‘කොවිඩ් 19 වසංගතය ලොව සසල කරයි’ විශිෂ්ඨ කෘතිය සරල සිංහලෙන් කියවමු…

Spread the love

හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි.

ස්ලේවෝයී ශිෂෙක් ලියූ “වසංගතය! කොවිඩ් 19 ලොව සසල කරයි” කෘතියේ අන්තර්ගතය සරල සිංහලෙන් – 01 කොටස

හැඳින්වීම

ලෙනින්

කිසිවක්ම සිදු නොවන දශක තිබේ, දශක සිදු වන සති තිබේ” යැයි ව්ලැඩිමීර් ලෙනින් ප්‍රකාශ කළේ 1905 වසරේ රුසියාව තුළ පැන නැගුණු විප්ලවීය රළ පහර නිරීක්ෂණය කරමිනි; එම ක්‍රියාවලියට සහභාගී වෙමිනි. අර්බුද සමයන්හිදී සිදුවීම් කොතරම් වේගවත් වන්නේද යත් සිදුවීම් විශ්ලේෂණ අබිබවා යයි. මොහොතකට පෙර ඉතාම අලුත් යැයි හැඟුණු විශ්ලේෂණයක් ඉතාම ඉක්මනින් ඉපැරණි සහ අදාළ නොවන එකක් බවට පරිවර්තනය වේ. 

රුසියාවේ විප්ලවීය වසරවලදී ලෙනින් ලියූ දේ කියවන විට පෙනී යන්නේ සිදුවීම්වල වේගවත් බව පසුපස හඹා ගිය වේගවත් මනසක ක්‍රියාකාරීත්වය කෙබඳුද යන්නයි. 

ලෙනින් සමග සැසඳිය හැකි තරමේ වේගවත් සහ ක්‍රියාකාරී චින්තකයෙකු අපගේ යුගයේ සිටීද? මේ පැනය සමඟ සිතට එන එකම චින්තකයා ඇතැම්විට සමකාලීන රැඩිකල් දාර්ශනිකයෙකු වන ස්ලේවෝයී ශිෂෙක්ය. ඔහු අපගේ යුගයේ එකදු වැදගත් ඓතිහාසික සිද්ධියකට හෝ සංකල්පගත නොකර යන්නට හරින්නේ නැත. 

කොරෝනා වසංගතයෙන් අප මෙතෙක් කල් දැන සිටි සාමාන්‍ය තත්ත්වය ප්‍රචණ්ඩ වෙනසකට ලක් වීමත් සමග ශිෂෙක්ගේ වෙහෙස නොහඳුනන වේගවත් මනස සිදුවීම් හඹා යාම ඇරඹීය. යුරෝපයට කොරෝනා වසංගතය ඇතුළු වී දින සියයක් තුළදී ඒ පිළිබඳව ලියැවුණු ඔහුගේ කෘතිය, Pandemic: Covid 19 Shakes the World (2020), ප්‍රකාශයට පත් විය. මෙම කෘතියෙන් ඔහුට හිමි වන කතෘ භාගය “දේශ සීමා නොතකන වෛද්‍යවරු” නමැති සංවිධානයට ප්‍රදානය කෙරෙනු ඇත. 

පහත පළ වන්නේ දැනට සති තුනකට පමණ පෙර නිකුත් වූ කොරෝනා වසංගතය අළලා ලියැවුණු එම ප්‍රථම න්‍යායික ග්‍රන්ථයේ හැඳින්වීමේ දළ පරිවර්තනයකි. මේ ශිෂෙක්ගේ Pandemic කෘතියේ එක් එක් පරිච්ජේදය බැගින් සරල සිංහලෙන් පැහැදිළි කෙරෙන ලිපි මාලාවක පළමුවැන්නයි.

******************************************

“මාව අල්ලන්න එපා!” 

මළවුන්ගෙන් නැගී සිටි ජේසුස් ඔහුව හඳුනාගත් මරියා මග්දලේනා හට පැවසූ පළමු වැකිය වූයේ එයයි.

ශිෂෙක් තම කෘතිය අරඹන්නේ එම වැකිය පුනරුච්ජාරණය කරමිනි. ඉන්පසුව ඔහු විමසන්නේ “ක්‍රිස්තියානි අදේවවාදියෙකු” වන තමන් එම වැකිය වටහා ගන්නේ කෙසේද යන්නයි. එම ප්‍රශ්නයට ඔහුගේ පිළිතුර මෙපරිදිය;

‘ජේසුස් සැබවින්ම මරණයෙන් අවදි වූවා යැයි තමන් දැන ගන්නේ කෙසේදැයි ඔහුගේ අනුගාමිකයන් ඔහුගෙන් විමසීය. එයට ජේසුස්ගේ පිළිතුර වූයේ ඔහුව විශ්වාස කරන්නන් අතර ආදරය පවතින්නේ කවර මොහොතකදීද එවිට ඔහු එතැන සිටින බවයි’. ඔහු සිටින්නේ අතින් ඇල්ලිය හැකි පුද්ගලයෙකු ලෙස නොවේ. නමුත්, මිනිසුන් අතර ආදරයේ සහ සහයෝගීතාවයේ බැඳීම ලෙසය.

