කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි – වෛරස විද්‍යා විශේෂඥ, මහාචාර්ය මලික් පීරිස්

Spread the love

කොරෝනාවෛරසය වැළඳී මියගිය කිසිවෙකු භූමදානය කිරීම හේතුවෙන් වෛරසය භූගත ජලයට එකතුවිය හැකි බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් හමු වී නැති බව ජගත් කීර්තියට පත් ලොව ඉහළම පෙළේ වෛරස විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙකු ද මහාචාර්ය මලික් පීරිස් කියයි.

ඡායාරූපය – ඉන්දියාවේ කොරෝනාවෛරසය ආසාදිත වී මියගිය පුද්ගලයෙක් භූමදානය කළ අවස්ථාවක්

බී.බී.සී සන්දේශය වෙබ් අඩවිය සමග පසුගිය දා සූම් තාක්ෂණය ඔස්සේ සිදුකළ සංවාදයකදී මහාචාර්ය මලික් පීරිස් මහතා මේ බව අවධාරණය කළේය.

ව්‍යාධි විද්‍යා විශේෂඥයෙකු ද (Pathologist) වන මහාචාර්ය මලික් පීරිස්, හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරස විද්‍යාව පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාය.

ශ්‍රී ලංකිකයෙකු වන මහාචාර්ය මලික් පීරිස් 2003 වසරේදී පැතිර ගිය සාර්ස් වෛරසය හඳුනා ගැනීම සහ එම වසංගතය පාලනය කිරීම සඳහා ප්‍රමුඛ කාර්යයක් කළ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් වන අතර 2015 වසරේ මැදපෙරදිග කලාපයේ පැතිර ගිය මර්ස් වෛරසය සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණ සඳහා ද ඔහුගේ දායකත්වය ලැබී ඇත.

ලොව පිළිගත් විද්‍යාත්මක සඟරා තුළ පර්යේෂණ පත්‍රිකා 600 කට අධික සංඛ්‍යාවක් ප්‍රකාශයට පත් කර ඇති මහාචාර්ය මලික් පීරිස් ලොව ප්‍රමුඛ පෙළ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් බ්‍රිතාන්‍යයේ රාජකීය සමාජයේ ද (The Royal Society) සාමාජිකයෙකි.

මහාචාර්ය මලික් පීරිස් සහ ඔහුගේ කණ්ඩායම නව කොරෝනා වෛරසය හඳුනා ගැනීම සහ එය පාලනය කළ හැකි ක්‍රමවේද පිළිබඳ පර්යේෂණවල යෙදී සිටිති.

“පළමු වෙනි දේ තමයි, අපි දැනගන්න ඕන වෛරසයක් වැඩිවෙන්නේ (multiply වෙන්නේ) සජීව සෛලවල විතරයි,” මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කිරීම ආරම්භ කළේ එලෙසිනි.

“සෛල මැරුණම වෛරසවලට multiply වෙන්න විදියක් නෑ. ඒ නිසා වෛරසය පැතිරීමත් නවතිනවා.”

එබැවින් කෝවිඩ් ආසාදිතයෙකු මියගිය පසු ශරීරයේ ඉතිරිව පවතින වෛරසවල ආයු කාලය ඉතාමත් කෙටි බවද වෛරස විද්‍යාව පිළිබඳ ශ්‍රී ලාංකික විශේෂඥයා අවධාරණය කරයි.

“ඒ නිසා අඩි හයක් පොළොව යට දාන සිරුරකින් පසට වෛරසය ඇවිල්ල, වතුරට ඇවිල්ල වෛරසය බෝවෙන්න පුළුවන් ද කියල මම නම් දන්නේ නෑ.”

කෝවිඩ් වෛරසය බෝවෙන්නේ කොහොමද?

“දෙවෙනි කරුණ, රෝගියෙකුගෙන් කෝවිඩ් රෝගය බෝවෙන්න පටන් ගන්නේ ඒ රෝගියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න දවස් කිහිපයකට කලින් ඉඳල. ඒ අවස්ථාවේ රෝගය ශරීරයේ තිබුණත් රෝගියා රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නෑ,” මහාචාර්ය මලික් පීරිස් පැහැදිලි කළේය.

“රෝග ලක්ෂණ පහළ වෙලා තවත් දවස් හතරක්, පහක් රෝගියාගෙන් වෛරසය බෝවෙනවා. ඒ කාලේ තමා වෛරසය වැඩියෙන්ම බෝවෙන කාලේ.”

“කිසිවෙක් රෝගයෙන් මරණයට පත්වෙන්න කලින්, රෝග ලක්ෂණ පහලවෙලා, රෝහලට ඇතුළත් කරලා, අධි සත්කාර ඒකකයට ඇතුළු කරලා … ඒ සියල්ලට දවස් ගණනක් යනවනේ? ඉතින් රෝගියා මරණයට පත්වෙන කොට ඔහුගෙන්/ඇයගෙන් තවත් කෙනෙකුට වෛරසය බෝවීමේ හැකියාව ඉතාම අඩුයි.”

