උසස් තාක්ෂණ ආයතනය විශ්වවිද්‍යාල කොලීජියක් බවට පත්කරනවා – අමාත්‍ය එස්.බී.දිසානායක

Spread the love

ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය, විශ්වවිද්‍යාල කොලීජිය බවට පත් කිරීමට කටයුතු කරනවා යැයි උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ පසුගියදා ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ 08 වන ඩිප්ලෝමා සහතිකපත‍්‍ර ප‍්‍රදානෝත්සවයට සහභාගී වෙමිනි.

ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය ප‍්‍රතිසංවිධාන රැසක් සමඟ ආශ‍්‍රිත උපාධි (Associate Degrees) ලබා ගැනීමට හැකි ආයතනයක් බවට පත් කරමින් විෂය මාලා සංශෝධන හා ආචාර්ය වැටුප් පිළිබඳ ගැටලු සියල්ල විසඳීමට තමා මැදිහත්වන බව අමාත්‍යවරයා පැවසී ය.

තවදුරටත් අදහස් දැක් වූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා, වර්තමාන පාසල් පද්ධතිය තුළ පවතින ඉංග‍්‍රීසි, තොරතුරු තාක්ෂණ විෂයයන්ගේ ගුරු හිඟය ඉලක්ක කර ගනිමින් උසස් තාක්ෂණ ආයතනයන්හි පාඨමාලා ඉතා ඉක්මනින් වෙනස් කළ යුතුයි. මේ සඳහා සියලු පාඨමාලා ඉංග‍්‍රීසියට හැරවිය යුතු අතර අධ්‍යයන කාලය වසරකින් පමණ දිගු කළ යුතු යි. එවිට අදාළ විෂයයන්ගේ අධ්‍යයන කටයුතුවලට අමතර ව ප‍්‍රායෝගික පුහුණුව සහ ඉගැන්වීම් ක‍්‍රමවේදයන් හැදෑරීමට ද හැකි පරිදි පාඨමාලා සකස් කිරීමට පුළුවන් බව ප්‍රකාශ කළේය.

අපේ රටේ ගුවන් සේවය, නාවුක සේවය සහ සංචාරක ක්ෂේත‍්‍රය විශාල ලෙස පුළුල් කරන්නට කටයුතු කරමින් සිටිනවා. මේ සඳහා විශාල වශයෙන් පුහුණු ශ‍්‍රමිකයින් සහ මධ්‍යම මට්ටමේ වෘත්තිකයින්, ගණකාධිකාරීවරුන්, කළමනාකරුවන් අවශ්‍යයි. ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය තුළින් එම සම්පත ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන බවත් ඒ මහතා පැවසීය.

මෙහි දී අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා පැවසුවේ ඔබ ලබා ගන්නා ඩිප්ලෝමා සහතිකයට සීමා නො  වී දිගින් දිගට ම ඉගෙනගත යුතු බවයි.  අපි එකිනෙකාගෙන් ඉගෙන ගත යුතුයි. ලොව පැවැත්ම සඳහා මෙය අත්‍යවශ්‍ය කාරණාවක්. යමෙක් උපතේ සිට මරණය දක්වා ම ඉගෙන ගන්නවා. අප අවට පරිසරයෙන් හෝ මිනිසුන්ගෙන් හෝ ඉගෙන ගත යුතු යි. අපේ පැවැත්ම රඳා පවතින්නේ ඉගෙන ගැනීම මතයි. ජීවත් වීමට ඉගෙන ගැනීම ඉන් ප‍්‍රධාන වන බව අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය පිහිට වූයේ රැකියාභිමුඛ ඩිප්ලෝමාධාරීන් බිහි කරන්නට. රැකියා වෙ‍ළෙඳපළට අවශ්‍ය මධ්‍යම මට්ටමේ වෘත්තිකයින් සහ කළමනාකරුවන් බිහි කරන්නටයි. නමුත් පසුගිය කාලය තුළ ඇති වී තිබූ යම් යම් දුර්වලතා නිසා මෙයින් පිටවන ඩිප්ලෝමාධාරීන්ට රැකියා සොයා ගැනීමේ ගැටලු මතු වී තිබුණා.   නමුත් දැනට කර ගෙන යන නව වැඩපිළිවෙළ නිසා ලෝකයේ  ඕනෑ ම තැනක රැකියාවක් කළ හැකි විශ්ව මට්ටමේ පුහුණු වෘත්තිකයෙකු මෙම ආයතනය තුළින් බිහි කිරීමට පසුබිම සකස් කරමින් සිටිනවා. ලෝකයේ පළමු උසස් අධ්‍යාපන ආයතන 1000 අතරට අපේ විශ්වවිද්‍යාල රැගෙන යන්නට අවශ්‍ය වටපිටාව අපි දැන් සකසමින් තිබෙන්නේ. ශ‍්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය එම ආයතන අතරට ගෙන එන්නට අපට හැකියාව ලැබෙන බව ඉතා ම සතුටින් ප‍්‍රකාශ කරන්නට හැකි බව මේ අවස්ථාවට එක් වූ අමාත්‍යංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.
 

උපුටා ගැනීම- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන්

RSL

Related Posts