ශිෂෙක් පවසන්නේ ජේසුස් මග්දලේනා හට පැවසූ වැකිය ජේසුස් තම අනුගාමිකයන්ට දුන් ඉහත පිළිතුර සමග සම්බන්ධ කොට කියැවිය යුතු බවයි. “මාව අල්ලන්න එපා; ආදරයේ ජීවයෙන් සෙසු මිනිසුන්ව ස්පර්ෂ කරන්න; ඔවුන්ව ඇසුරු කරන්න.”

අද දිනයේ කොරෝනා වසංගතය මැද සෑම දෙසකින්ම අපට ඇසෙන්නේ අනෙකුන්ව ස්පර්ෂ නොකරන ලෙසටත් හුදෙකලාව සිටින ලෙසටත් කරන ඉල්ලීම්ය; ශාරීරික දුරස්ථභාවය පවත්වා ගන්නට කෙරෙන ඉල්ලීම්ය.

මෙසේ “මාව ස්පර්ෂ නොකරන්නැයි” පැවසීමේ අර්ථය කුමක්ද? ශිෂෙක් විමසයි. අනෙක් පුද්ගලයාව ස්පර්ෂ කරන්නට දෑත අසමත්ය. අපට එකිනෙකාට සමීප විය හැක්කේ ඇතුළතින්ය. ඇතුළාන්තයට පිවිසෙන කව්ළුව වන්නේ දෙනෙත්ය. මේ දිනවල ඔබට ඔබගේ සමීපතමයෙකු හෝ අමුත්තෙකු වුවත් මුණ ගැසී එකිනෙකා අතර යම් දුරක් පවත්වාගෙන සිටින විට ඔබ අනෙකාගේ දෑස පත්ලට එබී බැලුවහොත් සමීප ළෙන්ගතුකමකටත් වඩා යමක් ඔබට හෙළිදරව් වනු ඇත. 

දාර්ශනික හේගල්

මේ කාව්‍යමය සංකල්පීය ඇරඹුමෙන් පසුව ශිෂෙක් ඔහුට සුපුරුදු ලෙස ඔහුගේ ප්‍රියතම දාර්ශනික හේගල්ව උපුටා දක්වයි. ඔහු උපුටා දක්වන්නේ හේගල් තරුණ වියේදී ලියූ සටහනකි. “ආදරණීයයා අපට එරෙහිව නොපවතී; ඔහු සිටින්නේ අපගේ සත්තාව සමගය; අප අපව දකින්නේ ඔහු තුළ පමණකි. නමුත්, යළිදු ඔහු තවදුරටත් අපම වන්නේද නැත. ඔහු අපට වටහාගත නොහැකි ප්‍රහේළිකාවකි; ආශ්චර්යයකි.”

ඉන්පසුව ශිෂෙක් අවධාරණය කරන්නේ හේගල්ගේ ඉහත කියා පෑම් දෙක (එනම් ආදරණීයයා අප සමගම සිටීය යන්න සහ ඔහු අපට ප්‍රහේළිකාවක් වන්නේය යන්න) එකිනෙකට ප්‍රතිපාක්ෂික වූ දේ ලෙස නොකියවිය යුතු බවයි. එයින් අදහස් වන්නේ ආදරණීයයා පාර්ශ්වීය වශයෙන් අපගේම, මගේම කොටසක් වන අතර පාර්ශවීය වශයෙන් ප්‍රහේළිකාවක් වන්නේය යන්න නොවේ. ආදරයේ ආශ්චර්යය වනුයේම ඔබ මගේ අනන්‍යතාවයේ කොටසක් වන අතරම ඔබ මට වටහාගත නොහැකි ප්‍රහේළිකාවක් ලෙස පැවතීමම නොවන්නේද? එය ඔබ මට පමණක් නොව ඔබටම ප්‍රහේළිකාවක් වීමකි. 

ඉනික්බිතිව ශිෂෙක් යළිත් තරුණ හේගල්ව උපුටයි:

“මානව වර්ගයා වනාහී මේ රාත්‍රියයි; මේ හිස්, කිසිවක් නොවීමයි; එතුළ එහි සරලත්වය තුළ සියල්ලම අන්තර්ගත වේ (එනම් ඔහුට අයිති නැති අනවරත නියෝජනයන්, ප්‍රතිරූප සමුදායක්); නොඑසේනම්, මානව වර්ගයා යනු නොපවතින දෙයයි. යමෙකු මානවයන්ගේ දෑස් දෙස බලන විට යමෙකුට මේ රාත්‍රියේ දසුන නෙත ගැටෙනු ඇත.”