ලෝ ප්‍රකට වෛරස විද්‍යා විශේෂඥයා අවධාරණය කරන්නේ, රෝහලට ඇතුළත් කිරීමෙන් දින ගණනාවකට පසුව වුවත් රෝගියෙකුගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල ‘පොසිටිව්’ විය හැකි බව සැබෑ නමුත් ඔහුගෙන්/ඇයගෙන් වෛරසය පැතිරීමේ හැකියාව ඉහළ බවක් එයින් අදහස් නොවන බවය.

“PCR පොසිටිව් වෙන්න පුළුවන් ඒත් වෛරසය බෝවෙන්න පුළුවන් හැකියාව දවස් 8 විතර වෙනකොට බොහෝ දුරට පහව ගිහිල්ල.”

“ඔය කරුණු දෙක හොඳින් හිතල බැලුවොත් ගොඩක් දෙනා මැරෙන්නේ රෝගය හැදිලා දෙවෙනි සුමානේ නැත්නම් තුන්වෙනි සුමානේ. ඒ වෙනකොට රෝගියාගෙන් වෛරසය තවත් කෙනෙකුට බෝවීමේ හැකියාව හරිම අඩුයි.‘‘

බ්‍රසීලයේ කොවිඩ්-19 රෝගයේ මියගිය පුද්ගලයින් භූමිදානය කර ඇති සුසාන භූමියක්

සිරුරක් මිහිදන් කරන්නේ කෙසේද?

මළ සිරුරක් මිහිදන් කරන්නේ අඩි හයක් යට වලක් තුළ බව සිහිපත් කරන වෛසර විද්‍යා විශේෂඥයා, “සිරුරක් කෙලින්ම වතුරට වල දාන්නේ නෑ නේ. ඉතින් මොනවා හරි වෛරස් තිබුණත් ඒක කෙලින්ම වතුරට යන්නේ නෑ,” යනුවෙන් මා සමඟ පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පත්කරනු ලැබ තිබෙන විශේෂඥයන්ගේ කමිටුවේ උපදෙස් ප්‍රකාර ආණ්ඩුව අනුගමනය කරන්නේ කොරෝනාවෛරසය ආසාදිත වී මියයන සියලු දෙනා ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියකි.

ආණ්ඩුවේ ස්ථාවරයට විද්‍යාත්මක පදනමක් නැති බව පවසමින් මුස්ලිම් ජනතාව සිය ඥාතීන්ගේ සිරුරු ආදාහනය නොකරන මෙන් දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

මේ අතර දින විස්සක් වයසැති බිළිඳු දරුවෙකු බලහත්කාරයෙන් ආදාහනය කිරීම පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.

බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මහාචාර්ය මලික් පීරිස් පැහැදිලිව පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්ථාවරයට කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති බවය.

“භූමදානය කරපු මළ සිරුරකින් වෛරසය පැතිරෙන්න නම් වෛරසය පස් වලින් ෆිල්ටර් වෙලා, ෆිල්ටර් වෙලා යන්න ඕන. එහෙම වෙනකොට තිබුණ වෛරස් එකත් නැතිවෙන්න තමා චාන්ස් එක තියෙන්නේ,” ඔහු පැවසීය.

විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස් ප්‍රකාර සිරුරක් මිහිදන් කරන්නේ වෛරස නාශක (disinfectant) ඉස, සිරුර ප්ලාස්ටික බෑගයක ද දැමීමෙන් අනතුරුව බව පෙන්වාදෙන ශ්‍රී ලාංකික විද්‍යාඥයා, “වෛරස් තිබුණත් ඒවා මැරෙන්න disinfectant දානවනේ,” යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.

‘අසූචි එක්කත් වෛරසය තියෙන්න පුළුවන්

ශ්‍රී ලංකාවේ භූගත ජල මට්ටම ඉහළ බව පිළිගන්නා මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, “කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි, එහෙම එක උදාහරණයක්වත් මම දන්නේ නෑ,” යනුවෙනි.

“කෝවිඩ් waterborne disease එකක් නෙමෙයි.”

“ඔය විදියට ලංකාවේ සුසාන භූමියක් වත් තියෙන්න බෑ.”

“අපි නිකමට හිතමු, පස්වලින් බේරිලා,බේරිලා වතුරට ආව කියල. ඒත් එතකොට වතුරවලින් වෛරසය තනුක (dilute) වෙනවා. අඩු ගානේ වෛරස් අංශු දාහක්වත් එන්න ඕනේ රෝගය බෝවෙන්න.”

