‘එළවළු මාෆියාවට එරෙහිව’ රජයේ වැඩපිළිවෙළ ඇර‍ඹෙයි !

Spread the love

එළවළු මාෆියාවට එරෙහිව කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ගොවිබිම්වල ගොවි ජනතාවගෙන් සෘජුවම මිලට ගත් එළවළු නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන විත් අලෙවි කිරීමේ වැඩපිළිවෙල අද (22) උදෑසන ආරම්භ විය.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු ඊට අදාළ රාජ්‍ය නිලධාරින් ද අද උදෑසන නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ පෞද්ගලිකව එම වැඩපිළිවෙළ නිරීක්ෂණය කළහ.

දිවයිනේ සියලු ප්‍රදේශවලට අයත් විවිධ වර්ගයේ එළවළු නව වැඩපිළිවෙළ යටතේ කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක යාන්ත්‍රණයක් මඟින් ගොවියාගෙන් මිලට ගෙන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ ප්‍රජාවට අලෙවි කරන අතර, ප්‍රවාහන ගාස්තු පමණක් ගොවීන්ගෙන් අය කරනු ලබයි.

එම මිලට ගන්නා එළවළු සිල්ලර වෙළඳාමේදී කිලෝවකින් රුපියල් 20ක්, තොග කිලෝවකින් රුපියල් 10ක් ලෙස ලාභයක් පවත්වා ගනිමින් පාරිභෝගිකයාට අලෙවි කළ යුතු අතර, මිල ප්‍රදර්ශනය හා ප්‍රදර්ශනය කොට ඇති මිලට අලෙවි කිරිම අනිවාර්ය කොට ඇත.

නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක වූ අද දින දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ඊයේ දිනයේ එළවළු මිල ගණන් හා සන්සන්දනය කිරිමක් සිදු කළ අතර, ඒ අනුව සෑම එළවළු කිලෝවක්ම රුපියල් 40-50ක් අතර මිලකින් පහත හෙළීමට රජයේ නව වැඩපිළිවෙළ සමත්ව ඇති බව සංඛ්‍යාලේඛන මඟින්ම සනාථ විය.

මෙම සියලු එළවළු ප්ලාස්ටික් අසුරනයන්හි අසුරා රැගෙන එන අතර, 30%ක ප්‍රවාහනයේදී සිදුවන හානිය ඒ තුළින් නතරවන අතර, එහි ලාභය ද පාරිභෝගික ජනතාවට ලබාදීම නව වැඩපිළිවෙළ තුළින් සිදු කෙරේ.

දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ යටතේ සේවය කරන රජයේ නිලධාරින් සහ ගොවි සංගම් සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ එම වැඩපිලිවෙළ ක්‍රියාත්මකවේ.

මෙහිදි අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා,

පසුගිය දවස්වල එළවළු මිල ඉහළ ගියා. ජනාධිපතිතුමා අප කැඳවලා කිව්වා මේ සඳහා මැදිහත් වෙන්න වැඩපිළිවෙළක් හදන්න කියලා. ගොවියාටත්, පාරිභෝගිකයාටත්, වෙළෙන්ඳාටත් නැති ලාභයක් අතරමැදියන් පිරිසක් ගන්නවා. ඒක නතර කිරීම තුලින් පුළුවන් සාධාරණ මිලක් එළවළුවලට වෙළඳපොළ තුළ නිර්මාණය කරන්න. අපි අතගැහුවේ ඒ වැඩපිළිවෙළට. මේ තුළින් රජයක් විදිහට ගොවියාත්, පාරිභෝගිකයාත් මේ ආර්ථික මධයස්ථානවල වෙළඳාම් කරන වෙළඳ ප්‍රජාවත් තුන්ගොල්ලන්ම අපි ආරක්ෂා කරනවා.

අද ඊයේට වඩා හැම එළවළු කිලෝවකින්ම රැපියල් 40- 50ත් අතර ගාණක් අඩුයි. ප්‍රවාහනය සඳහා කිලෝවකින් රුපියල් 5ක් වැනි සුළු මුදලක් පමණයි කෘෂිකර්ම අමාත්‍යාංශය අය කරන්නේ. ඒ සියලු ලාභය අපි පාරිභෝගිකයාට දෙනවා. මේක නියමු වැඩසටහනක් ලෙස අද ආරම්භ කළේ. අපි එන සතියේ සියලු ආර්ථික මධ්‍යස්ථානවල මෙම නව වැඩපිළිවෙළ පටන් ගන්නවා.”

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා,

 “ නව වැඩපිළිවෙළ පිළිබඳ අදහස් යෝජනා ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව අඩුපාඩු හදා ගන්න පුළුවන්. අපට ඕන වුණේ මේ මාෆියාවට එරෙහිව රජයක් ලෙස වැඩ කරන්න පුළුවන්. කියන එක පෙන්වීම. අපි මේ එළවළු ගේන්නේ ඇසුරුම්වල. ප්‍රවාහනයේදි සිදුවන හානිය අපට ඒ තුළින් නතර කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ තුල වු ලාභයත් වෙළෙන්ඳාට වගේම පාරිභෝගිකයාට හිමි වෙනවා. දවසක් හැර දවසක් ආකාරයෙන් උඩරට, වන්නි එළවළු කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා කොළඹට අපි ගේනවා.අපිට පුඵවන් මේ මාෆියාවට තිත තියන්න.

රජය මැදිහත්ව ගෙන යන නව වැඩපිළිවළෙ අගය කරන බව නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ප්‍රජාව ප්‍රකාශ කළේය. එසේම ඒ සඳහා සියලු සහාය ලබා දෙමින් පාරිභෝගිකයාට සාධාරණයක් කරමින් අඩු මිලට වැඩි එළවළු ප්‍රමාණයක් අලෙවි කරමින් සැමට සාධාරණ ලෙස රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබාදෙන බවද ඔවුහු අවධාරණය කළහ.

දිස්ත්‍රික් ලේකම්වරුන් ඒ යටතේ සේවය කරන රජයේ නිලධාරින් සහ ගොවි සංගම් සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක යාන්ත්‍රණයක් ඔස්සේ එම වැඩපිලිවෙළ ක්‍රියාත්මකවේ.

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න,වී හා ධාන්‍ය,කාබනික ආහාර, එළවළු,පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් විජේසිංහ ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳ ප්‍රජාව ද මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ්අඩවිය ඇසුරිණි

RSL

Related Posts