කිසිදු කොරෝනා වෛරසයකට මෙය අපෙන් උදුරා ගත නොහැකිය. ඉදින්, ශාරීරික දුරස්තභාවය අපට අන් අය සමග ඇති ළබැඳියාව ශක්තිමත් කරනු ඇතැයි පවා අපේක්ෂාව කළ හැකිය. මට සමීප වූවන්ගේ පෙනී සිටීම, ඔවුනගේ වැදගත්කම මට පූර්ණ වශයෙන්ම දැනෙන්නේ මට ඔවුන්ව මුණ නොගැසී සිටින්නට සිදුව ඇති මේ මොහොතේය. 

ඔහු මෙසේ පවසන විට නරුමවාදීන් ඔහුව සිනාවට ලක් කරන අයුරු ඔහුට ඇසේ යැයි ඒ සමගම ශිෂෙක් පවසයි.

ඔවුන් මෙසේ විමසනු ඇත: “හොඳයි, සමහරවිට අපට ඒ වගේ අධ්‍යාත්මික සමීප භාවයේ මොහොතවල් උදා වෙන්න පුළුවන්; ඒත්, මේ ව්‍යසනය එක්ක හැප්පෙන්න ඒවායින් ඇති වැඩේ මොකද්ද? අපට ඒවායින් ඉගෙන ගන්න දෙයක් තියෙනවද?”                

හේගල් මෙසේ පැවසීය; “අපට ඉතිහාසයෙන් ඉගෙන ගත හැකි එකම දේ වන්නේ අප ඉතිහාසයෙන් කිසිවක්ම ඉගෙන ගන්නේ නැති බවයි.” එහෙයින්, මේ වසංගතය අපව කිසියම් ආකාරයකින් ප්‍රඥාවන්ත කරනු ඇත්දැයි තමන්ට සැක සහිත බව ශිෂෙක් පවසයි.

නමුත්, එක් කාරණයක් පැහැදිළිය (ඔහු පවසයි). එනම්, කොරෝනා වෛරසය අපගේ ජීවිතවල පදනම් සලිත කරනු ඇති බවයි; ඒ අති මහත් ප්‍රමාණයක් දුක් වේදනා ජනිත කිරීමෙන් පමණක් නොවේ; 1929 මහා ආර්ථික අවපාතයටද වඩා දරුණු වූ ආර්ථික සංහාරයක් නිර්මාණය කිරීම මගිනි.           

ශිෂෙක් තම හැඳින්වීම නිමා කරන්නේ පහත සඳහන් වචනවලිනි. ”යළිත් සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යාමක් නොමැත; නව “සාමාන්‍ය තත්ත්වය” තනන්නට සිදු වනු ඇත්තේ අපගේ පැරණි ජීවිතවල නටඹුන් මතිනි. නොඑසේනම්, අප නව ම්ලේච්ජත්වයක් තුළ සිටිනු ඇත. දැනටමත්, එහි සලකුණු පැහැදිළිව පෙනේ

ස්ලේවෝයී ශිෂෙක්

ශිෂෙක් තම හැඳින්වීම නිමා කරන්නේ පහත සඳහන් වචනවලිනි. ”යළිත් සාමාන්‍ය තත්ත්වය කරා ආපසු යාමක් නොමැත; නව “සාමාන්‍ය තත්ත්වය” තනන්නට සිදු වනු ඇත්තේ අපගේ පැරණි ජීවිතවල නටඹුන් මතිනි. නොඑසේනම්, අප නව ම්ලේච්ජත්වයක් තුළ සිටිනු ඇත. දැනටමත්, එහි සලකුණු පැහැදිළිව පෙනේ. මේ වසංගතය අවාසනාවන්ත අහඹුවක් ලෙස සැලකීම ප්‍රමාණවත් නොවේ; එහි ප්‍රතිවිපාකවලින් මිදී ඇතැම්විට අපගේ සෞඛ්‍ය සේවයේ යම් යම් වෙනස්කම් සිදු කොට පැරණි ආකාරයෙන්ම දේවල් කිරීමේ සුඛනම්‍ය ක්‍රියාකාරීත්වයට ආපසු යාමට එලෙසින් නොහැක. 

අප මූලික ප්‍රශ්නය විමසිය යුතුය: “අපට මෙවැන්නක් පිළිබඳව විද්‍යාඥයින් වසර ගණනාවක් මුළුල්ලේ අනතුරු හඟවා තිබියදීත් අප මේ ව්‍යසනයට සූදානමකින් තොරව හසු වූයේ අපගේ ක්‍රමයේ කුමන වරදක් නිසාද?”

(මෙම කෘතියේ ඉදිරි පරිච්ජේද කොටස් වශයෙන් පළ කෙරෙනු ඇත) 

සුමිත් චාමින්ද    

RSL

Related Posts