“කාට හරි ඔහොම බයක් තියෙනව නම් ඒ බය තියෙන්න ඕන උණසන්නිපාතය, කොලරාව වගේ රෝග වලට. ඒ ඔක්කොම අසූචිවලින් බෝවෙන රෝග.”

“ඇත්තටම අසූචි එක්කත් වෛරසය තියෙන්න පුළුවන්.”

“රෝගය හොයාගන්නේ ආසාදනය වෙලා දවස් ගණනකට පස්සේ; diagnose වෙන්නේ දවස් ගාණක් ගියාට පස්සේ. ඔය කාලේ අසූචි එක්කත් වෛරසය පැතිරෙනවා. ඒ කියන්නේ ඒ අසූචිත් වතුරවලට යනවනේ. ඒක ගැන හිතන්නේ නැතුව ඇයි මේ මළ සිරුරු ගැන කියන්නේ,” මහාචාර්යවරයා ප්‍රශ්න කරයි.

කනත්ත ඉදිරිපස
බිළිඳු දරුවාගේ දේහය ආදාහනය කිරීම ගැන විරෝධය

‘රෝග පාලනය කරන්න ඕන මිනිස්සු එක්ක එකතු වෙලා’

ලොව පුරා පැතිර ගිය වෛරස රෝග ගණනාවක් පාලනය කිරීම පිණිස දායක වූ විද්‍යාඥයා පවසන පරිදි ශ්‍රී ලංකා ආණ්ඩුවේ ක්‍රියා කලාපය රට තුළ වෛරසය තවදුරටත් පැතිරයාම පාලනය කිරීම පිණිස සෞඛ්‍ය සේවකයන් දරන උත්සාහයට ද එල්ල කෙරෙන අතුල් පහරකි.

“අපි හැමදෙනාගේම අරමුණ, මේ රෝගය බෝවීම වලක්වාගැනීම,” මහාචාර්ය මලික් පීරිස් විස්තර කළේය.

“ඒ සඳහා මේ රෝගය බෝවෙන්නේ කොහොමද, පටන් ගන්නේ කොහොමද, රෝග ලක්ෂණ එන්නේ කොහොමද කියන මේ සේරම තේරුම් ගන්න ඕන. ඒ කිසි දෙයක් නැතුව අපි වතුර ගැන විතරයි කතා කරන්නේ.”

මහාචාර්ය මලික් පීරිස් පවසන්නේ, මළ සිරුරු ආදාහනය කිරීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙල හේතුවෙන් රෝගය වැළඳුණත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන්ට ඒ බව වාර්තා කිරීමට දැන් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව බියක් දක්වන බවය.

“රෝගය පාලනය (disease control) කියන්නේ රෙගුලාසි දැමීම විතරක් නෙමේ, මිනිස්සුන්ගේ විශ්වාසවලට ගරු කරමින් කළ යුතු දෙයක්,” ඔහු පැවසීය.

“රෝග පාලනය කරන්න ඕන මේ සේරම හිතල, මිනිස්සු එක්ක එකතු වෙලා. මිනිස්සු බය කරලා නෙමෙයි.”

කොවිඩ්-19 සම්බන්ධ අපගේ සංස්කරණ ප්‍රතිපත්තිය

කොවිඩ්-19 සම්බන්ධයෙන් හුදු ජනප්‍රිය හෝ අන්තර්ගතමය වටිනාකමක් නැති ආකර්ෂණීය පුවත් හා විශේෂාංග වෙනුවට ජනතාවට නිවැරදි අවබෝධයක් සහ දැනුමක් ලබාදිය හැකි නිවැරදි, නිරවුල් සහ විද්‍යාත්මක දැනුම සහ තොරතුරු පමණක් සන්නිවේදනය කිරීම අපගේ සංස්කරණ ප්‍රතිපත්තියයි. එම තත්ත්වය තුළ අප පාඨකයින් වෙනුවෙන් අදාළ නිවැරදි, නිරවුල්, සරල සහ විද්‍යාත්මක ලිපි පළ වන ඕනෑම වෙබ් අඩවියකින් හෝ පුවත්පතකින් එය ඍජුව උපුටා ගැනීමට අපි පියවර ගනිමු. මෙම කාලීන ලිපිය බී.බී.සී. සන්දේශය වෙබ් අඩවියේ පසුගිය 18 වැනි දින කොරෝනා වෛරසය: “කෝවිඩ් වතුරවලින් බෝවෙන රෝගයක් නෙමෙයි” – වෛරස විද්‍යා විශේෂඥ, මහාචාර්ය මලික් පීරිස්‘ යන ශීර්ෂය යටතේ පළ වූ වාර්තාවකින් උපුටා ගන්නා ලදි. ශීර්ෂ පාඨය පමණක් වෙනස්කර ඇති – ප්‍රධාන සංස්කාරක

RSL

Related Posts