්වාස කෙරුවේ මෙය අලුතින් බිහිවූ වී වර්ගයක් බවයි. එය එසේම නොවුනත් වී වර්ගයක් බවනම් සැබෑය. එනම් කුඹුරේම තිබෙන වී වර්ගයක්ම බතට ගන්න බැරි තැනකට අප පැමිණ සිටිමු. එම ගොයම කල වරදනම් මිනිසාගේ අනසකට යටත්වූ නිකේතනයකට අනවසරයෙන් ඇතුල්වීමයි. එතැනදී ඝාතනය වුවද ගොයමේ උන්නතියට ඔවුන් දරනා පරිසර හිතකාමී ජාන ගොනුවේ වටිනාකමනම් ලියා නිමකළ නොහැකි තරම්ය.

කෘෂි විද්වතුන් මේ මායිම හඳුනාගනිමින් ‘වල් වී’ මර්දනයට කටයුතු දිරිගන්වනවාට අමතරව, රෝග හා පලිබෝධකයින්ට ප්‍රතිරෝධීව හැසිරෙමින් පරිසරය ජයගන්නට ඔවුන් දරනා හැකියාවට ගරුකළ යුතුවේ. ඊට අදාළ අපට අවශ්‍ය ජාන ඔවුන් තුල සිරවී තිබේ. ‘වල් වී’ තුලින් ඒවා උකහාගෙන, එම ජාන සංරක්ෂණය කිරීමටත්, ‘වගා වී’ වලට අවශ්‍ය පරිදි ඒවා ඈඳා ගැනීමටත්, අවැසි පිරිස් බලය හා අවි බලයත් යන දෙකම වත්මන් කෘෂි විද්වතුන් සතුව නොඅඩුව ඇතිබව අපි හොඳාකාරවම දන්නෙමු. යකා බැඳගෙන වැඩ ගන්නවා වැනි එවන් සංග්‍රාමයක් දියත් කරන්නට ඔවුනට අවශ්‍ය වන්නේ  නිසි නායකත්වයක් පමණකි.

සනත් එම්. බණ්ඩාර  

RSL

Related Posts