උසස් පෙළ හා 5 වසර සිසු ගැටලු ගැන නලින්ද ජයතිස්සගෙන් අගමැතිට ලිපියක්

Spread the love

CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙන උසස් පෙළ හා 5 වසර දරුවන්ගේ ගැටලූ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබේ. එම ලිපිය පහත දැක්වේ.

වෛද්‍ය නලින්ද ජයතිස්ස
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී,
464/20, පන්නිපිටිය පාර,
පැලවත්ත,
බත්තරමුල්ල

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
අරලියගහ මන්දිරය,
කොළඹ.

ගරු අගමැතිතුමනි,

CORONA වසංගත තත්වය නිසා දුෂ්කරතාවයට පත්වී තිබෙන
උසස් පෙළ හා 5 වසර දරුවන්ගේ ගැටලූ පිළිබඳවයි

දැනට  අප රට තුළ ඇති වී තිබෙන CORONA වසංගත තත්වය නිසා මාර්තු මස එකොළොස් වන දා සිට පාසල් වසා දැමීමත්, මාර්තු මස විසි වනදා  සිට රට තුළ ක්‍රියාත්මක වන ඇඳිරි නීති තත්ත්වය නිසාත් මෙම වසරේ අගෝස්තු මස දී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයට සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දමට සිසුදරුවන් විශාල ගැටලූවකට මුහුණ දී තිබේ.

විශේෂයෙන්ම මේ වනවිට පාසල් වසා දමා දින හතලිස් පහකට  අධික කාලයක් ගත වී තිබෙන නිසාත්, පාසල් ආරම්භ කිරීමට දැනට රජය යෝජනා කර තිබෙන මැයි එකොළොස් වැනිදා වුවද, දැනට අලූතෙන් හඳුනා ගැනෙන CORONA රෝගීන් ප්‍රමාණය නිසා ප්‍රායෝගික නොවන බව දැනෙන නිසාද ,මෙම අගෝස්තුවේ මෙම විභාග වලට මුහුණ දීමට සිටින සිසු දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට නොහැකිව  ඇති බව ඔබතුමාට පැහැදිලිව වැටහෙනවා ඇත.

දැනට අධ්‍යාපන බලධාරීන් විසින් උසස් පෙළ විෂය මට්ටමින් යම් යම් සහන ලබාදිය හැකි බවට ප්‍රකාශකර ඇතත් එම සහන නිශ්චිතව සඳහන් නොකිරීමත්, මේ වන විටත් ක්‍රියාත්මක නොකර තිබීමත්, ඒ ඒ පිළිබඳ ප්‍රශ්නයට සෘජුවම මුහුණ දී සිටින සිසු දරුවන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් පුළුල් කරුණු විමසීමක් සිදු නොකර තිබීමත් නිසා එම සහන වල ප්‍රායෝගික භාවය දැනට වලංගු වන්නේ නැත.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසු දරුවන් මුහුණ දී ඇති ගැටලු සැලකුවහොත්,


1. CORONA වසංගතය නිසා පාසල් වසා තැබීම නිසා උසස් පෙළ විෂය නිර්දේශ අවසන් කර ගැනීමට නොහැකි වීමේ ගැටලූව
2. බොහෝ සිසු දරුවන් උසස් පෙළ සඳහා උසස් උපකාරක පන්ති යාමට පෙළඹී සිටින බැවින් උපකාරක පන්ති පැවැත්වීමට ඇති නොහැකියාව
3. මෙවර උසස් පෙළ පළමු වරට හා දෙවන වරට මුහුණ දී සිටින සිටින සිසු දරුවන් සියලූ දෙනාටම ගිය වසරේ අප්‍රේල් මස ඇතිවූ පාස්කු ප්‍රහාරයත්, මේ වසරේ   CORONA වසංගතයත්   නිසා වසර දෙක තුළදී ම විභාගයට ආසන්නම මාස වලදී විශාල ගැටලූවලට මුහුණ දීමට සිදුවූ අය වීමත්,
4. බස්නාහිර පළාත තුළ නේවාසිකව උසස් පෙළ සඳහා ඉගෙන ගන්නා දරුවන් ජදරදබ් තත්ත්වයට නිවෙස්වලට  යාමේදී අවශ්‍ය සියලූම පොත්පත් රැගෙන නොයාම නිසා මුහුණ ද තිබෙන ගැටලූ.
5. විෂයමාලාව මාරු කරගෙන එක් වසරක් තුළ  නව විෂය මාලාව සම්පූර්ණ කරගැනීමට උත්සාහ දරන සිසු සිසුවියන්ට සිදුවන විශේෂ දුෂ්කරතාවය.
6. උසස් පෙළ විභාගයට තව ඇත්තේ මාස තුනක් වැනි කාලයක් නිසා මෙම මාස තුනක කාලයේ දී අත්හැරුණු විෂය මාලාවන් කෙතරම් වේගවත් වැඩපිළිවෙළක් හරහා වුවද සම්පූර්ණ කරගැනීමට ඇති දුෂ්කරතාවය.
7. අන්තර්ජාලය හරහා අධ්‍යාපන කටයුතු ලබා දීම ප්‍රායෝගිකව බහුතර පිරිසකට සිදු නොවීම.
ආදී ගැටලූ රාශියක් සඳහන් කළ හැක.
එමෙන්ම 5 වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින දරුවන්ටද දැනට පවතින අවිනිශ්චිතතාවය මත පීඩාකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.

එම නිසා
1. මෙම සිසුදරුවන් මුහුණදී ඇති ගැටළු පිළිබඳ මහජන අදහස් ( Online Public Hearing ) අන්තර්ජාලය මාර්ගයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා ගැනීම. (කෙටි කලක් තුළදී).
2. ඉහත මහජන අදහස්ද සැළකිල්ලට ගෙන අගෝස්තුමසදී පැවැත්වීමට ඇති උසස් පෙළ හා පහවසර විභාග පිළිබඳව තීරණය කිරීමට ප්‍රවීණ අධ්‍යාපනඥයන් ගෙන්, පාසල් සහ විශ්වවිද්‍යාල ගුරුවරුන්, සෞඛ්‍ය විශේෂඥයන් ඇතුළු ප්‍රවීණයන්ගෙන්  සමන්විත  කමිටුවක් පත්කරීම.
3. මෙම තත්වයට ම මුහුණ දී සිටින අනෙකුත් රටවල් යොදාගෙන ඇති වඩා සාර්ථක  සහ අප රටට ප්‍රායෝගික වන ක්රියාමාර්ග පිළිබඳ සොයා බැලීම.
4. මෙම කමිටුව මගින් ගන්නා තීරණ අවම වශයෙන් මැයි මස තෙවන සතිය ට පෙර වත් ක්‍රියාත්මක කිරීම.

ස්තුතියි,
මෙයට,

වෛද්‍ය නලින්ද ජයතිස්ස
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

RSL

Related Posts