කෝටි දෙකේ අල්ලසට හිටපු ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී මහානාමව වසර 20ක් හිරේ යෑවු සිර දඬුවම

Spread the love

කන්තලේ සීනි සමාගම සතුව තිබූ ගොඩනැඟිලි සහ යකඩ ද්‍රව්‍ය පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ශ‍්‍රී ලංකා ෂුගර් සමාගමේ ප‍්‍රධානියාගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා රැුසකට වරදකරුවන් වූ හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ආචාර්ය කුසුම්දාස මහානාම නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවම් සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන පියදාස දිසානායක නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවමක් ලබා දීමට බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (19) දා නියම කළහ.

අල්ලස් ගැනීම ඇතුළු අධි චෝදනා 13කට වරදකරු කරනු ලැබූ කුසුම්දාස මහානාම නමැත්තාට සිර දඬුවමට අමතරව රුපියල් 65,000 ක දඩයක් ද නියම කළ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඬුල්ල අල්ලස් ලෙස ලබාගත් රුපියල් කෝටි දෙකක මුදල පළමුවන විත්තිකාර කුසුම්දාස මහානාමගෙන් දණ්ඩනයක් ලෙස අයකර ගැනීමට ද නියම කළහ.

අධිචෝදනා 11 කට වරදකරු කරනු ලැබූ එම නඩුවේ දෙවන විත්තිකාර රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන පියදාස දිසානායක නමැත්තාට බරපතළ වැඩ සහිත වසර 12 ක සිරදඬුවමට අමතරව රුපියල් 55,000 ක දඩයක් ද විනිසුරු මඬුල්ල නියම කළහ.

විත්තිකරුවන්ට එරෙහිව නඟාඇති අධිචෝදනා 24 න් තුන්වන අධිචෝදනාව හැර අනිකුත් අධිචෝදනා 23 ටම විත්තිකරුවන් වරදකරුවන් බව ඒකමතිකව තම විනිසුරු මඬුල්ල විසින් තීරණය කොට ඇතැයි ඊයේ (19) උදෑසන එම නඩුව කැඳවූ අවස්ථාවේදී පෙන්වා දුන් විනිසුරු මඬුල්ල දඬුවම් නියම කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතාට අවසර ලබාදුන්හ.

විත්තිකරුවන්ගේ එකී ක‍්‍රියාකාරකම් නිසා ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක මූල්‍ය ආයෝජනයකින් යුත් ව්‍යාපෘතිය රජයට අහිමි වූ බව පෙන්වා දෙමින් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා එකී ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදීමට විත්තිකරුවන් ප‍්‍රථමයෙන් එකී ආයෝජනයෙන් සියයට 3 ක කොමිස් මුදලක් ඉල්ලා ඇතැයි ද පැවසීය. එකී කොමිස් මුදල දීමට ආයෝජකයන් අකමැති වූ විට රුපියල් කෝටි දහයක අල්ලසක් විත්තිකරුවන් ඉල්ලා ඇති බවත්, ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් කෝටි දෙකක මුදල ලබාගත් අවස්ථාවේදී විත්තිකරුවන් කොටුකර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වූ බවත් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා කියා සිටියේය.

විත්තිකරුවන්ගේ එකී ක‍්‍රියාකලාපය නිසා රජයට විශාල අපකීර්තියක් සිදු වූවා සේම එකී ව්‍යාපෘතියේ ප‍්‍රතිලාභ ලෙස අප රටේ පවුල් 15,000 කට අයත් 75,000 කට අධික පිරිසකට හිමි වීමට තිබූ රැුකියා අවස්ථා අහිමි වූ බව පෙන්වා දුන් ජනක බණ්ඩාර මහතා එම ව්‍යාපෘතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීමට හැකි නොවීමෙන් වසරකට සීනි මෙටි‍්‍රක් ටොන් 72,000 ක අමතර නිෂ්පාදනයක් රටට අහිමි වූ බව ද කියා සිටියේය. එකී ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වූවේ නම් එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරකම් නිසා වසර ගණනාවක් වසා දමා තිබූ කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත නඟාසිටුවීමෙන් ප‍්‍රදේශවාසී පවුල් 15,000 කට අයත් 75,000 කට පමණ හිමිවීමට තිබූ රැුකියා අවස්ථා මේ හේතුවෙන් අහිමි වූ බව පැවසූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර විත්තිකරුවන්ගේ එකී අයුතු ක‍්‍රියාකලාප නිසා රජයට ඇති වූ අපකීර්තිය පමණක් නොව පෙර කී කරුණු ද දඬුවම් නියම කිරීමේදී සලකා බලන ලෙස ඉල්ලා සිටියේය.

එම විත්තිකරුවන් රජයේ උසස් තනතුරු දරමින් දශක ගණනාවක් විශිෂ්ට සේවාවක් කළ පෙර වැරදි නොමැති පුද්ගලයන් වන බැවින් ලිහිල් දඬුවම් ලබා දෙන ලෙස විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

විත්තිකරුවන් සිදුකර ඇති වැරදි නිසා ජාත්‍යන්තරය තුළ අප රටට ඇතිවූ අපකීර්තිය, විදේශ ආයෝජන ව්‍යාපෘති අහිමිවීම් කෙරෙහි සලකා බැලීමට තම අධිකරණයට සිදුවන බව ද තීන්දුව ප‍්‍රකාශයට පත්කළ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවයේ නිරතව සිටියදී උසස් රාජ්‍ය නිලධාරීන් දෙදෙනකු විසින් ලබාගත් වැඩිම අල්ලස් මුදල මෙය බව ද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

RSL

Related Posts